ගෘහනිර්මාණ ශිල්පයේ අපූර්වත්වය කියාපාන ගොල්කොන්ඩා බලකොටුව | දිනමිණ

ගෘහනිර්මාණ ශිල්පයේ අපූර්වත්වය කියාපාන ගොල්කොන්ඩා බලකොටුව

ඔහු හීන්දෑරි ය. අළු පැහැති ඇඳුමකින් සැරසී සිටී. කොණ්ඩය පැත්තෙන් පීරා ඇත. බැලූ බැල්මට අවුරුදු අසූවකට ආසන්න ය. එනමුදු ශක්තිවන්ත ය. කඩිසර ය.

මළ හිරු බැස යන්නට ඇත්තේ තවත් හෝරාවක පමණ කාලයක් පමණකි. ඉන් අනතුරුව අඳුර රජයනු ඇත. එහෙත් ඔහුට නම් ඒ ගැන වගේ වගක් නැත.

“හැමෝම කියන දේට හොඳින් ඇහුම්කන් දෙන්න. තව ටිකකින් අපි හයිද්‍රාබාද් ප්‍රෙදේශයේ තිබෙන වැදගත් ස්ථානයකටයි යන්නේ. ඒක තමයි ගොල්කොන්ඩා බලකොටුව.“

සුළු මොහොතකට පසු බසය නවතී. ඔහු කඩිමුඩියේම ඉන් බැස ගනී.

“එන්න කරුවල වැටෙන්න කලින් යමු. “

මේ හීන්දෑරි මිනිසා අපගේ කණ්ඩායමට මඟ පෙන්වන්නා ය. ඔහු තෙලන්ගානා සංචාරක අංශය මඟින් අප වෙනුවෙන් කරුණු කියා දීමට එවූ තැනැත්තා ය. අපි ඔහු පසුපස ය. ඔහු කියන දේට කවුරුන් හෝ ඇහුම්කන් නොදෙන බව වැටහුණහොත්, මේ මිනිසාට හරියට කේන්ති යයි. ඒ නිසා ම අපේ කණ්ඩායම ඔහුගේ අණට කීකරු ය.

දකුණු ඉන්දියාවේ හයිද්‍රාබාදයේ තෙලන්ගානා සංචාරක පුරවරයේ අසිරිමත් බව ලොවට විදහා දක්වන අපූර්ව නිර්මාණයක් ලෙස ගොල්කොන්ඩා බලකොටුව හැඳින්විය හැකි ය. ‘ගොල්කොන්ඩා‘ යන්නෙහි අරුත වන්නේ, ‘රවුම් හැඩැති කඳුගැටය‘නුවර සමීපයේ පිහිටි බලකොටුව ‘ යන්න ය. හයිද්‍රාබාද් පුරවරයේ සිට කිලෝ මීටර් 11ක් දුරින්, එම ප්‍රදේශයට බටහිරට වන්නට මෙය පිහිටා තිබේ. කළුගල් කඳු ගැටයක් මත හිඳිමින්, හයිද්‍රාබාද් පුරවරය දෙස නෙතු යොමා සිටින මේ බලකොටුව, 13 වැනි සියවසේ දී ඉදි කරන ලද්දකි. ඒ හින්දු භක්තිකයකු වූ කකටිය රජු විසිනි. ඔහු මෙය ඉදිකර ඇත්තේ, කොණ්ඩපල්ලි බලකොටු පෙදෙසේ සිට බටහිර ආරක්ෂක සංවිධානයේ කොටසක් හැටියට ය. මේ බලකොටුව අඩි 400 (මීටර් 120) ක් උස ය. බලකොටුව වටා විශාල කවුළුවලින් යුතු ආරක්ෂක බැම්මකි.

මඟපෙන්වන්නාගේ පසුපස පියවර තබමින් ගිය අපි, නැඟෙනහිර පැත්තෙන් පිහිටි බලකොටුවේ ‘බාලාහිසාර්‘ නමැති ප්‍රධාන පිවිසුම් දොරටුව වෙත ළඟා වීමු. එම දොරටුව ඉතාමත් ම විශාල ය. එය විශාල උල් වැනි යකඩ සම්බන්ධක මඟින් සවිකර ඇත. සතුරු ප්‍රහාරවලදී අලි ඇතුන්ට විනාශ කිරීමට නොහැකි වන පරිදි එම දොරටුව එලෙස සකසා ඇති බව අප මඟපෙන්වන්නාගේ අදහස ය. ඒ දොර පියන වසනු විනා සෙලවීමටවත් අපට නම් නොහැකි ය.

මේ පිවිසුම් දොරටුව අර්ධ කවාකාර අයුරින් තනා තිබේ. එහි, ලියවැල්, මොණර රූප, සිංහ රූප දැකිය හැකි ය. එම නිර්මාණය, හින්දු සහ මුස්ලිම් යන ගෘහනිර්මාණ ශිල්පයේ සංකලනයක් ලෙස බොහෝදෙනා හඳුන්වති. එම ස්ථානයෙන් ඇතුළු වූ පසු, යම්කිසි හඬක් නැගුවහොත්, එය ප්‍රතිරාව නගමින් රැව්දේ. එසේ විහිදී යන ශබ්දය, බලකොටුවේ උසම ස්ථානය වන බාලාහිසාර් මණ්ඩපයට ඇසේ. එය පිහිටා ඇත්තේ මෙතැන් සිට කිලෝ මීටරයක් දුරිනි. මේ ස්ථානයේ එවැනි ශබ්ද ප්‍රයෝගයක් යොදා ඇත්තේ, සතුරු ප්‍රහාරයකදී එය රාජකීයයන්ට පැහැදිලිව හදුනාගත හැකි වන ලෙසට ය. මෙය ගොල්කොන්ඩා බලකොටුවේ ඇති සුවිශේෂී ගෘහනිර්මාණ ප්‍රයෝගයක් ලෙස සඳහන් කළ හැකි ය.

එතැනින් වැටී ඇති පඩිපෙළ දිගේ ඉදිරියට ඇදෙනවිට, කාලතුවක්කුවක් පිහිටුවා ඇති ආකාරය දැකගත හැකි ය. එතැන් සිට ඉදිරියටම යනවිට, බලකොටුව තුළ පිහිටි මණ්ඩප, ඇතුළු වන දොරටු, පන්සල් , පල්ලි, අමුත්තන් සඳහා වෙන්කළ ශාලා සහ කාමර ආදී සෑම අංගයකම ඇති සුවිශේෂී නිර්මාණ ලක්ෂණ පැහැදිලිවම හඳුනාගත හැකි ය.ජලසැපයුම් ක්‍රම, කාලතුවක්කු පිහිටු වීමේ ක්‍රම සහ යම් යම් ස්ථානවල සිට හඬ නැංවූ විට පාලකයා සිටින ස්ථානයට එම හඬ ඇසීමේ ශබ්ද උපක්‍රම, මේ බලකොටුවේ ඇති ආකර්ෂණීයම සාධක වේ.

අපගේ මඟපෙන්වන්නා නැවතත් අප ඉදිරියේ ය. ඔහු නොනවත්වාම ඉතිහාසය දිගහරී. අපිද ඔහු කියන දේට සාවධානවම කන්දීමු.

කකටිය රාජ වංශය තැනූ ගොල්කොන්ඩා බලකොටුව නැවත ගොඩනගමින්, මුල් වරට එය ප්‍රමාණයෙන් වර්ධනය කළේ, රාණි රුද්‍රාමා දේවිය සහ ඇයගෙන් පසු පදවි දැරූ ප්‍රතාපරුද්‍රා ය. ඔවුන්ගෙන් පසු බලකොටුවේ පාලනය මසුනූරි නායක්කර් පාලනය යටතට පත් විය. ඔහු පසුව බහ්මානි නමැති සුල්තාන්වරයාට මේ ප්‍ර ‍ෙද්ශයේ පාලනය සඳහා ගිවිසුම්ගතව බාරදුනි. ඒ ක්‍රි.ව.1364 වසරේදී ය.

ඒ කාලය වනවිට මේ බලකොටුව සෙමින් සෙමින් ජනප්‍රිය වන්නට විය. ඔහු, සුල්තාන් ක්වලි කටුබ් අල් මුල්ක් නමැත්තා තෙලන්ගානා ප්‍ර ‍ෙද්ශයේ ආණ්ඩුකාරවරයා ලෙස පත්කර ගත්තේ ය. බහ්මානි පාලන සමය එතරම් සශ්‍රීක කාලයක් නොවී ය. එහෙත් පසුව පැමිණි කටුබ් ෂා පාලන කාලය තුළ බලකොටුවේ යම් යම් වෙනස්කම් සිදුවී ඇත. පළමු කටුබ් ෂා සුල්තාන්වරුන්ගේ පාලන කාලයේදී එහි දියුණුවක් දක්නට ලැබී ඇත.

වර්තමාන ආකෘතියෙන් යුතු බලකොටුව ඉදි වූයේ ඔවුන්ගේ කාලයේදී ය. ආරක්ෂක උපක්‍රමයක් ලෙස ඉතා විශාල ප්‍රමාණයේ කළු ගල් යොදාගෙන බලකොටුව විශාල කරනු ලැබුවේ මේ යුගයේදී ය. ඔවුන්ගේ සමයේදී බලකොටුවේ පිටත බැම්ම කිලෝ මීටර් හතක් දුරට තනනු ලැබී ය. ඒ, නගරය වට කරමිනි. එහෙත්, 1687 වසර වනවිට බලකොටුව විනාශ වන්නට විය. ඉන් වසර අටකට පසු මෝගල් අධිරාජයා වූ ඕරන් සෙබ් නමැත්තා බලකොටුව අල්ලා ගත්තේ ය. ඔහු එය ප්‍රතිෂ්ඨාපනය කළේ ය.

මේ බලකොටුව තුළ පස්මුළු ආකාරයේ හැඩයෙන් තැනූ අට්ටාල 87ක්, කිලෝ මීටර් 10ක් දිග පිටත බැම්මේ වෙන් වෙන්ව පවතින බලකොටු හතරක්, ප්‍රවේශ දොරටු අටක්, අවශ්‍ය වූ විට ඉවත් කළ හැකි පාලම් 4ක්, අමුත්තන් සඳහා වෙන් වූ කාමර සහ ශාලා බොහෝ ප්‍රමාණයක් , පන්සල්, මුස්ලිම් පල්ලි, බන්ධනාගාර ආදී සෑම දෙයක් ම පිහිටා ඇත.

මේ බලකොටුව යටින් උමඟක් තිබූ බවට විශ්වාසයක් පවතී. ඒ මුර්බාර් නමැති ශාලාව කරා යාමට ය. කඳු පාමුල පිහිටි මාලිගාවකින් එය අවසන් වේ.

මේ බලකොටුවේ පිටත බැම්මෙන් කිලෝ මීටරයක් පමණ දුරින් උතුරට වන්නට කටුබ් ෂා රජුන්ගේ සොහොන් කොත් පිහිටා තිබේ. එහි මුස්ලිම් ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ අන්තර්ගතව ඇත. ඒ වටා අලංකාර උද්‍යාන නිමවා තිබේ.

බලකොටුවේ ප්‍රධානතම ආකර්ෂණීයම ස්ථාන අතර, ගොල්කොන්ඩාවේ පිටත පිහිටුවා ඇති මණ්ඩප දෙක සඳහන් කළ හැකි ය.

බලකොටුවේ ගෘහනිර්මාණ ශිල්පයේ උත්කර්ෂය කෙතෙක්ද යන්න, උණුසුම් කාලයකදී වුව ද බලකොටුව තුළට සිහිල් සුළං හමාවිත් ඇතුළත සිසිලසින් පුරවාලන අයුරින් සකසා තිබීම සඳහන් කළ හැකිය.

ගොල්කොන්ඩා යනු මහාර්ඝ පුරාවිද්‍යා භාණ්ඩාගාරයක් බඳු ස්ථානයකි. ඉන්දියාවේ පුරාවිද්‍යා ආයතනය මඟින් සැකසූ ඉන්දියාවේ පිහිටි පුරා විද්‍යා ස්ථාන සහ ස්මාරක ලැයිස්තුවට ගොල්කොන්ඩා බලකොටුව ද අයත් ය.

“මෙතන හතට ශබ්දය සහ ආලෝකකරණය යොදා ගනිමින් කෙරෙන ගොල්කොන්ඩා සංදර්ශනය පැවැත්වෙනවා. ඒකටත් සම්බන්ධවෙලා ම යමු. “මඟපෙන්වන්නා නැවත පවසයි. උදෑසනින් ම නැගිට ගමන් ඇරැඹූ අපි, ඒ වනවිට හොඳටම හෙම්බත්වී සිටියෙමු. එහෙත් , අපි අවසන එහි රැඳී සිටින්නට තීරණය කළෙමු. සැබැවින්ම එය අපූරු නිර්මාණයකි. ගොල්කොණ්ඩා බලකොටුවේ පහළ සිට මුදුන් ම ස්ථානය දක්වා ආලෝක කිරණ විහිදුවමින් කෙරෙන ඒ අපූරු සංදර්ශනය, ගොල්කොන්ඩාවේ ශ්‍රී විභූතිය දෑස් අබිමුව විදහාලන්නට සමත්ය. එහිදී අමිතාබ් බච්චන්ගේ හඬින් ඒ අපූරු ගොල්කොන්ඩා කතාව, ඇසිය හැකිය. හයිද්‍රාබාද් පුරයේ සංචාරයට යන ඔබට ද නෙතින් දැක, ඇසින් විඳගත හැකි අපූර්ව ස්ථානයක් ලෙස ගොල්කොන්ඩා බලකොටුව හැඳින්විය හැකිය.

විශේෂ ස්තූතිය - ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය

(ඉන්දියානු සංචාරයකින් පසු)

සටහන සහ ඡායාරූප
ඉරෝෂිණී දීපිකා


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...