මන්ත්‍රණ සභාවෙන් පාර්ලිමේන්තුවට...! | දිනමිණ

මන්ත්‍රණ සභාවෙන් පාර්ලිමේන්තුවට...!

 ශ්‍රී ලංකාව නෛතික වශයෙන් හැඳින්වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයක් හැටියට ය. එහි එක් සරල අර්ථයක් වන්නේ ජනතාවගේ අභිමතය පරිදි පත් වූ නියෝජිත පිරිසකගෙන් සමන්විත ආණ්ඩුවක් මගින් රටේ පාලනය සිදුවන බව ය. ඈත අතීතයේ දී ජනමතයට ඉඩක් තිබුණේ නැත. පාරම්පරික වැඩවසම් සම්ප්‍රදායට අනුව ප්‍රභූ - පන්තියේ බලය හිමි තැනැත්තා නැතහොත් උරුමක්කාරයා රටේ පාලනය භාර ගත්තේ ය. ඔහු තම සිතැඟි අනුව ද, උපදේශන අනුව ද රාජ්‍ය පාලනය ගෙන ගියේ ය. මහජන අභිමතය කුමක් වුව රාජ්‍ය පාලනය පිළිගැනීමට හා ඊට යටත්වීමට වැසියාට සිදු විය. ශ්‍රී ලංකාවේ මේ දේශපාලන ක්‍රමය හෙවත් රාජාණ්ඩු ක්‍රමය අවසන් වූයේ විදේශීය ආක්‍රමණ නිසා යැයි කියන්නට පුළුවන.

විදේශීය ආක්‍රමණ ගෙන බලන විට බටහිර ජාතීන්ගේ සංක්‍රමණ නිසා අපේ දේශපාලනය බොහෝ සෙයින් වෙනස් විය. පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි යන ජාතිකයෝ රටට දැඩි බලපෑම් සිදු කළහ. මේ අතරින් ඉංග්‍රීසිහු වඩා බලවත් වූ අතර මුළු රට ම යටත් කර ගත්හ. එහි ප්‍රතිඵලයක් ලෙස යුරෝපීය දේශපාලනයේ ඇතැම් ලක්ෂණ ශ්‍රී ලංකාවට ප්‍රවේශ විය. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ද එහි ප්‍රතිඵලයක් ලෙස සැලැකිය හැකි ය. ඩොනමෝර් හා සෝල්බරි කොමිෂන් සභා මෙහි ලා විශේෂ කාර්යභාරයක් ඉටුකර තිබේ. මේ කොමිෂන් සභා දෙක ම හැඳින්විය හැක්කේ අපේ දේශපාලනයේ විප්ලවීය අවස්ථා හැටියට ය. ඉංග්‍රීසිකාරයා අපට දායාද කළ හොඳ දේවල් අතර පාර්ලිමේන්තු ක්‍රමය ද පවතී.

සර්වජන ඡන්ද බලය හිමිකර ගැනීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරගැනීම මේ ක්‍රමය යටතේ අප ලැබූ දේශපාලන ජයග්‍රහණ සේ සැලැකිය හැකි ය. එදා අපේ නායකයන්ගේ චින්තනය හා සුදු ජාතිකයන්ගේ චින්තනය අතර මහත් පරතරයක් පැවැතිණි. දේශපාලන විවෘතභාවය පිළිබඳ අදහස සුදු ජාතිකයන් ළඟ පැවැති අතර අපේ නායකයන්ගෙන් වැඩි දෙනකු ඊට කැමැති වී නැත. ඩොනමෝර් කොමිසම හමුවේ 140 දෙනකු සාක්ෂි ලබා දී ඇත. එයින් සර්වජන ඡන්ද බලය ඉල්ලා ඇත්තේ ඒ.ඊ.ගුණසිංහ මහතා පමණි. දෙමළ ජාතිකයන් වෙනුවෙන් සාක්ෂි ලබා දුන් පොන්නම්බලම් අරුණාචලම් මහතා ඉල්ලා ඇත්තේ නූගත් සාමාන්‍ය ජනයාට ඡන්ද අයිතිය නොදෙන ලෙස ය. සිංහල නායකයන් බොහෝ දෙනකුගේ අදහස ද ඊට වෙනස් වී නැත.

සුදු ජාතිකයන්ගේ ඩොමීනියන් පාලන තන්ත්‍රය යටතේ ශ්‍රී ලංකාව වැනි රටකට සර්වජන ඡන්ද බලය හිමිවීම ද, පාර්ලිමේන්තු පාලන ක්‍රමයක්ලැබීම ද සුවිශේෂ තත්ත්වයක් සේ සලකන්නට පුළුවන. ඩොමීනියන් රාජ්‍ය පාලනයට නතු වූ ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, කැනඩාව වැනි රටවලට ද ස්වයං පාලන බලයක් ලැබුණේ සීමා සහිත තත්ත්වයන් යටතේ ය. ඩොමීනියන් පාලනයට යටත් වූ ආසියාවේ සෙසු රටවලට පළමුව ශ්‍රී ලංකාවට ස්වයං පාලන අයිතිය ලැබිණි. ඒ අනුව ආසියාවේ පළමු පාර්ලිමේන්තු ක්‍රමය හිමිවන්නේ අපේ රටට ය. එය අපට ගෞරවණීය තත්ත්වයක් ගෙන දී ඇත. අපේ පාර්ලි‍මේන්තුවට දැන් වසර හැත්තෑව සම්පූර්ණ වී ඇත. එය අපේ දේශපාලන ඉතිහාසයේ සන්ධිස්ථානයක් ලෙස ගත හැකි ය.

මානව ශිෂ්ටාචාරය නිර්මාණය වී ඇත්තේ මිනිස් ක්‍රියාකාරකම්වල ජයග්‍රහණ හා පරාජයන් ඔස්සේ ය. ශ්‍රී ලංකාවේ ජනතාවගේ විශිෂ්ට දේශපාලන ජයග්‍රණයක් ලෙස පාර්ලිමේන්තු ක්‍රමය හැඳින්විය හැකිය. අපේ පාර්ලිමේන්තු ක්‍රමය සඳහා සර්වජන ඡන්ද බලය භාවිත කරන විට මහා බ්‍රිතාන්‍යයේ පවා ඡන්ද බලය පැවැතියේ තෝරාගත් පිරිසක් මත ය. ඩොනමෝර් කොමිෂම පවතින සමයේ එංගලන්තයේ කාන්තාවන්ට ඡන්ද බලය ලබාගැනීම සඳහා වසර විසිඅට තෙක් බලා සිටීමට සිදු විය. එහෙත් එදා ශ්‍රී ලංකාවේ වයස 21 සම්පූර්ණ කළ සැමට ඡන්ද බලය හිමි විය. මේ කොමිෂන් සභාවේ සභාපතිත්වය දැරුවේ සිඩ්නි ජේම්ස් වෙබ් මහතා ය. ඔහු වාමාංශික මත දරන දේශපාලකයකු වූ අතර මහා බ්‍රිතාන්‍යයේ යටත් විජිත භාර ලේකම්වරයා ලෙස ක්‍රියා කළේ ය.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව සැලැකිය හැක්කේ රටේ උත්තරීතර ආයතනය හැටියට ය. විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය මූලික වශයෙන් රාජ්‍ය පාලනයට අයත් වන අතර ඊට අවශ්‍ය නීති සම්පාදනය සිදු කරනු ලබන්නේ පාර්ලිමේන්තුව ඔස්සේ ය. ඒ හැරෙන්නට පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයන්ට අනුව රටේ ආර්ථික ප්‍රතිපත්ති, සුබ- සාධනය හා සංවර්ධනය සිදු වෙයි. ඒ අතින් බලන විට ගෙවී ගිය වසර හැත්තෑව තුළ රටේ සිදු වී ඇති දේශපාලන, ආර්ථික හා සමාජයීය ජයග්‍රහණවලට මෙන් ම ඇදවැටීම්වලට ද පාර්ලිමේන්තුව වගකිව යුතු යැයි සිතන්නට පුළුවන. අපේ රටේ දේශපාලනය මුළුමනින් ම පාහේ පක්ෂ දෙකක් මත තීරණය වන්නේ යැයි කිව හැකි ය. සුළු පක්ෂ කිහිපයක් තිබුණ ද, හැමවිට ම රාජ්‍ය බලය ලබාගෙන ඇත්තේ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකි. ශ්‍රී ලංකාව ද්විපාක්ෂික දේශපාලන ක්‍රමයකට උරුමකම් කියන්නේ යැයි සිතන්නට පුළුවන.

ගෙවී ගිය ඉතිහාසය තුළ මේ පක්ෂ දෙක රාජ්‍ය පාලනයෙහි නිරත කාල සීමාවන් තුළ එකිනෙක ආණ්ඩු ලබාගත් ජයග්‍රහණ සේ ම පරාජයන් ද තිබේ. පක්ෂ දෙක ම පොදුවේ ලබාගත් පරාජයන් ද තිබේ. නිදසුනක් ගතහොත් නූතන ලෝකයට හා රටේ දේශපාලන පසුබිමට ගැළපෙන ව්‍යවස්ථාවක් සම්පාදනය කරගැනීමට මේ පක්ෂ දෙකම අසමත් විය. එක පක්ෂයක් නව ව්‍යවස්ථා සම්පාදනයට සූදානම් වන අතර අනෙක් පක්ෂය ඊට එරෙහිව ක්‍රියා කරයි. ඉතිහාසය පුරාවට එය සිදු වී ඇත. අද වන විට එහි යම් වෙනසක් දකින්නට ලැබුණ ද, නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට අවශ්‍ය සුබවාදී පරිසරය නිර්මාණය වී නැත. නව ව්‍යවස්ථාවකට අකැමැති හා ඊට එරෙහිව සටන් වදින පිරිසක් ඇති රටවල් කිහිපය අතරට ශ්‍රී ලංකාව ද එකතු වී ඇත. එය අවාසනාවන්ත තත්ත්වයක් සේ සැලැකිය හැකි ය. ඩොනමෝර් හා සෝල්බරි කොමිෂන් සභාවල දී පවා අපේ නායකයන් ර‍ටේ ඇත්ත දේශපාලන ප්‍රශ්න ගැන අවබෝධයකින් ක්‍රියාකර නැති බවක් පෙනෙන්නට තිබේ.

මේ වන විට අපේ පාර්ලිමේන්තුව තුළ සුබවාදී වෙනසක් ද දකින්නට ලැබේ. එම වෙනස හැඳින්විය හැක්කේ සම්මුතිවාදය ලෙස ය. ඉතිහාසයේ පළමු වතාවට රටේ ප්‍රධාන පක්ෂ දෙක ඒකාබද්ධ වී ආණ්ඩුවක් පිහිටුවා තිබේ. ජනාධිපතිවරයා එක පක්ෂයකින්ද අගමැතිවරයා තවත් පක්ෂයකින් ද තේරී පත් වී ඇත. ආණ්ඩුවේ දර්ශනය වී ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය උපරිම ලෙස ආරක්ෂා කරමින් හා නීතියේ ආධිපත්‍යයට මුල්තැන දෙමින් අලුත් ආර්ථික දර්ශනයක් ඔස්සේ රට ඉදිරියට ගෙන යෑම ය. මේ තත්ත්වය ලෝකයේ පැසසුමට ලක් වී ඇත. ශ්‍රී ලංකාව අන්තර්ජාතික වශයෙන් කැපී පෙනෙන තැනක ඇතැ’යි කියන්නට පුළුවන. අපේ පාර්ලිමේන්තුව විවිධ හැලහැප්පීම්වලට හා අර්බුදවලට මුහුණ දෙන්නේ වුව තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීමට සමත් වී ඇත. එය ජනතාවගේ දේශපාලන ජයග්‍රහණයකි. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...