17 වැනි ‘එල්.එස්.ආර්.කලම්බො මැරතන්’ | දිනමිණ

17 වැනි ‘එල්.එස්.ආර්.කලම්බො මැරතන්’

වර්නන් ගුණසේකර

කෙන්යානුවන් ආධිපත්‍ය පතුරුවද්දී අර්ධ මැරතන් ජය වෙනිසියුලා-ශ්‍රී ලංකා අඹු සැමි යුවළකට

වාර්ෂිකව පැවැත්වෙන ශ්‍රී ලංකාවේ එක ම ජාත්‍යන්තර මැරතන් තරගය වන ‘එල්.එස්.ආර්.කළම්බො මැරතන්’ තරගයේ ඊයේ පැවැති 17 වැනි අදියරේදීද කෙන්යානුවන්ගේ ආධිපත්‍ය සුපුරුදු පරිදි ප්‍රදර්ශනය වෙද්දී එහි අර්ධ මැරතන් කාන්තා හා පිරිමි ශූරතා දිනා ගැනීමට අඹු සැමි යුවලක් සමත් වූහ.

අර්ධ මැරතන් ශ්‍රී ලංකා වාර්තාව උසුලන හිරුණි විජේරත්න කලම්බෝ අර්ධ මැරතන් ඉසව්වේ ජයග්‍රාහිකාව වූ අතර ඊට පෙර පිරිමි අර්ධ මැරතන් තරගය ජය ගැනීමට ඇයගේ වෙනිසියුලානු ජාතික සැමියා වන ලුයිස් ඕර්ටා සමත් විය.

මැරතන් තරගයේ පිරිමි ප්‍රථම ස්ථාන ත්‍රිත්වයම කෙන්යාවේ ක්‍රීඩකයන් හිමිකර ගත් අතර ශ්‍රී ලංකා යුද හමුදා සිංහ රෙජිමේන්තුවේ 38 හැවිරිදි කැළුම් සම්පත් තිස්ස ගුණසේකර එම තරගය ප්‍රථමයෙන් නිම කළ ශ්‍රී ලාංකික තරගකරුවා බවට පත්විය. සිවුවැන්නා ලෙසින් ඔහු එම තරගය නිම කළේ පැය 2යි මිනිත්තු 28යි තත්පර 58කිනි. ගුණසේකරට පෙර කෙන්යාවේ ජේම්ස් ටලාම් පැය 2යි මිනිත්තු 23යි තත්පර 37කින් තරගය ජයග්‍රහණය කළ අතර පීටර් කෙටර් (2:24:28) දෙවැනි ස්ථානයද, අමොස් මයින්ඩි (2:25:43) තෙවැනි ස්ථානයද හිමිකර ගත්හ.

ජේම්ස් ටලාම් තරගය නිම කළේ නිරායාසයෙනි. “මට මහන්සියක් නැහැ” යැයි ටලාම් තරගයෙන් පසුව පැවසුවේ මුවගට සිනාවක් නගා ගනිමිණි. ඔහුගේ මව්පියන් ගොවිතැන් කරන අය වූවද ටලාම් පොඩි ව්‍යාපාරිකයෙකි. අට වසරක් තිස්සේම මැරතන් දුවන ඔහු මීට පෙර ජකාර්තාහි පැවැති මැරතන් තරගය ජයග්‍රහණය කර තිබේ. රුවන්ඩා තරගයක් තෙවැනියට නිම කර තිබේ. ජේම්ස් ටලාම් ඊයේ සහභාගි වූයේ ඔහුගේ ක්‍රීඩා දිවියේ 6 වැනි මැරතන් තරගයටය. මෙය ඔහුගේ පළමු කලම්බො මැරතන් තරගය විය.

කැළුම් සම්පත් ගුණසේකර ට 2015 කළම්බො මැරතන් තරගයේ හිමි වූයේද සිවු වැනි ස්ථානයයි. ඔහු මේ තරගයට ඊයේ සහභාගි වූයේ 6 වැනි වතාවටය. “අද තරගයේ මගේ කාලය ගැන මට සතුටු වෙන්න බැහැ. 2015දී මම පැය 2යි මිනිත්තු 25යි තත්පර 30කින් තරගය ඉවර කළා” යැයි ගුණසේකර කියා සිටියේ කලකිරීමකින් යුතුවය. ඔහු ජාතික මහා ක්‍රීඩා උළෙලේ මැරතන් ශූරයා ද වෙයි.

මැරතන් කාන්තා තරගයේදී කෙන්යාවේ මර්සි ටූ හා මාගරට් වන්ගුයි ජුගුනා තරගය නිම කළේ කරට කර සිටිමිනි. පැය 2යි මිනිත්තු 59යි තත්පර 46ක කාලයක් වාර්තා කළ මේ දෙදෙනා අතරින් ජයග්‍රාහිකාව ලෙස තෝරා ගනු ලැබුවේ මර්සි ටූ ය. කෙන්යාවේ ම එමිලි ජෙප්කෝච් තෙවැන්නිය වූ අතර ඇය සටහන් කළ කාලය පැය 3යි මිනිත්තු 2ක් විය. වී.ක්‍රිශාන්තනි පැය 3යි මිනිත්තු 6යි තත්පර 59කින් තරගය සිවුවැනියට නිම කරමින් මැරතන් කාන්තා තරගය ප්‍රථමයෙන් නිම කළ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව බවට පත්වූවාය.

හිරුණි විජේරත්න අර්ධ මැරතන් තරගය ජයග්‍රහණය කළේ පැයයි මිනිත්තු 23යි තත්පර 21ක කාලයක් සටහන් කරමිණි. ඇයගේ සැමියා ලුයිස් ඕර්ටාගේ ජයග්‍රාහී කාලය පැයයි මිනිත්තු 10යි තත්පර 39ක් ලෙසින් වාර්තා වී තිබිණි.

ලංකා ස්පෝට්රයිසන් ආයතනය විසින් සංවිධාන කළ මේ තරගය ඊයේ උදෑසන 6.00 ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව අසලින් ආරම්භ වූයේ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය මහතා දුන් සංඥාවකට අනුවය. රටවල් 47කින් දෙස් විදෙස් දුර දිවීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8500කට අධික ප්‍රමාණයක සහභාගිත්වයෙන් ආරම්භ වූ තරගය කිලෝ මීටර 30ක පමණ දුරක් එන තෙක්ම පැවතියේ එක පොකුරටය. ඉන්පසුව කෙන්යානු ක්‍රීඩකයන් 9 දෙනෙකු හා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙකු සෙසු ක්‍රීඩකයන්ගෙන් මිදී වේගයෙන් ඉදිරියට ඇදී ගියහ. එසේ ලබා ගත් පෙරමුණ තරගය අවසානය දක්වාම රැක ගැනීමට කෙන්යානුවෝ සමත් වූහ.

කාන්තා මැරතන් තරගයේ පළමු කණ්ඩායමේ සිටි ක්‍රීඩිකාවන් හත් දෙනෙකුට ලොකු වැස්සකට මුහුණ දීමට සිදුවිණි. නමුත් ඒ ටික වේලාවකට පමණි. එයින් අධෛර්යයට පත් නොවූ මේ දිරිය ක්‍රීඩිකාවෝ හොඳ ශක්තියකින් යුතුව තරගය නිම කිරීමට සමත් වීම කැපී පෙනුණු සිදුවීමක් විය.

නව අදහස දක්වන්න