පකිස්ථානයට ලකුණු 317ක ඉලක්කයක් - UPDATE | දිනමිණ

පකිස්ථානයට ලකුණු 317ක ඉලක්කයක් - UPDATE

පකිස්ථානයට එරෙහිව පැවැති දිවා රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දෙවෙනි ඉනිම සඳහා මීට ටික වේලාවකට පෙර කඩුලු සියල්ලක්ම  දැවී ලකුණු 96ක් ලබා ගැනීමට සමත් විය.

 

ඒ අනුව තරඟය ජයග්‍රහණය කිරීමට පක්ස්ථානයට  ලකුණු 317ක් අවශ්‍ය වේ.

දිල්රුවන්ගෙන් නව වාර්තාවක් - UPDATE

ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක දිල්රුවන් පෙරේරා නව වාර්තාවක් බිහිකිරීමට සමත්ව ඇත.

ඒ, වසරක් තුළ ටෙස්ට් ලකුණු 400ක් සහ කඩුලූ 20ක් බිඳ හෙළු පළමු ක්‍රීඩකයා බවට පත්වෙමිනි.

දිල්රුවන් පෙරේරා මෙම වසරේ මේ දක්වා සහභාගී වූ ටෙස්ට් තරගවල දී ලකුණු 452ක් රැස්කර ගෙන සිටින අතර දඟ පන්දු යවන්නෙකු ලෙස බිඳ හෙළා ඇති කඩුලූ සංඛ්‍යාව 20ක්.

මේ දක්වා ටෙස්ට් තරග 21කට ක්‍රීඩා කර ඇති දිල්රුවන් පෙරේරා කඩුලූ 85ක් සහ ලකුණු 725ක් රැස්කර ගෙන සිටී.

පාකිස්තාන පළමු ඉනිම 262යි: ශ්‍රී ලංකාව 482යි

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් පිල සහ පාකිස්තානය අතර ඩුබායිහිදී පැවැත්වෙන දිවා-රාත්‍රි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව ඊයේ තෙවැනි දිනයට තරගය නතර කරනවිට කඩුලු 5ක් දැවී ලකුණු 34ක් ලබා සිටියේය.

ලකුණු 220 පළමු ඉනිමේ වාසියක් සමගින් දෙවැනි ඉනිම ඇරැඹු ශ්‍රී ලංකාව ඒ අනුව කඩුලු 5ක් අතැතිව පාකිස්තාන පළමු ඉනිමට වඩා ලකුණු 254ක් පසුපසින් සිටී. ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 482ක් රැස්කළ අතර පාකිස්තානයට පළමු ඉනිමේදී සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 262ක් පමණි.

කුසල් මෙන්ඩිස් ලකුණු 8ක් ලබා නොදැවී කඩුල්ලේ රැදි සිටී.

දෙවැනි ඉනිමේදී ශ්‍රී ලංකාවට දැඩී පීඩනයක් එල්ල කළ පාකිස්තාන පන්දු යවන්නෝ පිතිකරුවන් 5දෙනකු ලකුණු 34ක් තුළ දවා ගැනීමට සමත් වූහ.

ලකුණු 3ක් වෙද්දී ශ්‍රී ලංකාවට පළමු කඩුල්ල අහිමි කිරීමට මොහොමඩ් අබ්බාස් සමත් විය. දිගින් දිගටම අසාර්ථක වූ කෞෂාල් සිල්වාට ඊයේ රැස්කරගත හැකිවූයේ ලකුණු 3ක් පමණි. ඔහු කඩුලු රකින ක්‍රීඩක සර්ෆ්‍රාස් අහමඩ් අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය.

අනතුරුව ක්‍රියාත්මක වූ වහබ් රියාස් ලකුණු 4ක් තුළ ශ්‍රී ලංකා පළමු ඉනිමේ සාර්ථක පිතිකරුවා වූ දිමුත් කරුණාරත්න ලකුණු 7කටත්, සධීර සමරවික්‍රම ලකුණු 13කටත් යළි ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් විය. කරුණාරත්න පළමු ඉනිමේ දී මෙන්ම රියාස්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගිය අතර සමරවික්‍රම, සර්ෆ්‍රාස් අහමඩ් උඩ පන්දුවක් රැක ගැනීමෙන් දැවී ගියේය.

සිවුවැනි කඩුල්ලට පිටියට පිවිසි සුරංග ලක්මාල් (1) යසීර් ෂාගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවනවිට මුළු ලකුණු සංඛ්‍යාව 33කි. තවත් ලකුණක් එක්වෙද්දී නායක දිනේෂ් චන්දිමාල්ද ලකුණු ලබාගැනීමට පෙර දැවී ගියේ වහබ් රියාස් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමෙනි. ඒ සමග තෙවැනි දිනයට තරගය නතර කෙරිණි.

ලකුණු 51කට කිසිවකු නොදැවී තිබියදි තෙවැනි දිනය ඇරැඹු පාකිස්තාන පිලට ඊයේ සියල්ලන් දැවී එක්කර ගත හැකිවූයේ තවත් ලකුණු 211ක් පමණි.

ලකුණු 5ක් තුළ ආරම්භක පිතිකරුවන් දෙදෙනා පිටියෙන් ඉවත් කිරීමට ළහිරු ගමගේ හා ඩිල්රුවන් පෙරේරා සමත් වූහ. දිවා-රාත්‍රි ටෙස්ට් තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු කඩුල්ල මෙන්ම ගමගේ ලබාගත් මංගල ටෙස්ට් කඩුල්ල ලෙස ලකුණු 16ක් ලබාසිටි ෂාන් මසූඩ් කෙළින්ම පන්දුව කඩුල්ලේ වැදීමෙන් දැවී ගිය අතර ඊළග ඕවරයේදී සමී අස්ලාම් (39) කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට ඩිල්රුවන්ට හැකිවිය.

මුළු ලකුණු 92ක් වෙද්දී තෙවැනි කඩුල්ල ලෙස අසාඩ් සෆීක් (12) දැවී ගියේ සුරංග ලක්මාල්ගේ පන්දුවක් හමුවේ කුසල් මෙන්ඩිස් උඩ පන්දුවක් රැක ගැනීමෙනි. අනතුරුව ක්‍රියාත්මක වූ රංගන හේරත්, බාබර් අසාම්ගේ (8) ඉනිම නිමා කළේ ලකුණු 109දී පාකිස්තානයට සිවුවැනි කඩුල්ල අහිමි කරමිනි.

ඊයේ සවස තේ පානයත් රාත්‍රි විවේකයත් අතර කාලයේදී ශ්‍රී ලංකා පිලට දවාගත හැකිවූයේ එක් කඩුල්ලක් පමණි. ඉනිමේ සාර්ථක පිතිකරු වූ අසාර් අලි ලකුණු 59කට දැවී ගියේ රංගන හේරත්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමිනි.

එහෙත් රාත්‍රි විවේකයෙන් පසුව පාකිස්තාන පිතිකරුවන්ට එල්ල කළ පීඩනය දැඩිකළ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ලකුණු 76ක් තුළ පාකිස්තාන ඉනිම නිමා කළේ ශ්‍රී ලංකාවට ලකුණු 220ක පළමු ඉනිමේ වාසියක් ලබාදෙමිනි. දෙවැනි ටෙස්ට් අර්ධ ශතකය රැස්කළ හාරිස් සොහේල් (56) හා නායක සර්ෆ්‍රාස් අහමඩ් (14) පිටියෙන් ඉවත් කිරීමට ඩිල්රුවන් පෙරේරා සමත් වූ අතර මොහොමඩ් අමීර්, හේරත්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවිය. ගමගේ ගේ පන්දුවක් හමුවේ සධීර උඩ පන්දුවක් රැක ගැනීමෙන් වහබ් රියාස් (16) 9වැනි කඩුල්ල ලෙස දැවී ගිය අතර සුරංග ලක්මාලේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ලකුණු 24ක් ලබාසිටි යසීර් ෂා දැවී යෑමෙත් සමග පාකිස්තාන ඉනිම ලකුණු 262කට සීමාවිය. පන්දු යැවීමේදී ඩිල්රුවන් පෙරේරා හා රංගන හේරත් කඩුලු 3 බැගින්ද, සුරංග ලක්මාල් හා ළහිරු ගමගේ කඩුලු 2 බැගින්ද දවා ගත්හ.

සිය ටෙස්ට් තරග දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නගේ පිතිහරඹය මතින් ඉනිම ගොඩනැගූ ශ්‍රී ලංකා කණ්ඩායම පෙරේදා සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 482කි. තරගයේ පළමු දිනයේදී නොදැවී ලකුණු 133ක් ලබා සිටි කරුණාරත්න පෙරේදා තරගයේ දෙවැනි දිනයේ ශ්‍රී ලංකා ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙස මුලු ලකුණු සංඛ්‍යාව 429ක්ව තිබියදී දැවී ගියේ ඔහුගේ මංගල ටෙස්ට් ද්විත්ව ශතකයට ලකුණු 4ක් අඩුවී තිබියදීය.

පැය 9ක් පුරා කඩුල්ලේ රැඳී සිටි කරුණාරත්න පන්දු 405කට මුහුණදෙමින් හතරේ පහර 19ක් සහ එක් හයේ පහරක් සමග රැස් කළ ලකුණු සංඛ්‍යාව 196කි. යසීර් ෂා යැවූ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ඔහු දැවී ගියේ පෙරේදා රාත්‍රී ආහාරවේලට පෙරය.

ඊට පෙර ටෙස්ට් ඉනිමක ඔහු රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ මීට වසර දෙකකට පෙර ගාල්ලේ දී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව රැස් කළ ලකුණු 186යි. පෙරේදා සිය ලකුණු සංඛ්‍යාව 143 දක්වා ඉහළ දමාගත් කරුණාරත්න ටෙස්ට් තරග දිවියේ ලකුණු 3000 සම්පූර්ණ කිරිමට ද සමත් විය. සිය 44 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන කරුණාරත්න ටෙස්ට් ලකුණු 3000ක් සම්පූර්ණ කළ 12 වැනි ශ්‍රී ලාංකික පිතිකරුවා විය.

සිය ඉනිම අතරතුරදී නායක දිනේෂ් චන්දිමාල් සමග එක්ව 4 වැනි කඩුල්ලට ලකුණු 146ක් එක් කළ කරුණාරත්න අනතුරුව නිරෝෂන් දික්වැල්ල හා එක්ව පස්වැනි කඩුල්ලට ලකුණු 88ක් ද, ඩිල්රුවන් පෙරේරා හා එක්ව 6 වැනි කඩුල්ලට ලකුණු 59ක් ද එක් කිරීමට සමත්විය.

ශ්‍රි ලංකා ඉනිමෙන් කඩුලු 6ක් උදුරා ගැනීමට යසීර් ෂා සමත්විය.

පෙරේදා තරගය නිමාවට පත්වෙද්දී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කිසිවකු නොදැවි ලකුණු 51ක් රැස් කර තිබිණි.

අද තරගයේ සිවුවැනි දිනයයි. 

 

නව අදහස දක්වන්න