ලියුම් පෙට්ටිය හමස් පෙට්ටියට? | දිනමිණ

ලියුම් පෙට්ටිය හමස් පෙට්ටියට?

රටේ තැපැල් සේවය ගැන කතා කිරීමටත් ඒ සම්බන්ධයෙන් ඉදිරි සැලැසුම් සකස් කිරීමටත් හොඳම කාලය හා දිනය පැමිණ ඇතැ’යි කියන්නට පුළුවන. අද විශ්ව තැපැල් දිනය ලෙස නම් කර ඇත. ලෝකය තැපැල් දිනය සමරන්නේ විදුලි පණිවිඩ හෙවත් ටෙලිග්‍රෑම් ඉවත දැමූ යුගයක ය. ලියුම් ජන සමාජයෙන් ගිලිහී යන යුගයක ය. ඇතැම් රටවල් තැපැල් සේවය ඈවර කළේය. තව රටවල් තැපැල් සේවය නවීකරණය කළේය. තවත් රටවල් තැපැල් සේවය ඉතා අමාරුවෙන් පවත්වා ගනිමින් සිටින්නේ ය. ශ්‍රී ලංකාව අයත්වන්නේ ද තුන්වන ගණයට ය.

අපේ තැපැල් දෙපාර්තමේන්තුව ලාභ උපයන ආයතනයක් නො වේ. එය තවදුරටත් පවතින්නේ රාජ්‍ය ආයතන කිහිපයක නිල සන්නිවේදන කාර්යභාරයක් ඉටු කිරීම සඳහා යැයි කියන්නට පුළුවන. විභාග කටයුතු, මැතිවරණ කටයුතු ආදියේ දී තැපැල් ‍ සේවය තවදුරටත් යම් නිල මෙහෙවරක යෙදෙයි. පෞද්ගලික ලිපි ගනුදෙනු මෙන්ම ව්‍යාපාරික කටයුතු ද තැපෑල වෙතින් සෙමෙන් ඈත් වී තිබේ. විදුලි පණිවිඩවලින් වැඩක් ඇත්තේ ම නැත. ලෝක සන්නිවේදන ක්‍රියාවලිය “ඩිජිටල්” තාක්ෂණයට මාරු වී ඇත. අදහස් හුවමාරුව තොරතුරු දැනගැනීම “ඔන් ලයින්” මත පැට වී ඇත. ඉතින් තැපෑල තවදුරටත් වලංගුවන්නේ කෙසේ ද?

තැපැල්පතිවරයා පෙන්වා දෙන ලෙස රට පුරා උප තැපැල් කාර්යාල තුන්දහස් ගණනක් තිබේ. එයින් කාර්යාල එක්දහස් පන්සියයක් පමණ ශත පහක ආදායමක් ලබන්නේ නැත. ඒවායෙහි වාර්ෂික ආදායම බින්දුව ලෙස සැලකේ. තවත් උප කාර්යාල ගණනාවක මාසික ආදායම රුපියල් දෙදහසට අඩු ය. මේ කාර්යාල තුළ සැලකිය යුතු පිරිසක් ද සේවය කරති. රජය ඔවුන් සඳහා පහසුකම් සැපයිය යුතු ය. 2002 වන විට තැපැල් දෙපාර්තමේන්තුවේ මුළු සේවක සංඛ්‍යාව 23,000ට වැඩි විය. අද වුව සේවක සංඛ්‍යාවේ විශාල අඩුවක් සිදු වී නැත. පෞද්ගලික තැපැල් කාර්යාල ද පවතින අතර ඒවා ද හොඳ ආදායම් ලබන්නේ යැයි සිතිය නො හැකි ය.

තැපැල් දෙපාර්තමේන්තුවට සිදුවී ඇත්තේ කුමක් ද? එය මේ සියවසට ගැළපෙන අයුරින් නවීකරණය කළ නොහැකිද? මේ සම්බන්ධයෙන් දීර්ඝ හා ගැඹුරු සංවාද පවත්වා ඇත. එහෙත් මේ වනතුරු නවීකරණයට අදාළ සැලැසුමක් ඉදිරිපත් වී නැත. ටැලිග්‍රෑම්, ලිපි ගනුදෙනු, මුද්දර අලෙවිය මත පමණක් මේ සේවය පවත්වාගෙන යා නොහැකි බව කාට වුව වැටහෙනු ඇත. 2000 ගණන්වලදී සන්නිවේදන පියස නමින් වැඩසටහනක් ක්‍රියාත්මක විය. එහි අරමුණ වූයේ නවීන සන්නිවේදන තාක්ෂණයෙන් සමන්විත ස්ථානයක් හැටියට තැපැල් කාර්යාල පත් කිරීම ය. ඒ අනුව පරිගණක සහිත අලුත් පරිශ්‍රයක් තැපැල්හලට ලැබිණි. එහෙත් මේ වැඩසටහන දැන් ක්‍රියාත්මක වන්නේ නැත.

තැපැල් දෙපාර්තමේන්තුව පෞද්ගලිකකරණයට නතු කළ යුතුයැයි යෝජනාවක් කලකට පෙර ඉදිරිපත් විය. එහෙත් සේවක විරෝධතා නිසා එය නැවතිණි. මේ දෙපාර්තමේන්තුව පාඩු ලබන ආයතනයක් වුව සේවක උද්ඝෝෂණ. වැඩවර්ජන, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආදියෙන් සර්ව සම්පූර්ණ ය. විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරන වෘත්තීය සමිති රැසක් ද එහි ක්‍රියාත්මක ය. තැපැල් සේවය සඳහා නව සැලැසුම් සකස් කරන විටද අලුත් යෝජනා ඉදිරිපත් කරන විටද වෘත්තීය සමිති ඒවාට එරෙහි වන බවක් ද පෙනෙන්නට තිබේ. මේ ආයතනය සාම්ප්‍රදායික ක්‍රමවේද සහිත ආයතනයක් සේම සාම්ප්‍රදායික අරගල සහිත ආයතනයක් ලෙස ද සැලැකිය හැකි ය.

තැපැල් දෙපාර්තමේන්තුව මීට දසක දෙකකට පෙරත් රටේ අභිමානවත් රාජ්‍ය ආයතනයකි. එදා මහජනයාගේ අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ද එය පැවැතිණි. රජයේ බොහෝ සන්නිවේදන කටයුතු සිදුවූයේ තැපෑල හරහා ය. එදා තැපැල් සේවකයා රටේ පිළිගත් සමාජ වටිනාකම් සහිත පුද්ගලයෙකි. තැපැල් මහත්තයා ලෙස ඔහු හැඳින්විණි. ඉතිරි කිරීමේ ක්‍රමවේදයක් ද තැපෑල තුළ තිබිණි. දරුවෝ “පාස් පොත්” රැගෙන කන්තෝරුවට ගියහ. මේ ඔස්සේ රට පුරා ඉතිරිකිරීමේ සංස්කෘතියක් ද ඇතිවිය. පසුව ජාතික ඉතිරිකිරීමේ බැංකුව බිහිවන්නේ ද තැපෑලේ “පාස් පොත” ඔස්සේ ය. ඉතිරිකිරීමේ බැංකුව බිහිවීමත් සමඟ තැපෑලේ ඉතිරිකිරීම අවසන් විය.

ඉන්දියාව විදුලි පණිවිඩ හෙවත් ටෙලිග්‍රෑම් සේවය නවතා වසර දෙකක් හෝ තුනක් ගත වී ඇත. මහා බ්‍රිතාන්‍යය ටෙලිග්‍රෑම් සේවය නවතා දැමූයේ ඊටත් කලින් ය. ඉන්දියාව ටෙලිග්‍රෑම් නවතා දැමූවද තැපැල් සේවය හොඳින් පවත්වාගෙන යයි. එහි තැපැල් සේවය පවත්වාගෙන යන ගිණුම් ක්‍රමය හා ඉතිරි කිරීමේ ක්‍රමවේදය ඉන්දියාව තුළ මහත් ජනප්‍රිය තත්ත්වයක පවතී. ඉන්දියාව පාසල් දරුවන්ගේ ඉතිරි කිරීම කෙරෙහි දැඩි නැඹුරුතාවක් දක්වයි. අපේ තැපෑලටද ඉන්දියාවෙන් ආදර්ශ ලබා ගත හැකි ය. අප උත්සාහ කළයුත්තේ තැපෑල වසා දැමීමට නොව; එය නවීකරණය කොට සාර්ථකව පවත්වාගෙන යෑමට ය. මේ සඳහා අලුත් යෝජනා හා නව සැලැසුම් ඉදිරිපත් විය යුතුය.

තැපැල් දෙපාර්තමේන්තුව සතු ඇතැම් ගොඩනැගිලි සංචාරක ආකර්ෂණය දිනා ගන්නා අලංකෘත හා සැපපහසු ඒවා බව බොහෝ දෙනා දනිති. එම ස්ථානවලට සංචාරකයන් ගෙන්වාගෙන ආදායම් ඉපැයිය හැකි යෝජනාවක් ඉදිරිපත් වී තිබුණ ද සේවක විරෝධතා නිසා එය අතරමඟ නැවතී ඇත. අපට හැ‍ඟෙන පරිදි එය හොඳ වැඩසටහනකි. එයින් ආයතනයට ලාභයක් මිස පාඩුවක් සිදුවන්නේ නැත. සේවක ප්‍රජාව මේ අදහසට විරුද්ධ වී ඇත්තේ තැපෑලේ සම්පත් විකුණනවා යන සටන් පාඨය පෙරදැරි වය. එහෙත් වැඩසටහන යටතේ කිසිදු ගොඩනැගිල්ලක් විකුණන්නේ නැත.

තැපැල් සේවයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් වූ වැදගත් යෝජනාවලින් සමන්විත සැලැසුමක් රජයට ලබාදෙන බව තැපැල්පතිවරයා කියා ඇත. එය ඉතා වැදගත් ය. අපගේ වැටහීමට අනුව තැපැල් දෙපාර්තමේන්තුවට අයත් වෘත්තීය සමිති ගණනාවක යෝජනා ද මීට ඇතුළත් ය. රජය මේ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය කුමක්දැ’යි අප දන්නේ නැත. එහෙත් තැපැල් සේවකයන්ගේ හා එම ආයතනයේ ද සුබ සිද්ධිය සඳහා ශක්තිමත් වැඩසටහනක් අවශ්‍ය බව කාටත් පෙනී යනු ඇත. ලෝකය ඉතා වේගයෙන් ඩිජිටල් තාක්ෂණය වෙත ආශක්ත වුව; මුද්‍රිත සන්නිවේදනයේ ප්‍රමුඛයා වූ පුවත්පත අ‍හෝසි වූයේ නැත.

නව අදහස දක්වන්න