අත්හරින බිලින්දෝ! | දිනමිණ

අත්හරින බිලින්දෝ!

අනුරාධපුර රෝහල අසල පුංචි කැලෑ රොදකින් සොයාගත් දින දොළහක් වයසැති ළදරුවා ද, ඔහුගේ මව යැයි කියනු ලබන විසි දෙහැවිරිදි ශිෂ්‍යාව ද මේ දිනවල කාගේත් කතාබහට ලක්වන චරිත දෙකක් බවට පත් ව සිටිති. ලන්දට අතහැර තිබූ දරුවාගේ ජීවිතය බේරී ඇත්තේ වාසනාවකට යැයි කියන්නට පුළුවන. සිද්ධිය වාර්තා කර තිබූ අන්දමට අනුව; කිරිකැටියාගේ ලේ සුවඳට සුනඛයකු පැමිණ තිබේ. එහෙත් සුනඛයා දරුවාට හානියක් සිදුකර නැත. මේ දරුවා පිළිබඳ බරපතළ කම්පාවක් අපට ඇති වේ. ඒ සමඟ ම දරුවා ලන්දට වීසි කළ මව කෙරෙහි බලවත් කෝපයක් ඇතිවීම ද නැවැත්විය නො හැකි ය.

සිසුවිය සිය දරුවා අතරමං කිරීමට අදාළ ඇත්ත හේතු අප දන්නේ නැත. එහෙත් ඇගේ මාපියන් මේ බව නොදන්නා බව හෙළිදරව් වී ඇත. නිවසට මේ බව දැනුම් දීමට සිසුවිය බියෙන් සිටි බවක් ද ප්‍රකාශ වී ඇත. දරුවන් හා මාපියන් අතර සමීප සම්බන්ධයක් තිබිය යුතු බවද, ප්‍රේමය, ලිංගිකත්වය වැනි කටයුතුවලදී ඒවා ගැන දෙපාර්ශ්වය සාකච්ඡා කළ යුතු බව ද උපදේශනවල සඳහන් වේ. වෛද්‍ය සිසුවියක නම් මෝඩ තැනැත්තියක නොවේ. අපේ අධ්‍යාපනයට අනුව ඇය ඉහළ බුද්ධියකින් සමන්විත දක්ෂ තරුණියක විය යුතුය. එබඳු අයගේ හැසිරීම ද බුද්ධිමත් නැති බව මේ සිද්ධියෙන් පෙනී යයි.

වෛද්‍ය සිසුවියක නම් මානවයාගේ ප්‍රජනන ක්‍රියාවලිය පිළිබඳ විද්‍යාත්මක හැදෑරීමක් කළ කෙනෙකි. ඒ අනුව දරුවකු පිළිසිඳ නො ගන්නා ආකාරයට පෙම්වතකු ආශ්‍රය කිරීමේ ව්‍යවහාරික ඥානය ඇයට තිබේ. ඇය පෙම්වතකු ආශ්‍රය කළ බව ද ඒ බව වැඩිහිටියන් නොදන්නා බව ද ප්‍රකාශ වී තිබේ. එහිදී ද පෙනී යන්නේ තරුණ දරුවන් හා වැඩිහිටියන් අතර මානව සම්බන්ධතා හරි හැටි සිදු වී නැති බව ය. දරුවකුගේ වෙනස්වීම් ගැන මාපියන් සොයා බැලිය යුතුය. අනෙක් අතට තමන් මුහුණ දෙන ගැටලු පළමුව මාපියන් සමඟ සාකච්ඡා කිරීමට තරුණ දරුවන් පෙලැඹිය යුතුය. මේ කිසිවක් සිදු වී නැත.

සිද්ධිය සාධකයක් බවට පත්කරගෙන උගත් තරුණ පරම්පරාව දැඩි විවේචනයකට හසුකරන්නට පුළුවන. වෛද්‍ය වෘත්තිය හෑල්ලුවට ලක් කරන්නටත් පුළුවන. එහෙත් එය යුක්ති සහගත යැයි කියන්නට බැරි ය. අප පළමුව සොයා බැලිය යුත්තේ සිසුවිය මෙබඳු තීරණයක් ගැනීමට බලපෑ හේතු - සාධක කවරේ ද යන්න ය. සිසුවිය දරුවකු ගැන බලාපොරොත්තු තබාගන්නට ඇත්තේ විවාහය පිළිබඳ අපේක්ෂාවෙන් වන්නට පුළුවන. ඒ අතර පෙම්වතා වෙනස් වූවා ද යන්න අප දන්නේ නැත. ඇතැම් සිදුවීම්වලදී සිසුවියට වැරදීමක් සිදුවූවා වන්නට ද පුළුවන. කුමක් වුව ඇයට බැණ වැදීමෙන් පමණක් ගැටලුව විස‍ඳෙන්නේ නැත. ඇය කෙරෙහි ද අනුකම්පාවෙන් බැලීම වැදගත් ය.

රටේ පවත්නා ඇතැම් නීති - රීති මෙන් ම සමාජ ආකල්ප ද මෙබඳු සිදුවීම් කෙරෙහි තදින් ම බලපායි. ගබ්සාව සම්බන්ධයෙන් දැනට පවත්නා නීති වෙනස් විය යුතු බවට හඬක් නැඟුණ ද එය සිදුවන්නේ නැත. ලිංගිකත්වය සම්බන්ධයෙන් ඇති සමාජ ආකල්ප ද අදට ගැළපෙන්නේ නැතැ’යි කියන්නට පුළුවන. ස්ත්‍රිය, විවාහය, ගර්භණීභාවය මවකවීම යන සංසිද්ධීන් දෙස සමාජය හෙළන දෘෂ්ටිය ද සාධාරණ යැයි කිව නොහැකි ය. විවාහයට පෙර ලිංගික ඇසුර පාපයක් ලෙස ද බරපතළ වැරැද්දක් ලෙස ද සලකනු ලැබේ. නීත්‍යානුකූල විවාහයකින් තොරව දරුවකු ලැබීම අපේ සමාජය කිසිසේත් අනුමත කරන්නේ නැත. මේවායෙහි ප්‍රතිඵල එතරම් සුබදායක නැති බව ඉහත සිද්ධියෙන් ද සනාථ වෙයි.

සිසුවිය ගැබ් ගැනීමත් සමඟ ගැටලු රාශියකට මුහුණදෙන්නට ඇත. එක අතෙකින් මේ තත්ත්වය ගෙදරට හෙළිදරව් කළ නොහැකි ය. තව අතෙකින් අධ්‍යාපනයට එය බාධාවකි. තවත් අතෙකින් සමාජයට මුහුණදීමේ අපහසුවක් ද තිබේ. නීතියට අනුව ගබ්සාවක් කරගැනීමට ද ඉඩක් නැත. මේ සිසුවිය සිය දිවි හානිකරගැනීමකින් තොරව දරුවා ප්‍රසූත කිරීම ද එක අතෙකින් වාසනාවකි. ඒ අනුව වටිනා ජීවිත දෙකක් රටට ඉතිරි වී ඇත. මෙබඳු අර්බුදවලදී සිය දිවි නසාගන්නා අය වැඩි බවද සිතට ගත යුතුය. මෙහි ලා සිදු වී ඇති එක ම වරද වන්නේ දරුවා මගහැර යෑම පමණි. එය ක්‍රෑරත්වයක් සේ සැලැකිය හැකි ය. එය නීතිය හමුවේ වරදකි.

උගත් හා බුද්ධිමත් යැයි සම්මත රටේ ඇතැම් තරුණ කණ්ඩායම් පිළිබඳ ගැටලුවක් ද මේ සිද්ධිය සමඟ ගැට ගැසී ඇත. වෛද්‍ය ශිෂ්‍යාවක යනු අපේ අධ්‍යාපනයේ ඉහළම ප්‍රතිඵලයකි. එහෙත් එබඳු අය පවා ජීවිතයට මුහුණ දෙන්නට දන්නේ නැත. ගැටලුවක් බුද්ධිමත් ලෙස විසඳාගන්නට දන්නේ නැත. අධ්‍යාපනය යනු පොතේ දැනුම පමණක් ද? පොදුවේ ගත් කල විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් යනු රටේ ඉහළම බුද්ධිමතුන්ගේ නියෝජනයක් ලෙස සැලැකිය හැකි ය. එහෙත් ඔවුන්ගේ චර්යාවන් ගැන සතුටු විය නො හැකි ය. සයිටම් ප්‍රශ්නය මූලික කරගෙන අධ්‍යාපනය කඩාකප්පල් කරගන්නා පිරිසක් වෛද්‍ය පීඨවල සිටිති. අනෙක් සෑම පීඨයක ම පාහේ නිරන්තර ගැටුම් ය. කැලණිය සරසවිය ගැටුම් කිහිපයක් නිසා වසා දමා ඇත.

රටේ ඇතැම් සිදුවීම් දෙස බලනවිට පෙනී යන තවත් වැදගත් කරුණු කිහිපයක් ද තිබේ. ඉන් එකක් වන්නේ ඇතමකුට දරුවන් හිරිහැරයක් වී ඇති බව ය. දරුවන් අනාථ කිරීම මෙන් ම උපන් හැටියේ බිලිඳුන් මරා දැමීම ද වරින් - වර වාර්තා වෙයි. දරුවන්ට කුරිරු ලෙස සැලකීම පිළිබඳ සිද්ධීන් අපේ රටේ බහුල ය. අනවශ්‍ය පිළිසිඳගැනීම් ද මීට එක් හේතුවක් වන්නට පුළුවන. ප්‍රජනන ක්‍රියාවලිය පිළිබඳ සමාජය සතු නොවැටහීම ද මීට බලපාන්නට පුළුවන. කුමක් වුව අවසන් ප්‍රතිඵලය හැටියට දිනෙන් - දින මනුෂ්‍යත්වය දිය වී යන බවක් පෙනෙන්නට තිබේ. අනුරාධපුරයේ සිද්ධියට ද මනුෂ්‍යත්වය පිළිබඳ ගැටලුවක් තිබේ.

අපේ රටේ නූතන තරුණ පරම්පරාව මුහුණ දී ඇති එක ගැටලුවක් වන්නේ තමන්ගේ ගැටලු සංවාදයට ලක් කිරීමට විශ්වාසවන්ත තැනක් නොතිබීම ය. මේ හේතුව නිසා බොහෝදෙනෙක් දිවි නසා ගනිති. තවත් පිරිසක් ජීවිතය කාලකණ්ණි කර ගනිති. මේ ශිෂ්‍යාවගේ ගැටලුව ද සාකච්ඡා කිරීමට කෙනකු හෝ ආයතනයක් හෝ තිබුණේ නම්; සිද්ධිය මීට වඩා හොඳ තැනකින් නිමාවට පත්වන්නට ඉඩ තිබිණි. කෙසේ වුව නීතිය ඉදිරියේ පෙනී සිටින්නට ඇයට සිදු වේ. ඊට අදාළ තීන්දුව කුමක් වේදැ’යි අපට කිව නොහැකි ය. කුමක් වුව ශ්‍රී ලංකාවේ දරුවන් හා අනවශ්‍ය පිළිසිඳගැනීම් පිළිබඳ ගැටලුවේ තවත් එක් අවස්ථාවක් ලෙස මෙය සැලැකිය හැකි ය.

අදහස් 1ක් ඇත

All men must be sterilised when young which can be reversed only if they get married ! So many unwanted births can be stopped before it happens.

නව අදහස දක්වන්න