මට ඕනෙ ලෝකෙම ප්‍රසිද්ධ වෙන්න | දිනමිණ

මට ඕනෙ ලෝකෙම ප්‍රසිද්ධ වෙන්න

දෙනුවන් සේනාධීර

වර්තමාන ශ්‍රී ලාංකේය ටෙලි නාට්‍ය හා සිනමා කලාව තුළ, ප්‍රහසන රංගන හැකියාව ප්‍රකට කරමින් සිටින ඔහු, මේ දිනවල විකාශය වන දෙවෙනි ඉනිමේ මයික් ලෙසින් ප්‍රේක්ෂකයා අභිමුවට පැමිණේ. හාස්‍ය මැවීමේලා ඔහු තුළ පවතින නිසඟ කුසලතාව නිසා ම, ඇතැම් නිර්මාණවල ප්‍රධාන නළුවා පරයමින් ඔහුගේ හාස්‍ය රංගනය ඉස්මතු වන අවස්ථා ද දැකිය හැකි ය. රංගන කාර්යය තුළ තම ශඛ්‍යතා හඳුනා ගනිමින් ඉදිරියටම යන ඔහු, දෙනුවන් සේනාධීර ය.

* ඔබගේ ගමන ඇරැඹෙන්නෙ කොතැනින්ද?

අධ්‍යක්ෂණ කාර්යය හැදෑරීමටයි මම කැමැත්තෙන් හිටියෙ. පාසලෙන් ඉවත්වෙලා මම මේ අරමුණත් එක්ක ඉන්න කාලෙ, මට ස්වර්ණවාහිනියේ සහාය නිෂ්පාදකවරයෙක් විදිහට වැඩ කරන්න ලැබුණා. ඒ කාලෙදි, මහේෂ් රත්සර මද්දුමආරච්චි, හේම නලීන් කරුණාරත්න, කැලුම් පාලීත මහීරත්න වගේ කලාකරුවන් හඳුනා ගන්න ලැබෙනවා. ඒ සබඳතා, දැන හැඳුනුම්කම් මතින් මට වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටින්න අවස්ථාව ලැබෙනවා.

ඉන් පසුව ගීතවල රූප රචනාවලටත් පෙනී හිටියා. මුලින්ම මට රඟපාන්න ලැබුණෙ මහේෂ් රත්සර මද්දුආරච්චි තිර රචනාව ලියූ, සිවගුරුනාදන් මහතා අධ්‍යක්ෂණය කළ ‘කිං හන්ටර්‘ චිත්ත්‍රයේ. එම චිත්‍රපටයේ මහේන්ද්‍ර පෙරේරා, විජය නන්දසිරි වැනි ප්‍රවීණයන් සමඟ රඟපාන්න අවස්ථාව ලැබෙනවා. එතැනින් පටන් ගත්ත මට, ඉන් පසුව බොහෝ ටෙලි නාට්‍යවල චරිත ලැබෙන්න ගත්තා. මගේ රංගන දිවියේ තවත් එක් සංධිස්ථානයක් වෙන්නෙ, දෙරණ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් විදිහට කටයුතු කරන්න ලැබීමයි.

* ඔබ ආරම්භයේ පටන් ම ප්‍රහසන චරිතවලට ද නැඹුරු වුණේ?

හාස්‍යමය චරිතවලට තමයි මම කැමැති. මට මුල ඉඳන්ම ලැබුණෙත්, මම උත්සාහ කළෙත් හාස්‍ය චරිතවලටයි. මගේ විශේෂ දක්ෂතාවක් තියෙන්නෙ හාස්‍ය රංගනයට කියලා මම හිතනවා . අපි හැමෝගෙම දේ බදාගන්න වුවමනා නැහැ. රංගනයට බොහෝදෙනා ඉන්නවා. ඒ නිසා මං මේ හාස්‍ය චරිතම කරගෙන ඉදිරියට යනවා.

* ඔබට අනුව හාස්‍ය මවන එක පහසු දෙයක්ද?

හාස්‍ය මවන එක අපහසු වැඩක්. ඒත්, කෝකියකුට ඉවුම් පිහුම් ලේසියි වගේ, කාර්මික ශිල්පියකුට කාර්මික ක්ෂේත්‍රය පහසු දෙයක් වගේ, හාස්‍ය රංගනයේ යෙදෙන කෙනාට මේ කාර්යයේ නිරත වන එක පහසු දෙයක්.

* මේ වෙද්දි ඔබ හාස්‍ය රංගනයේ කොපමණ දුරක් ගෙවා තියෙනවද?

මම අවුරුදු දහයක් විතර එක ම විෂය කළ නිසා, මම එහි ස්ථාවර තත්වයකට ඇවිත් තියෙනවා කියලා මම හිතනවා. ඕනෑම දෙයක් කාලයක් තිස්සේ නිරත වෙනවා නම්, ඒ පිළිබඳ පරිචයක් ඔහුට හෝ ඇයට හිමි වෙනවා. ගහක ගෙඩියක් හැදෙන්න කාලය අවශ්‍යයි වගේ, කාලයත් එක්ක මම ප්‍රහසන රංගනයේ ඉදිරියට යමින් සිටිනවා.

* ඔබට හාස්‍ය චරිත හැර වෙනත් චරිත පිළිබඳ තිබෙන ඇල්ම කෙබඳුද?

වෙනත් චරිතවලට මට කොතෙකුත් ඇරියුම් ලැබිලා තියෙනවා. ඒත් මම ඒ කිසිම චරිතයක් මේ වනතුරු බාර අරගෙන නැහැ. ඒකට හේතුව, මට මේ විෂය තුළම නිපුනතාව ලබමින් ඉදිරියට යන්න අවශ්‍ය නිසයි. මම සැදී පැහැදී සිටින්නෙ ප්‍රහසන චරිත සඳහා සාධාරණයක් ඉටු කරන්නයි. මේ ක්ෂේත්‍ර යේ හාස්‍ය රංගනයේ ප්‍රවීණයන් ළඟට කිට්ටු වෙන්න මට අවශ්‍ය වෙලා තියෙනවා. ඒ වෙනුවෙන් බොහොම අධිෂ්ඨානශීලී ගමනක මම නිරතවී සිටිනවා.

* ඒ කියන්නෙ ඔබ යම්කිසි ඉලක්කයක් හඹා යන බවද?

ශ්‍රී ලංකාවේ නිර්මාණවලට ප්‍රධාන නළුවො බිහි වෙනවනෙ. ඔවුන්ට සහය නළුවන් හෝ විකට නළුවන් සිටිය යුතුයි. මම උත්සාහ කරන්නේ අනාගතයේ අපේ ඒ ස්ථානයට ගැළපෙන නළුවා වෙන්නයි.

* ඔබ හාස්‍ය රංගනයේදී පූර්වාදර්ශ ලබන්නේ කාගෙන්ද?

මේ ක්ෂේත්‍ර යේ මම ගරු කරන අය ඉන්නවා. විශේෂයෙන් විජය නන්දසිරි, රොඩ්නි , ටෙනී, බන්දු වැනි ප්‍රවීණයන්ගෙ රංගන රටා හදාරමින්, මම මගේ ක්‍රමයක් හදාගෙන, මට ආවේණික ගමනක් යන්නයි මම උත්සාහ කරන්නෙ.

* විකට නළුවා කියන්නෙ මඟතොටේදි දකින අයටත් හිනාව ගෙනදෙන කෙනක්. මේ තත්ත්වය ඔබේ පෞද්ගලිකත්වයට බලපෑමක්ද?

එවැනි අනන්ත අප්‍රමාණ අත්දැකීම් තියෙනවා. අද දවසේත් මම ඒ අත්දැකීම විඳිනවා. ඒත්, මේ මගේ වෘත්තිය. මම සිනමාවට දායකත්වය ලබා දෙන්නෙ විකට නළුවා විදිහට නම්, මම මේ ලබන සියලු ම දේ වගකීමක් විදිහටයි දකින්නෙ. කෙනෙක් මා දැකලා හිනා වෙනවා නම්, මා දැකලා අඬනවට, ඔරවනවට වඩා, මට ආදරේ කරන්නෙ, මා දැකලා හිනාවෙන්නෙ, මම ඔවුන් සතුටු කළ නිසයි. ඒක මනුෂ්‍ය ජීවිතයක් ලැබුණු අයගෙන් කීයෙන් කී දෙනකුට ලැබෙන අවස්ථාවක්ද? මම හිතන්නෙ ඒක පිනක්.

* මේ දවස්වල ඔබට වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නෙ මයික් වෙනුවෙන්ද?

දෙවෙනි ඉනිමේ මයික්ගෙ චරිතයට තමයි වැඩිම ප්‍රතිචාර තියෙන්නෙ. ඒ වගේම, මම ඉදිරිපත් කරන රියැලිටි වැඩසටහනටත් ප්‍රතිචාර ලැබෙනවා. දෙවෙනි ඉනිමේ අධ්‍යක්ෂවරයාගේ සිට සියලු ම ශිල්පීන් හා අනෙකුත් කාර්ය මණ්ඩලයේ හැමෝගෙම සහාය මතයි මට මයික්ගෙ චරිතය සාර්ථක කර ගන්න ඉඩ ලැබෙන්නෙ. මේ අවස්ථාවේ මම ඒ සියලු දෙනා මතක් කරනවා.

* මයික් වෙනුවෙන් ඔබ විශේෂයෙන් කරන කැපවීම කොහොමද?

මම මේ කාලය තුළ වෙන ටෙලි නාට්‍ය බාර ගන්නෙ නැහැ. මේ චරිතය හරියට කරගෙන යන්න මම දරන වෙහෙස මම විතරයි දන්නෙ. මගේ අධ්‍යක්ෂවරයා සමඟ කතාබහ කරමින්, මයික්ගෙ හැඩරුව, ගති ලක්ෂණ ගොඩනගාගනිමින් මම මේ චරිතය වෙනුවෙන් බොහෝ සේ වෙහෙස වෙනවා.

* හෙට දවසේ ජනතාවගේ ආකර්ෂණය වගේ ම, සම්මාන, ඔබගේ බලාපොරොත්තු අතර ඇඳී පවතිනවාද?

සම්මානයට වඩා මට අවශ්‍ය මිස්ටර් බීන්, චාලි චැප්ලින් වැනි ලෝකයම හඳුනන විකට චරිතයක් වෙන්නයි . අපි ලෝකයේ නළු නිළියන් හඳුනනවා. ඒත්, අපේ අය ලෝකයේ කවුරුවත් හඳුනන්නෙ නැහැ . අපේ හාස්‍ය රංගනය ලෝකයට ගිහින් නැහැ. මම මේ ක්ෂේත්‍රයේ ඉන්න කාලය තුළ, අපේ කලාව ලෝකයටම ගෙනයන ගමනට දායක වෙන්න බලාපොරොත්තු වෙනවා.

* හාස්‍ය මැවීමේදී පිටපතට එහා යාමක් වෙනවද?

ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. සිනාව මවන එක අමාරු කාර්යයක්. ඒ කාර්ය සාර්ථක කර ගන්න ඉවහල් වෙන්නෙ පිටපත් රචකයා සහ රංගන ශිල්පියා අතර තියෙන තේරුම් ගැනීම සහ අධ්‍යකවරයාගෙන් ලැබෙන නිදහස වැනි කරුණුයි.මට මෙතෙක් හමුවන නිර්මාණකරුවන්ගෙන් මට එකී තේරුම් ගැනීම හා නිදහස ලැබුණා. පිටපත සාර්ථකව ලියවිලා තියෙනවා නම්, හාස්‍ය මවන්න ඒක වෙනස් කරන්න අවශ්‍ය නැහැ.

* ඔබට ජනප්‍රියත්වය කියන්නෙ හිසට බරක්ද?

නැහැ . මම මගේ ජනප්‍රියත්වය බොහොම අමාරුවෙන් ගොඩනගා ගත්ත දෙයක්. මගේ අවුරුදු දහයක මහන්සියේ ප්‍රතිඵලය ලෙසයි මම මේ ජනප්‍රියත්වය හිමි කරගෙන තියෙන්නෙ. කෙනකුට එක මොහොතකින් ජනප්‍රියත්වය ළඟා කර ගන්න පුළුවන්. ඒත් ඒක රැකගෙන යන එක තමයි අපහසු කාර්ය. ඒත්, හරි රංගන ශිල්පියකුට ඒක කරන්න බැරි දෙයකුත් නෙමෙයි.

* ඔබ වෘත්තීමය නළුවෙක්ද?

ඔව්. මම මේ ක්ෂේත්‍රයට පය තියපු දා ඉඳන් රංගනය හැර වෙනත් රැකියාවක් කළේ නැහැ.

* ඔබේ පෞද්ගලික දිවියට සමීප වගතුග පවසනවා නම්?

මගේ ගම මොරටුව. මම විවාහකයි. මගේ බිරිය දිලිනි නිලූෂිකා. ඇය කලාවට සම්බන්ධ නැහැ. පෞද්ගලික අංශයේ රැකියාවක් කරනවා. මගේ රංගන කටයුතුවලට ඇගෙන් ලොකු උදව්වක් ලැබෙනවා.

මගේ පියා නීතිඥවරයෙක්. මව ගෘහණියක්. මට එක සහෝදරියක් ඉන්නවා. මගේ රංගනය ගැන හොඳ ම විචාර ලැබෙන්නෙ, මගේ බිරියගෙන් සහ සොයුරියගෙනුයි.

* තිරයේ පෙම්වතා නොවන ඔබට, හැබෑ දිවියෙ පෙම්වතා වන්නට වරම් හිමි වුණෙත් රංගනය නිසාමයි නේද?

මගේ රංගන දිවියේ අමතක නොවන සිදුවීම් අතර ඇයගේ හමුවීමත් තියෙනවා. අපේ පවුල් දෙක ම හඳුනනවා.ඇගේ පියාත් නීතිඥවරයෙක්. මගේ පියාත් නිතිඥවරයෙක්. මේ දැනහැඳුනුම්කම් තිබුණත්, අපට මුණගැහිලා දීර්ඝව කතා කරන්න ඉඩක් ලැබී තිබුණෙ නැහැ. සවීනා ටෙලි නාට්‍යය ඇය පදිංචිව සිටින ප්‍ර දේශයේ රූගත කරන කාලයෙ අපි හමුවෙලා, කතා කරලා, පෙම්වතුන් බවට පත් වෙලා, විවාහ දිවියට ඇතුළු වුණා.

ධම්මිකා සුරංජි පතිරණ
ඡායාරූප - මංජු පෙරේරා 

නව අදහස දක්වන්න