ඔබටත් රක්තහීනතාවයද? එහෙනම් මේ ආහාර ගන්න | දිනමිණ

ඔබටත් රක්තහීනතාවයද? එහෙනම් මේ ආහාර ගන්න

රක්තහීනතාව (පාණ්ඩුව) යනු රුධිරයේ හිමොග්ලොබින් නම් සංයෝගය ඌන වූ විට ඇතිවන රෝගී තත්ත්වයකි.මීට ඇනීමියාව යන නම ද භාවිත වේ. හිමොග්ලොබින් සෑදීමට ආහාරවලින් ලැබිය යුතු සංඝටක වශයෙන් යකඩ, B12 විටමිනය, ෆෝලික් අම්ලය, ප්‍රෝටීන හැඳින්විය හැකි ය. මේ සංඝටක නිසි පරිදි ලබා නොගතහොත්, රක්තහීනතාවය ඇති වීමට පුළුවන. රක්තහීනතාවයෙන් පෙළෙන රෝගියකු විශේෂයෙන් ම ගත යුත්තේ,පහත සඳහන් පෝෂක අඩංගු ආහාර ය.

යකඩ

ඔසප් වන ස්ත්‍රීන්ට, පිරිමින්ට වඩා වැඩියෙන් හිමොග්ලොබින් අත්‍යවශ්‍ය ය. ඒ මන් ද යත්, මාසිකව සිදුවන ක්‍රියාවලිය මඟින් රුධිරය සිරුරින් බැහැර වන නිසා ය. යකඩවලින් පොහොසත් ආහාර වර්ග ලෙස තම්පලා, තෝර කොළ, මුකුණුවැන්න, නිවිති, ගොටුකොළ, බෝංචි වර්ග, පරිප්පු, සෝයා බෝංචි, හරක් මස්, හරක් පීකුදු යන ආහාර ගත හැකි ය. ආහාරයේ අධික වශයෙන් විටමින් c ඇත්නම්, යකඩ උරා ගැනීම වැඩි ය. එම නිසා, පලතුරු වර්ග ආහාරයට ගැනීමෙන් ද සිරුරට අවශ්‍ය හිමොග්ලොබින් ලබා ගත හැකි ය. එමෙන් ම, ෆයිටේට, ෆොස්ෆේට් සංඝටක අඩංගු වන තේ, කිරි, බිත්තර මඟින් යකඩ උරා ගැනීම අඩු කරයි.

ශාක ආහාරම නොගෙන, මස් හෝ මාළු හෝ ආහාරයට එකතු කර ගැනීමෙන්, සිරුරේ යකඩ අවශෝෂණය වැඩි කර ගත හැකි ය. ප්‍රෝටීන අඩංගු ආහාර සමඟ යකඩ අඩංගු ආහාර සම්බන්ධ වු විට ඉක්මනින් යකඩ අවශෝෂණය කර ගැනීමට පුළුවන. එබැවින්, නිවිති සහ පරිප්පු එකට පිසීම වඩාත් උචිත ය‍.

විටමින් B12

මේ විටමිනය සත්ත්ව ආහාර වර්ගවල අන්තර්ගත වේ. සත්ත්ව ආහාර වර්ග වශයෙන් සැලකෙන මස්, මාළු, කිරි, බිත්තරවලින් මේ පෝෂණ සංඝටකය ලබා ගත හැකි ය. ශාක ආහාරවල B12 සංඝටකය ඇතිවන්නේ ක්ෂුද්‍ර ජීවින් ක්‍රියා කළහොත් පමණි. මේ සංඝටකය අන්තර්ගතව ඇති ආහාර ලෙස, රැයක් පුරා පෙ‍‍ඟෙන්නට තබා පසුදින තම්බා ගත් කඩල, මුදවපු කිරි මෙන් ම කැරට්, බීට් වැනි එළවළු වර්ග සඳහන් කළ හැකි ය.

ෆෝලික් අම්ලය

මෙය ද විටමිනයකි.මේ විටමිනය ශාක ආහාරවල ඉතා බහුලව පවතී. විශේෂයෙන් තද කොළ පැහැති කොළවල මේවා බහුලව ඇත. බොහෝ වෙලාවක් ආහාර තැම්බූ විට මේ විටමිනය ‍බොහෝ සෙයින් විනාශ වී යයි. එමෙන් ම, අමු එළවළු, පළා වර්ග සහ පලතුරු දිගු කාලයක් අසුරා තැබීමෙන් ද මේ විටමිනය විනාශ වේ. එම නිසා, රැගෙන ආ අලුත ගොටුකොළ, කතුරුමුරුංගා, මුගුණුවැන්න ආදිය සලාද ලෙස ආහාරයට ගැනීමෙන්, ෆෝලික් අම්ලය ලබාගත හැකි ය. මේ සියලු ෂෝෂණ සංඝටක අඩංගු ආහාර ගැනීමෙන් හිමොග්ලොබින් ඌනතාව මඟහරවා ගත හැකි ය.

උපදෙස් - කොළඔ ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක

මදාරා මුදලිගේ


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...