ආසියා රගර් තරගාවලියෙන් නවීන් හීනකංකානම්ගේ ඉවතට | දිනමිණ

ආසියා රගර් තරගාවලියෙන් නවීන් හීනකංකානම්ගේ ඉවතට

ෆවුස් මොහොමඩ්

ආසියානු රගර් තරගමාලාවේ අවසන් අදියර ලෙස කොළඹ තුරඟ තරග පිටියේදී මේ මස 14 සහ 15 දෙදින පැවැත්වීමට නියමිත කොළඹ තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායමෙන් 19 හැවිරිදි යොවුන් ක්‍රීඩක නවීන් හීනකංකානම්ගේ ඉවත් වී තිබේ.

සාන්ත තෝමස් විදුහලෙන් බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩකයකු වන හීනකංකානම්ගේට ආසියානු තරගාවලියේ අවසන් අදියරේ තරගාවලියෙන් ඉවත්වීමට සිදුවී ඇත්තේ ඔහුගේ කලවා ප්‍රදේශයේ ඇතිවූ ආබාධයක් හේතුවෙනි. එමෙන්ම පිටකොන්දේ ආබාධයකට ලක්වී සිටින හීනකංකානම්ගේට නැවත සුපුරුදු දස්කම් අතරට පැමිණීමට සති දෙකක පමණ විවේකයක් ලබාගැනීමට සිදුවී ඇතැයි ජාතික රගර් තේරීම් කමිටුවේ ප්‍රධානී මයිකල් ජයසේකර මහතා ඊයේ ‘දිනමිණ’ට පැවැසීය.

‘ඔහුගේ අඩුව ලොකු පාඩුවක්. ඔහු මෙවර ආසියානු රගර් තරගාවලියේ හොංකොං සහ දකුණු කොරියාවේ පැවැති තරගවලදී විශිෂ්ට අයුරින් ක්‍රීඩා කළා.’ ජයසේකර මහතා සඳහන් කළේය.

මේ අතර කොළඹ තරගාවලිය සඳහා නම් කළ ක්‍රීඩකයන් 15 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයන් සිවුදෙනකු අලුතින් ඇතුළත්ව සිටිති. ඒ අතර ආබාධයක් හේතුවෙන් මෙවර ආසියානු තරගාවලියේ පළමු හා දෙවැනි අදියරේ තරගවලට ක්‍රීඩා කිරීමට නොහැකිවූ මහනුවර ක්‍රීඩා සමාජයේ ප්‍රබල ක්‍රීඩකයකු වන රිචඩ් ධර්මපාල එක්වී සිටී. එමෙන්ම පළමු තරගාවලියේදී ආබාධයකට ලක්වූ කවිඳු පෙරේරා ද නැවත සංචිතයට එක්වී සිටින බවත් නවක ක්‍රීඩකයන් ලෙස රීසා රෆායිඩීන් සහ රෙහාන් සිල්වා ද සංචිතයට ඇතුළත්වී සිටින බවත් ජයසේකර මහතා කීවේය.

හීනකංකානම්ගේ වෙනුවට රිචඩ් ධර්මපාල කණ්ඩායමට එක්වීමට ඉඩ ඇතැයි ද, මෙවර තරගාවලියේදී ද ශ්‍රී ලංකා පිලේ නායකත්වය සුදර්ශන මුතුතන්ත්‍රීට හිමිවනු ඇතැයි ද තේරීම් කමිටු ප්‍රධානි ජයසේකර මහතා කියා සිටියේය.

හොංකොං තරගාවලියේ සහ දකුණු කොරියානු තරගාවලියේ පස්වැනි ස්ථානය ලැබූ ශ්‍රී ලංකා පිල මෙවර කොළඹ දී අවසන් කණ්ඩායම් හතරට පැමිණීමේ අරමුණින් තරග වැදීමට නියමිතය.

ශ්‍රී ලංකා සත් සාමාජික රගර් කණ්ඩායම මෙවර තරගාවලිය සඳහා පුහුණුවීම් ආරම්භ කළේ ඊට මාස තුනකට පෙර බවත්, ජපානය හා දකුණු කොරියාව වැනි රටවල් ඊට පෙර දිර්ඝ කාලයක් පුරා පුහුණුවිම්වල නිරතවූ බවත් කී ජයසේකර මහතා ශ්‍රි ලංකා පිලේ ක්‍රීඩකයන්ට හැකියාව තිබූ පමණින් තරග ජයගත නොහැකි බැවින් ඒ සඳහා නිසි පුහුණු ක්‍රමවේදයක් සකස් කළ යුතු බව අවධාරණය කළේය.

ලබන වසරේ ආසියානු ක්‍රීඩා උළෙලේ රගර් තරග ඉසව්වේ පදක්කමක් දිනාගැනීමට නම් ශ්‍රි ලංකා සත් සාමාජක රගර් කණ්ඩායම ආසියාවේ හොඳම රටවල් තුන අතරට එක්විය යුතු බවත්, ඒ සඳහා ක්‍රීඩකයන්ට මනා පුහුණුවක් අවශ්‍ය බවත් ජයසේකර මහතා කියා සිටියේය.

කොළඹ තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සත් සාමාජික රගර් කණ්ඩායම හෙට (10) නම් කිරීමට නියමිතය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...