මහින්දට, චන්ද්‍රිකාට වවන්න එන්නැයි දුමින්දගෙන් ආරාධනා | දිනමිණ

මහින්දට, චන්ද්‍රිකාට වවන්න එන්නැයි දුමින්දගෙන් ආරාධනා

ඇමරිකාව ඇතුළු ලෝකයේ ප්‍රධාන රටවල් පාලනය කළ රාජ්‍ය නායක නායිකාවන් විශ්‍රාම ගිය පසු නැවත බලයක් ගැන නොසිතා ගියේ කුඹුරට හෝ තම ගොවි පොළටයි. ඒ නිසා අප රටේ සිටින හිටපු රාජ්‍ය නායිකාව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය  සහ හිටපු රාජ්‍ය නායකයා වන මහින්ද රාජපක්ෂ මහතා තමන්ගේ විශ්‍රාම ජීවිතය වගා කටයුතු වෙනුවෙන් යෙදවීමට ‍වත්මන් ජනාධිපතිතුමා රටේ අටු කොටු පිරවීමට දියත් කළ වගා සංග්‍රාමයට දායකත්වය දී මෙම වැඩ සටහනට ආශීර්වාද කරන ලෙස ඉල්ලා සිටින බව කෘෂි කර්ම ඇමති සහ ශ්‍රී ල.නි.ප. ප්‍රධාන ලේකම් දුමින්ද දිසානායක මහතා පැවසිය.    
 
ඒ මහතා එසේ පැවසුවේ වගා සංග්‍රාමය යටතේ බස්නාහිර පළාත් කෘෂි කර්ම අමාත්‍යංශය හෝමාගම නියදගල පුවක්ගහකුඹුර මහ වෙල් යායේ කුඹුරු අක්කර තිහක් යලි අස්වැද්දීම ආරම්භ කළ අවස්ථාවේ දීය. මෙහි දී වැඩි දුරටත් අදහස් දැක් වු ඇමති දිසානායක මහතා,
 
"අප රටේ ඉතිහාසය ගැන බලවිට කෘෂි කර්මාන්තය නගා සිටු විමට විවිධ ව්‍යාපෘති සහ වැඩ සටහන් ක්‍රියාත්මක වී තිබෙනවා. ඒවා සාර්ථක ද අසාර්ථක රටේ ගොවි ජනතාව දන්නවා. අතීතයේ අපට සිදු වු ඇතැම් ස්භාවික විපත් සහ සිදු කළ විවිධ වැඩ සටහන් දෙස බලා රටේ කෘෂි කර්මාන්තය නංවාලීමට ක්‍රමවත් වැඩපිළිවෙලක අවශ්‍යතාවය  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තුල විශාල අවබෝධයක් ඇති නිසා රටපුරා වගා සංග්‍රාමය ආරම්භ කළා.   
 
කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ඉහල සිට පහල සේවකයින් විසි හත් දහසක් සිටිනවා. එම සියලු සේවකයින්ට තම ගෙවත්තේ ගෙවතු වගාවක් ආරම්භ කළ යුතු බවට දන්වා සිටියා. මීට අමතර රටපුරා ගෙවත් වගා කරුවන් ලක්ෂ පහක් සිටිනවා. එම පිරිසට අවශ්‍ය පොල් පැල, එළවළු පලතුරු පැල  සහ උපදෙස සේවාව ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යංශය සැලසුම් කර තිබෙනවා. මීට අමතරව සෑම පාසැලකම විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා තිබෙන හිස් භූමිවල වගා කරන්නට කියලා එයට දිය හැකි සියලු පහසුකම් අප ලබා දෙනවා. මෙම වැඩ සටහනට සියලු ආගමික ස්ථාන වලින් ද ඉල්ලා සිටිනවා දායකත්වය ලබා දෙන්න අපට දිය හැකි සියලු පහසුකම් ලබා දෙනවා. මෙම වැඩ සටහනට අපගේ විශ්‍රාමික මහත්ම මහත්මීන් දායක කර ගැනීමට වෙනමම ක්‍රමයක් ආරම්භ කර තිබෙනවා, වගා කිරීමට ආශාවක් දක්වන අයට පැල වර්ග පමණක් නොව තමන්ට ශාරීරික වශයෙන් ශක්තිය අඩු මට්ටමක පවතින්නේ නම් එයට ශ්‍රමය ද නොමිලේ ලබා දීමට පියර ගන්නවා. පක්ෂ පාට ජාති සහ ආගම් භේදයකින් තොරව සියලු දෙනා එකතු වි මෙම වැඩ සටහන සාර්ථක කර ගැනිමට දායක වන ලෙස ඉල්ලා සිටිනවා."
 
බස්නාහිර පළාත් ප්‍රධාන ඇමති ඉසුර දේවප්‍රිය මහතා,
 
"රටේම වැඩි ජන ගහනය සිටින්නේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රක්කය බව සියල්ල දන්නවා. කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම, අවිස්සාවේල්ල. කඩුවෙල සහ කැස්බෑව යන මැතිවරණ කොට්ඨාශ හතර තුලයි, වගා කටයුතු බහුලව සිදු කරන්නේ. මෙම ප්‍රදේශවල වගා කටයුතු වල යෙදෙන අපගේ ගොවි ජනතාවට පළාත් සභාවක් වශයෙන් ලබා දීමට හැකි සියලු පහසුකම් ලබා දීමට පියවර ගෙන තිබෙනවා."   
 
බස්නාහිර පළාත් කෘෂි කර්ම ඇමති ගාමිණි තිලකසිරි මහතා ,
 
"අනුරාධපුරයේ පැවති වගා සංග්‍රාම ජාතික වැඩ සටහනින් පසුව දෙවනි වැඩ සටහන හෝමාගම පැවැත්වීම පිළිබදව සතුටු වෙනවා.බස්නාහිර පළාත් කෘෂි කර්ම අමාත්‍යංශය අයත් කොළඹ, ගම්පහ සහ කථතර යන දිස්ත්‍රික්කවල පසු කාලය තුල බද්ධ කොස් පැළ එක්ලක්ෂ පනස් දහසක් සිටු වීමේ වැඩ සටහක් ආරම්භ කළා. එම වැඩසටහන සාර්ථකයි. වගා සංග්‍රාම වැඩසටහනට සමගාමීව තවත් බද්ධ කොස් පැළ ලක්ෂ පහක් සිටු විමට අප සැලසුම් කර තිබෙනවා." 
   
මේ අවස්ථාවට බස්නාහිර පළාත් සභවේ සභාපති සුනිල් විජේරත්න, පළාත් සභා මන්ත්‍රීවරුන් වන හෙක්ටර් බෙත්මගේ,යසපාල කෝරළගේ,හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඒ.ඩී. කුමාරසිරි  කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර, පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ අයි.ඕ. මෙන්ඩිස්, හෝමාගම ප්‍රාදේශීය ලේකම් ජී.එස්.කේ කන්නන්ගර. හෝමාගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පාලිත වීරසුරිය, සැලසුම් අධ්‍යක්ෂ සී. හෙට්ආරච්චි, පළාත් කෘෂි සේවා අධිකාරියේ සභාපති ගාමිණි කුලරත්න,හෝමාගම ප්‍රාදේශීය සභාවේ ලේකම් කුමුදුනි ගුණතිලක යන මහත්ම මහත්මින් සමග විශාල පිරිසක් සහභාගි වුහ . 
 

නව අදහස දක්වන්න