අලුත් ඔළු ඕනෑකර තිබේ! | දිනමිණ

අලුත් ඔළු ඕනෑකර තිබේ!

 ජනාධිපතිවරයා කැබිනට් රැස්වීමකදී අපූරු ‍යෝජනාවක් කර තිබේ. එය යෝජනාවක් මෙන් ම උපදේශනයක් ද වන්නට පුළුවන. කුමක් වුව යෝජනාව ද, උපදේශනයද යොමුවන්නේ අමාත්‍යවරුන් වෙත ය. මෙහිදී ජනාධිපතිවරයා කියා ඇත්තේ සල්ලි වියදම් කරන මෙන් ම සල්ලි උපයන යෝජනා ද ඉදිරිපත් කරන ලෙසය. එදා කැබිනට් රැස්වීමට ඉදිරිපත් කර තිබූ යෝජනාවලින් 90% ක්ම මුදල් වියදම් කරන ඒවා මිස ආදායම් ලබන ඒවා නොවන බවද, ඊට ඇතැම් ඇමැතිවරුන්ගේ විරෝධය පළවී ඇති බවද වාර්තා වෙයි. ජනාධිපතිවරයා අලුත් හා අපූරු අදහස පළකර ඇත්තේ ඉන් පසුව ය.

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික තත්ත්වයට අනුව අපට අවශ්‍ය වන්නේ කෙටිකාලීන වශයෙන් ආදායම් ලැබිය හැකි නව ව්‍යාපෘතීන් ය. එක අතෙකින් රටේ ආදායමෙන් විශාල කොටසක් ණය ගෙවීම සඳහා වැයවෙයි. තවත් කොටසක් පුනරාවර්තන වියදම් ලෙස ආයතන පවත්වාගැනීම සඳහා කැපී යයි. මේ අනුව සංවර්ධනය සඳහා ද නව ව්‍යාපෘති සඳහා ද අලුත් උපායමාර්ග සෙවීමට සිදුවී ඇත. එක උපායමාර්ගයක් වන්නේ විදේශීය ආයෝජන ගෙන්වා ගැනීමය. තව උපාය මාර්ගයක් වන්නේ පෞද්ගලික අංශය සමඟ ඒකාබද්ධවී නව ව්‍යාපෘති ආරම්භ කිරීම ය. එ‍හෙත් මේ ගැන උනන්දුවන දේශපාලකයන් අඩු ය.

රටේ මහජන නියෝජිතයන් ආර්ථිකය පිළිබඳ හොඳ වැටහීමකින් සිටිය යුතු වුව එම අවබෝධය ඇත්තේ කලාතුරෙකින් කෙනකුට ය. බදු ක්‍රමය පිළිබඳ විවාදයේ දී ද මේ බව හොඳ හැටි පැහැදිලි විය. රටට ආදායම් ලැබෙන ප්‍රධාන මාර්ගය ගැන පැහැදිලි අවබෝධයක් ඇතැම් ඇමැතිවරුන්ට පවා නැති බව බොහෝ විවාදවලදී පැහැදිලි වී ඇත. ආදායම් ලැබෙන මාර්ග ගැන නො දැන වියදම් කිරීම ගැන පමණක් උනන්දුවීමෙන් රටක ආර්ථිකය නැංවිය නොහැකි බව කාට වුව වැටහෙනු ඇත. බොහෝ විට අප දකින්නේ තමන්ගේ ප්‍රදේශවල පොදු පහසුකම් සඳහා වූ ඇස්තමේන්තු අනුමත කරගන්නා ඇමැතිවරුන් ය. අලුත් ව්‍යාපෘතියක් ආරම්භ කරන කෙනකු දැකිය හැක්කේ කලාතුරෙකින් ය.

ලෝක බැංකුව මීට දසක කිහිපයකට පෙර කියා සිටියේ ණය ගැනීම හා අයවැය පරතරයන් පවත්වා ගැනීම රටක සංවර්ධනයේ ප්‍රධාන ලක්ෂණයක් බව ය. ඒ අනුව තුන්වන ලෝකයේ රටවල් වැඩි වැඩියෙන් ණය ගත්තෝය. අයවැය පරතරය ද ඉහළ ඉලක්කම්වලින් පවත්වා ගත්තෝ ය. මේ ‍දෙකම ගමන් කළේ ආර්ථික අර්බුදයක් වෙත ය. අද ලෝක බැංකුව ණය ගන්නැ’යි උපදෙස් ලබා දෙන්නේ නැත. එලෙස ම අයවැය පරතරය සම්බන්ධයෙන් ඔවුන්ගේ උපදේශනය වන්නේ එම පරතරය හැකිතාක් අඩුකර ගත යුතු බව ය. මෙබඳු අලුත් ආර්ථික උපාය මාර්ග භාවිත නොකොට රට ඉදිරියට ගෙන යෑම අසීරු ය.

රටක් දියුණුවීම සඳහා ‍දේශපාලකයන්ගේ නිර්මාණශීලීභාවය හා දැනුම විශේෂයෙන් වැදගත් බව ඉතිහාසයෙන් සනාථ වෙයි. සිංගප්පූරුව ගොඩනැඟුවේ ලී ක්වාන් යූ මහතාය. ඔහු පුළුල් ආර්ථික දැක්මක් සහිත දේශපාලකයෙකි. මැලේසියාව ගොඩනැඟුවේ මහතීර් මොහොමඩ් මහතා ය. ඔහුට ලෝක ආර්ථිකය ගැනත් රාජ්‍ය සේවය ගැනත් මනා වැටහීමක් තිබිණි. මහතීර් මොහොමඩ් මහතා ආර්ථිකය හැසිරවූයේ මේවා පිළිබඳ හොඳ සෙවිල්ලකින් පසුව ය. ජපානය, චීනය, දකුණු කොරියාව වැනි රටවල්වල තත්ත්වය ද එයම ය . එම රටවල දේශපාලකයන් ලෝක ආර්ථික‍යේ ස්වභාවය හඳුනාගෙන දේශීය ආර්ථිකය හැසිර වූ බව කිව හැකි ය.

අද ආර්ථික ගනුදෙනු පවතින්නේ ලෝක මට්ටමින් ය. ආර්ථිකයේ ලෝක ප්‍රවණතා ‍නො හඳුනාගෙන රටක් ඉදිරියට ගෙන යෑම අසීරුවන්නා සේම හුදෙකලාව රටක ආර්ථිකය ඉදිරියට තල්ලු කළ හැකි ක්‍රමයක්ද නැත. ඇතැම් රටවල් කලාපීය වශයෙන් ඒකාබද්ධ වී ආර්ථික ගනුදෙනු සිදු කරයි. තවත් රටවල් මහාද්වීපික වශයෙන් ඒකාබද්ධ වී ආර්ථික ගනුදෙනු සිදු කරයි.

මේ කුමන ගනුදෙනුවක් සිදු වුව ඒවා සාමූහික සාර්ථකත්වයකට හේතු වෙයි. ලෝකයේ ආර්ථිකය දුවන්නේ එම ආකාරයෙන් ය. ‍මෙයින් පැහැදිලි වන ප්‍රධාන කරුණු දෙකක් ති‍බේ. එක; රට පාලනය කරන දේශපාලකයන්ට ආර්ථිකය හා එහි ලෝක රටාව ගැන වැටහීමක් තිබිය යුතුය. දෙක; ඔවුන් අලුත් ව්‍යාපෘති ආරම්භ කොට රටට ආදායම් ලබා දිය යුතුය.

අපේ ඇමැතිවරුන් තමන් නියෝජනය කරන පළාතේ විභව සම්පත් හඳුනාගෙන එම සම්පත් ඔස්සේ ජනතාවට ආදායමක් ලැබීමට මාර්ග සොයන්නේ නම්; රටේ ආර්ථිකය දෙගුණයකින් ඉහළ යනු ඇතැ’යි සිතන්න ට පුළු ව න .සියලුම මහජන නියෝජිතයන් මේ සඳහා උනන්දු වන්නේ නම් තවත් හොඳය . එවිට ගමත් නඟරයත් ඉතා ඉක්මනින් දියුණු වනු ඇත. ප්‍රශ්නය වී ඇත්තේ ඇතැම් මහජන නියෝජිතයන් තමන් නියෝජනය කරන පළාතේ විභව සම්පත් නොව; දිග - පළලවත් නොදන්නාකමය. ජනාධිපතිවරයා මේ තත්ත්වය වටහාගෙන සියලු ඇමැතිවරුන්ට තම පළාතේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට සහභාගී වන්නැ’යි නියෝග කර ඇත. ලබන ජනවාරියේ සිට එය ක්‍රියාත්මක ය.

ශ්‍රී ලංකාවේ භූ දේශපාලනය බලන විට එය ඉතා වාසි සහගත තත්ත්වයක පවතින බව විචාරකයන්ගේ මතය ‍වේ. චීනය, ඉන්දියාව, පකිස්ථානය, ජපානය, මැද පෙරදිග රටවල් පමණක් නොව අමෙරිකාවද අප සමඟ සුහදව කටයුතු කරයි. එම රටවලින් අපට පිළිගැනීමක් තිබේ. පිහිටීමට අනුව අපට ඉන්දියන් සාගරයේ කේන්ද්‍රීය ස්ථානයක් ලැබී ඇත. හොඳ වරායවල් කිහිපයක් ද තිබේ. ‍මේවා භාවිත කළ යුත්තේ ලෝක ආර්ථිකය සමඟ ගැටගැසීමටය. ඊළඟට ආදායම් උපදවා ගැනීමටය. සුදු අලියකු බවට පත්ව තිබූ හම්බන්තොට වරාය ආදායම් ලබන තැනක් බවට පත්කිරීමට ආණ්ඩුව සමත්විය . එය හොඳ දෙයකි. වයඹට, මහනුවරට හා දකුණටත් නව ආයෝජන කලාප ඉදිකිරීම රජයේ තවත් අරමුණකි.

මේ ප්‍රධාන සැලැසුම්වලට සහාය දක්වන අතර සෑම ඇමැතිවරයකුට ම තම පළාතේ නව ව්‍යාපෘතියක් ආරම්භ කළ හැකි ය. ඇමැතිවරයාගේ ම සංකල්පයකට අනුව එය කළ හැකිනම්; එය ඔහුගේ දේශපාලනයට වැදගත් ය . කලකට පෙර ගම් උදාව , මහපොළ, ජන සවිය, වැනි සංවර්ධන වැඩසටහන් බිහිවූයේ ඒ ක්‍රමයට අනුවය. දේශපාලකයා නිර්මාණශීලි පුද්ගලයකු හා වැඩකරන පුද්ගලයකු විය යුතු බව ජනාධිපතිවරයාගේ යෝජනාවෙන් පෙනී යයි. එය ලෝක සත්‍යයකි. එබඳු අය දහදෙනකු සිටියොත් රටක් දියුණු කළ හැකි බව අපගේ පිළිගැනීමය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...