දාරක ස්නේහය | දිනමිණ

දාරක ස්නේහය

ලෝක ළමා දිනය පසු වී වැඩි කාලයක් ගෙවී ගියේ නැත. ළමයින් ගැන නරක ආරංචි කිහිපයක් ම වාර්තා වී තිබිණි. මේ අතරින් ගලහ ප්‍රදේශයේ සිද්ධිය විශේෂ වෙයි. සිද්ධියට අදාළ දරුවාට දස වද දී ඇත්තේ දරුවාගේ ම ඥාතීන් ය. එම දරුවා පාසල් යවා නැත. දරුවාට නියමිත පෝෂණය ලැබී නැත. වඩාත් පැහැදිලි ව කිවහොත් ඔහුට හරිහැටි කෑම - බීම ලබා දී නැත. ඒ හැරෙන්නට ඔහුගේ පාදවලට ලී - කොට දමා තුවාල සිදුකොට තිබේ. දරුවාට දරකොට දමා ඇත්තේ ඇවිදින්නට යන නිසා බව කියති. පුංචි ළමයකුගේ නිදහස කොයි තරමකට සීමා කර ඇත්දැ’යි එයින් පෙනී යයි.

මේ සිද්ධියත් සමඟ විමසුමට ලක් කළ යුතු කරුණු ගණනාවක් තිබේ. එක; දරුවකුට මෙලෙස දස වද දෙන බව අසල්වැසි කිසිවකුත් දැක නැත. සමාජයේ ඇති නිද්‍රාශීලී බව එයින් පැහැදිලි ය. දෙක; සිද්ධිය හෙළිදරව් වන්නේ ජනාධිපති කාර්යාල‍යේ බුද්ධි නිලධාරීන් නිසා ය. එම පළාතේ ග්‍රාම නිලධාරියා හා පොලීසිය මේ ගැන කිසිවක් නො දනී. තුන; දරුවාට ඥාතීන් මේ අයුරින් සලකා ඇත්තේ මන්දැ’යි කිසිවෙක් නොදනිති. දරුවාට වද දෙන විට කෑ ගසා ඇතත් අසල්වැසියන් ඒ ගැන ප්‍රතිචාර දක්වා නැත. අප ජීවත් වන්නේ පුදුම සමාජයක යැයි සිතන්නට පුළුවන.

දරුවාගේ පියා මිය ගොසිනි. මව විදේශගත වී සිටී. ඔහුට මෙබඳු ඉරණමකට මුහුණ දෙන්නට සිදු වී ඇත්තේ මාපිය දෙපළ ම නැති නිසා යැයි සිතන්නට පුළුවන. මව විදේශගත වීම තවත් සිද්ධියකි. මව එක්කෝ දරුවා පිළිබඳ වගවීම අත්හැර ඇත. නැතහොත් විශ්වාසය මත එම වගවීම තම වැඩිමහල් පුත්‍රයාට භාර දෙන්නට ඇත. කෙසේ වුව දරුවාට සිදු වී ඇත්තේ අගතියකි. මව්වරුන් විදේශගතවීම නිසා ශ්‍රී ලංකාවේ බොහෝ දරුවන්ගේ අනාගතය අඳුරු වී තිබේ. මෙය මූලික වශයෙන් සාකච්ඡා කළ යුතු සමාජ ප්‍රශ්නයක් ලෙස පවතී. අප කාගේත් අවධානය ඒ දෙසට යොමු විය යුතු ය.

අපේ නීතියට අනුව අවුරුදු 18 ට අඩු අය ළමයින් ලෙස සලකති. එයින් ද වයස අවුරුදු 14 වන තෙක් අය සුවිශේෂ වෙති. ඔවුන් අනිවාර්යයෙන් ම පාසල් යැවිය යුතු ය. මේ දරුවා තුන වසර තෙක් ඉගෙන ගෙන ඇතත්; ඉන්පසු පාසල් යවා නැත. බරපතළ ම කාරණය වන්නේ ඔහුට අවශ්‍ය කෑම - බීම ලබා නොදීම ය. දරුවා රෝගී තත්ත්වයෙන් පසු වී ඇති අතර ඇවිදීමට නොහැකි බව ද කියති. ඒ ලී -කොට යොදා වද දීම නිසා බව සිතන්නට පුළුවන. මේ සිද්ධියෙන් පෙනී යන්නේ තමන්ගේ ම ඥාතීන් පවා විශ්වාස කළ නොහැකි බව ය. අම්මා නැති කල; අප්පා කවර කල යන කියමන අප සිහියට නැ‍ඟේ.

තිරිසන් සතුන් තම පැටවුන් ආරක්ෂා කිරීම සඳහා ද, ඔවුන් පෝෂණය කිරීම සඳහා ද ගනු ලබන වෙහෙස දකින විට අපේ මිනිස් සමාජය තිරිසන් සත්ත්වයාට වඩා පහත් යැයි කියන්නට පුළුවන. සුනඛයෝ තම පැටව් ආරක්ෂා කර ගැනීම සඳහා වෙනත් සතුන්ව හපා කති. බළල්ලු තම පැටවුන් කටින් ඩැහැගෙන ගොස් ආරක්ෂිත තැන්වල තබති. කුරුල්ලෝ හොටින් ආහාර රැගෙන’විත් පැටවුන්ට කවති. මේ ගතිය සතුන්ට ලැබී ඇත්තේ සහජයෙන් ය. මිනිසාට ද සහජයෙන් එම ගතිය තිබිය යුතුය. එහෙත් අපේ සමාජයේ සැලැකිය යුතු පිරිසක් දරුවන්ට නිය ම අයුරින් නොසලකති.

දරුවන් වැඩිහිටි සමාජය වෙතින් අපේක්ෂා කරනුයේ පෝෂණය, ආරක්ෂාව හා ආදරය යි. මේවා නිසි අයුරින් නොලබන දරුවා අනාගතයේ යහපත් පුරවැසියකු ලෙස සමාජගත වන්නේ නැත. ගොවි සමාජවල දරුවෝ පාසල් නොයා; කුඹුරට හා හේනට යති. එහි වරද ඇත්තේ මාපියන් ළඟ මිස දරුවන් ළඟ නොවේ. නාගරික මුඩුක්කු සමාජයේ බොහෝ දරුවන් පාසල් යන්නේ නැත. ඔව්හු බොහෝ විට ළමා ශ්‍රමිකයන් වී ගෙදරට කීයක් හෝ උපයා - සපයා දෙති. තවත් දරුවෝ ලිංගික කටයුතු සඳහා යොදා ගනිති. අපේ රටේ වීදි දරුවන්ගේ ගණන ද දසදහසකට ආසන්න බව කියති.

ගෘහස්ත ලෙස හිංසනයට ලක් වන දරුවන්ගේ ගණන නිශ්චිතව ම කිව නොහැකි ය. ඒ පිළිබඳ සොයා බැලීම ද අපහසු ය. එහෙත් ළමයින් විශාල පිරිසක් ගෘහස්ත හිංසනයට ලක් වන බව පිළිගත හැකි ය. ඇතැම් මාපියන් දරුවන්ට ලබාදෙන දඬුවම් ඉතා දරුණු ය. සමහර මාපියන් සිය දරුවාට ආදරය හා කරුණාව දක්වන්නේ නැතැ’යි කිව හැකි ය. සමහර තාත්තලා දරුවන් සමඟ වචනයක් කතා කරන්නේ නැති තරම් ය. දරුවන් විශාල සම්පතක් ලෙස සලකන සමාජයක් අපට අවශ්‍ය වේ. එහෙත් එබඳු සමාජයක් බිහි වී නැත. එබඳු සමාජයක් පවතින්නේ නම්; දරුවන්ගේ ඛේදවාචක ඉහළ යන්නේ නැත.

ලතින් අමෙරිකානු රටවල් ගණනාවක දරුවන් පිළිබඳ ගැටලු උත්සන්න වී තිබේ. ඇතැම් රටවල දරුවෝ මත්ද්‍රව්‍ය ජාවාරමෙහි හවුල්කරුවෝ ය. තව රටවල දරුවෝ ලිංගික ශ්‍රමිකයෝ ය. තවත් රටවල දරුවෝ වීදිවල මිය යති. මෙබඳු භයානක තත්ත්වයක් ශ්‍රී ලංකාවේ නැතත්; ඊට අවශ්‍ය පසුබිම සැකසෙමින් තිබෙන බවක් පෙනෙන්නට තිබේ. නිදසුනක් ගතහොත් මත්ද්‍රව්‍ය ජාවාරමට ළමයින් සම්බන්ධ කරගෙන තිබේ. ලිංගික වෙළෙඳාම සඳහා ද ළමයින් යොදාගනු ලැබේ. මේවා පිටු දකින විධිමත් ක්‍රියාමාර්ග අප විසින් ඇති කළ යුතුව තිබේ. එය රජයේ පමණක් නොව; සමාජයේ ද වගවීමක් ලෙස සැලැකිය හැකි ය.

කතාවේ දී අප කියා සිටින්නේ දරුවාට හොඳම දේ ලබාදෙමු යන්න ය. හොඳම දේවල් තබා අවශ්‍ය ම දේවල්වත් නොලැබෙන තැනෙක බොහෝ දරුවෝ පසු වෙති. අපේ ආයතන මේවා පිළිබඳ පුළුල් ලෙස ගවේෂණ කළ යුතුය. එහෙත් දරුවන්ගේ අවශ්‍යතා හා ඔවුන්ගේ ජීවන තත්ත්වය පිළිබඳ සමීක්ෂණ වාර්තා අප දැක නැත. ඉන් පෙනී යන්නේ කලාතුරෙකින් හෝ එවැන්නක් සිදු නො වන බව ය. වසරින් - වසරට එබඳු සමීක්ෂණ පැවැත්විය යුතුය. එවිට දරුවන්ගේ සැබෑ තත්ත්වය පිළිබඳ පැහැදිලි අවබෝධයක් අපට ලබාගත හැකි ය. ළමයින් පිළිබඳ සුබ - සාධන ආයතනවල වගවීමක් ලෙස ද එය සැලැකිය හැකි ය.

ගලහ - දෙල්තොට සිද්ධියෙන් පෙනී යන්නේ අපේ සමාජය අන්තයට ම පිරිහී ඇති බව ය. මනුෂ්‍යත්වය අපෙන් ඈත් වී ඇති බව ය. තමන්ගේ ඥාති දරුවකුට පවා නොසලකන හා වද දෙන වැඩිහිටි සමාජයක් බිහි වී ඇත. දරුවාට වද දුන් අය අතර ඔහුගේ ම වැඩිමහල් සහෝදරයා ද සිටීම එක අතෙකින් පුදුම සහගත ය. සහෝදර ප්‍රේමයත් අපේ සමාජයෙන් ඉවතට තල්ලු වී ඇති බවක් එයින් පෙනී යයි. දඬුවම් ලබාදීමෙන් වැරැදිකරුවන්ට පාඩමක් ඉගැන්විය හැකි බව සැබෑවකි. එහෙත් මෙබඳු සිදුවීම් වළක්වා ගැනීමට නම් සංවේදී සමාජයක් බිහි කළ යුතු ය. එය කළ හැක්කේ කෙසේ ද? 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...