ජීවිතය එපා වෙන්නේ ඇයි? | දිනමිණ

ජීවිතය එපා වෙන්නේ ඇයි?

මානව සමාජය තුළ සිදුවන ඉතාමත් අවාසනාවන්ත සහ ඛේදනීය සිදුවීමක් ලෙසසිය දිවි නසාගැනීම හැඳින්විය හැකි ය. සිය දිවි නසා ගැනීමේ සිතුවිලි ඒ ඒ ශිෂ්ටාචාරයේ ජීවත්වුණු මිනිසුන් තුළ වර්ධනය වූයේ කෙසේදැයි නිශ්චිතවම අනාවරණය නොවේ. එසේ වුවත්, ඉතා ඈත අතීතයේ සිටම ග්‍රීසියේ සහ රෝමයේ සිය දිවි නසා ගැනීම් සිදුවුණු බවට සාක්ෂි ඇත. ග්‍රීක දාර්ශනික ඇරිස්ටෝටල්, සිය දිවි නසා ගැනීම් මුළුමනින්ම හෙළා දුටු බව වාර්තාවල දැක්වේ. එහෙත්, ප්ලේටෝ, සිය දිවි නසා ගැනීම් සම්බන්ධයෙන් එවැනි ඍජු මතයක් දරා නැති බව සටහන්ව ඇත.

වර්තමාන ලෝකයේ සෑම සමාජයක් තුළම සිය දිවි නසා ගැනීම් අඩු වැඩි වශයෙන් සිදුවේ. සිය දිවි නසා ගැනීම් ශ්‍රී ලංකාවට ද බරපතළ සමාජ ගැටලුවකි. මේ, සිය දිවි නසා ගැනීම් පිළිබඳ සුවිශේෂී තොරතුරු බිඳකි.

සියදිවි නසා ගැනීම, "සුයිසයිඩ්" (suicide) ලෙස ඉංග්‍රීසි බසින් යෙදේ. එකී ඉංග්‍රීසි යෙදුම "සුයි" (sui) සහ "සයිඩියම්" (cidium) යන ලතින් වදන් එක්ව සැකසී ඇත. ලතින් ව්‍යවහාරය අනුව "සුයි" යනු "තමන්"යන්නයි. "සයිඩියම්" යනු "මරා දැමීමයි". ඒ අනුව "තමන් තමන්ව මරා ගැනීම" යන අරුත මෙයින් මතුවේ.

සිය දිවි නසා ගැනීම් ලෝකයේ සෑම සමාජයක් තුළම සිදුවේ. චීන සමාජය තුළ සෑම මිනිත්තු දෙකකට වරක්ම එක් අයකු සිය දිවි තොර කරගන්නා බව සමාජ විද්‍යාඥයෝ පවසති. 1999 සිට 2014 දක්වා වූ වසර 15ක කාලය තුළ

අමෙරිකා එක්සත් ජනපදයේ සිය දිවි හානි කරගැනීම් 24%කින් ඉහළ ගිය බැව් දැක්වේ. මේ අනුව සිය දිවි තොර කර ගැනීම හුදෙක් සංවර්ධනය වෙමින් පවත්නා රටවලට පමණක් සීමා වූ දෙයක් නොවන බව පැහැදිලි ය. එසේ වුවත්, සිය දිවි නසා ගැනීම්වලින් 75%ක්ම තවමත් සිදු වන්නේ සංවර්ධනය වෙමින් පවත්නා

රටවල බව අමතක නොකළ යුතු ය. සිය දිවි නසා ගැනීමේ උත්සාහ කිරීම් නිසා 2015 වසරේදී ලෝකයට අහිමි වූ පුද්ගලයන් සංඛ්‍යාව 8,28,000කි.

විවිධ හේතු නිසා මිනිස්සු සිය දිවි තොර කර ගනිති. ඒ අතර වඩාත් කැපී පෙනෙන්නේ මානසික රෝගී තත්ත්ව ය. මානසික ආතතිය, විශාදය, බයිපොලර් ඩිසෝඩර් වශයෙන් හැඳින්වෙන විසංවිධානාත්මක තත්ත්වය, භින්නෝන්මාදය මෙන් ම, පෞරුෂ විසංවිධානාත්මක තත්ත්ව ඒ අතර ප්‍රධාන බැව් මනෝ විද්‍යාඥයෝ පෙන්වා දෙති. ඒ හැරුණු විට ඇතැම් පුද්ගලයන්ගේ ඇබ්බැහි ද (මත් ද්‍රව්‍යය, ඖෂධ, මධ්‍යසාර සඳහා ඇබ්බැහිය) සිය දිවි තොර කර ගැනීම්වලට හේතු වේ. කෙනකු සිය දිවි තොර කර ගැනීම තවකෙකුට උත්තේජනයක් වන අවස්ථාත් දැකිය හැකි ය.

ඒ හැරුණු විට ආගම, ජාතිය මුල් කරගෙන ඇතිවන අරගලවලදී පුද්ගලයන් මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීම ගණන් ගැනෙන්නේ ද සිය දිවි නසා ගැනීම් ගණයට ය. ඇතැම් සමාජ තුළ ගෞරවනීය මරණයට වැඩි වටිනාකමක් ලබා දෙනු දක්නට ලැබේ. නිදසුනක් ලෙස ජපන් සමාජය තුළ සමුරායි සමයේදී ක්‍රියාත්මක කෙරුණු "සෙප්පුකු" හෙවත් "හරාකිරි" දැක්විය හැකි ය.

සතුරා අතට පත්වීමට වඩා තමන්ගේ කුස තමන්ම කපාගෙන මිය යාම යෙහෙකැයි කියන ස්ථාවර මත නිසා එය ඇති වී තිබිණ. ඉන්දියාවේ සති පූජාව වැනි සංස්කෘතික අංග හරහා මරණය වැළඳ ගැනීමට කාන්තාවන් පෙලඹ වීමත්, සිය දිවි නසා ගැනීම් ලෙස සැලකේ. ඇතැම් සමාජ තුළ කෙරන ද්වාර කර්ම විධි නිසාත් සිය දිවි නසා ගැනීම් සිදුවේ. නූතන අන්තර්ජාලයත් සිය දිවි නසා ගැනීම් උත්තේජනය කරන මෙවලමක් ලෙස සැලකේ.

පුද්ගලයන් හා බද්ධ සාධක පදනම් කරගෙන සිය දිවි තොර කර ගැනීම පිළිබඳසමාජ විද්‍යාඥයන් පර්යේෂණ කර තිබේ. පුද්ගල වයස, ස්ත්‍රී පුරුෂ භාවය, විවාහක අවිවාහක බව, දික්කසාද බව, වැන්දඹු භාවය යනාදිය ඒ අතර ඇත. සමාජ විද්‍යාඥයන් දක්වන ආකාරයට වයස අවුරුදු 15 - 29 වයස් කාණ්ඩයේ පසුවන පිරිස් අතර සිය දිවි නසාගැනීම ඉහළ මට්ටමක පවතී. සිය දිවි තොර කර ගන්නා පිරිමින් සංඛ්‍යාව, ඊට පෙලඹෙන ගැහැනුන් සංඛ්‍යාවට වඩා 1.8 වාරයකින් වැඩි බව 2012 වසරේදී කරන අද පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.

සමහර සංස්කෘති තුළින්ම, ඒවායෙහි සාමාජිකයන්ට සිය දිවි නසා ගැනීමටඉඩ සලසා ඇති බව දැකිය හැකි ය. ඒ අතර ප්‍රධාන තැනක් ගන්නේ, එස්කිමෝ, නොර්සි, සැමෝවා සහ ක්‍රෝ ඉන්දීය සංස්කෘතීන් ය. වයස්ගත පුද්ගලයන්ට සහ බරපතළ රෝග තත්ත්ව සහිත පුද්ගලයන්ට මේ සංස්කෘතිවලින් දිවි තොර

කර ගන්නට කිසියම් අනුබල දීමක් වෙන බව දැක්වේ.

සාමාන්‍ය ජනයා මෙන් ම විවිධ විෂයය හරහා සමාජ ගමන් මඟ වෙනස් කිරීමට දායකත්වය සැපයූ නායක නායිකාවන්, සිය දිවි තොර කර ගත් අවස්ථා ඉතිහාසයේ දක්නට ලැබේ. සිග්මන්ඩ් ප්‍රොයිඩ්, ක්ලියෝපැට්‍රා, මාර්ක් ඇන්තනී, බෘටස්, නීරෝ, ඇඩොල්ෆ් හිට්ලර්, අර්නස්ට් හෙමින්ග්වේ, වර්ජිනියා වුල්ෆ්, සිල්වියා ප්ලාත්, වින්සන්ට් වැන් ගොෆ්, ජැක් ලන්ඩන්, ඩයිලන් තෝමස්, ජූඩි ගාර්ලන්ඩ්, සොක්‍රටීස්, එල්විස් ප්‍රෙස්ලි සහ මර්ලින් මොන්රෝ යනු ඒ අය අතර කිහිප දෙනෙකි. සිය දිවි නසා ගැනීම හෙවත් තමන් තමන්වම මරා ගැනීමේ චර්යාව හුදෙක් මනුෂ්‍යයන්ට පමණක් පොදු වූවක් ද යන්න ගැන බොහෝ දෙනකු තුළ සැක මතුව තිබේ.

සිය දිවි තොර කර ගැනීම ආරක්ෂක උපක්‍රමයක් ලෙස ඇතැම් බැක්ටීරියා සහ ඇතැම් සත්ත්වයන් තුළ දැකිය හැකි බව විද්‍යාඥයෝ පවසති. ඒ අනුව සැල්මොනෙල්ලා නමැති බැක්ටීරියාවෙහිත්, බ්‍රසීල කුහුඹු වශයෙන් හැඳින්වෙන කුහුඹු විශේෂයකත් එවැනි චර්යාවක් ඇත. පී ඇෆීඩ්ස් නමින් හැඳින්වෙන කෘමි විශේෂයක් තුළත් ඊට සමාන චර්යාවක් දැකිය හැකි බව අනාවරණය වේ. කොහොම වුණත්, සතුන් තුළ සිය දිවි නසා ගැනීමේ චර්යාවක් පවතීද යන්න නිශ්චිතවම කීම අසීරු ය. එයට හේතුව ඒ සම්බන්ධයෙන් කෙරෙන පර්යේෂණ ඉතාමත් අල්ප වීම ය.

පුද්ගලයන් සමූහ වශයෙන් සිය දිවි නසා ගැනීමට පෙලඹුණු අවස්ථා ගැන ඉතිහාසයේ සටහන්ව ඇත. 1978දී ගයනා රාජ්‍යයේ ජෝනීස්ටවුන්හිදී ජිම් ජොනීස් නමැති අමෙරිකා ජාතිකයා පුද්ගලයන්, 909 දෙනකුට සියතින්ම මරු වැළඳ ගැනීමට සැලැස්වීම ඉතිහාසයේ සඳහන් ඛේදනීය සිද්ධියකි. ජිම් ජොනීස් මේ පුද්ගලයන් සමූහය සිය දිවි නසා ගැනීමට පොලඹවා ගෙන තිබුණේ, සයනයිඩ් අඩංගු මිදි යුෂ සහ මාරාන්තික ඖෂධ සහිත මිදි යුෂ පානය කිරීමට සැලැස්වීමෙනි.

1944දී "සිය දිවි නසා ගැනීමේ ප්‍රපාතය" සහ "බෙන්සායි ප්‍රපාතය" යන ස්ථානවලින් පහළට පැන ජපාන ජාතිකයෝ දහස් ගණනක් එකවර සිය දිවි නසා ගත්හ. එය සිදුවුණේ දෙවැනි ලෝක සංග්‍රාමයේදී ජපනුන් ස්පාඤ්ඤ සේනාවක් සමඟ සටන් වැද සිටි අවසන් දින කිහිපයේදී ය. 1981දී අයර්ලන්තයේ සිර ගෙදරක් තුළ ආහාර වර්ජනය කරමින් උපවාසයක යෙදී සිටි බොබී සෑන්ඩ්ස් සමඟ තවත් නව දෙනකු මරණයට පත් වීමත්, හිට්ලර් සිය සමීපතයන් සමඟ දිවි තොර කර ගැනීමත්, සමූහ වශයෙන් දිවි තොර කරගත් අවස්ථාවලට උදාහරණ ය.

සිය දිවි නසා ගැනීමට උත්සහ ගන්නා පිරිස් එයින් මුදා ගැනීමේ වගකීම, සමාජයේ සෑම සාමාජියකු වෙතම පැවරී තිබේ. වයස් ගත වැඩිහිටියන්ගේ සමාජ සම්බන්ධතා පුළුල් කර දීම එක් ඵලදායි විසැඳුමකි. විවිධ ඇබ්බැහිවලට යොමු වී සිටින පිරිස් ඒවායින් මුදා ගැනීම, මානසික රෝගී තත්ත්වවලින් පෙළෙන අය නිසි ප්‍රතිකාර සඳහා යොමු කිරීම ඉතා වැදගත් ය. සමාජයක දරිද්‍රතාව අවම මට්මක පවතී නම්, එහි සිය දිවි නසා ගැනීම ද අඩු බවට මතයක් ඇත.

එයද සැලකිල්ලට ගෙන රටක ප්‍රතිපත්ති සැලසුම් කිරීම වැදගත් ය. එදිනෙදා ජීවිතයේ ඇතිවන ගැටලු නිසා සිය දිවි නසා ගැනීමට පෙලඹෙන පුද්ගලයන් බොහෝවිට දැන හඳුනා ගත හැකි වන්නේ, ඒ පුද්ගලයා ඇසුරු කරන අයට ය. ගැටලු ඇති එවැනි අයට සවන්දීම, උපදේශන වැඩපිළිවෙළවලට යොමු කිරීම ආදිය සෑම සමාජිකයකුගේම යුතුකමකි.

සෑම වසරකම සැප්තැම්බර් 10වැනිදා සිය දිවි නසා ගැනීම් වැළක්වීමේ ජාත්‍යන්තර දිනය ලෙස නම් කර ඇත. සිය දිවි නසා ගැනීම් වැළක්වීමේ අන්තර්ජාතික සංගමය, මානසික සෞඛ්‍ය පිළිබඳ සංවිධානය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය යන ආයතනවල සහයෝගිතාවයෙන් 2003 වසරේදී මේ දිනය නම් කෙරිණි.

මංජුලා විජයරත්න 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...