අත්ලාන්තික් සාගරයේ දිය යට උයන මියුසෙයෝ ඇට්ලන්ටිකෝ | දිනමිණ

අත්ලාන්තික් සාගරයේ දිය යට උයන මියුසෙයෝ ඇට්ලන්ටිකෝ

අත්ලාන්තික් සාගරයේ අලුත් ම අත්දැකීම වූ යුරෝපයේ පළමුවැනි දිය යට ප්‍රතිමා උද්‍යානය, ග්‍රෙනෙඩා උද්‍යානය හා මෙක්සිකෝවේ දිය යට උද්‍යානය නිර්මාණය කළ නිර්මාණකරුගේම තවත් සාර්ථක උත්සාහයකි.

Jason de Caires Taylor 1974 දී බ්‍රිතාන්‍යයේදී උපත ලද මේ මූර්ති ශිල්පියාගේ ග්‍රෙනෙඩාවල පිහිටි උද්‍යානය නැෂනල් ජියෝග්‍රැෆික් සඟරාවේ ලොව පුදුම 25 සඳහා ද ඇතුළත් විය. යුරෝපයේ පළමු දිය යට ප්‍රතිමා උද්‍යානය ද මෙය වේ. මෙය,‍මියුසෙයෝ ඇට්ලන්ටිකෝ ලෙසින් නම් කර තිබේ. ස්පාඤ්ඤයට අයත් දූපත් සමූහයක් වන කැනරි දූපත්වලට අයත් දූපතක් වන ලැන්සරොටේ දූපතේ පිහිටා තිඛෙන මේ උද්‍යානය සාදා නිම කිරීමට වසර තුනක කාලයක් ගතවී ඇත.මීට දින කිහිපයකට පෙර විවෘතවූ මෙහි, ජීව ප්‍රමාණයේ මානව රූප 300ක්, කිමිදුම්කරුවන් පැමිණ ඔවුන් නරඹන තෙක් බලා සිටී. ලැන්සරෝට් දූපතෙහි බහයි ද ලස් කොලරාඩස් නමැති වෙරළේ සිට තරමක් ඈතින්, අඩි 39ක් ගැඹුරට වන්නට මුහුදු පතුලේ මේ ප්‍රතිමා සාදා නිමකර තිබේ.

මේ ප්‍රතිමා කොන්ක්‍රීට් ප්‍රතිමා පමණක්ම නොව, අප්‍රිකාවට කිලෝමීටර් 125 පමණ ඈතින් තිබෙන කැනරි දූපත්වලට ස්පාඤ්ඤ ජාතිකයන් සංක්‍රමණයට පෙර මෙහි විසූ ගුවන්චස් නම් ජනයා බොහෝ ප්‍රතිමා මඟින් දක්වා තිඛෙන බව සඳහන් වේ. මේ ජනයා ගුහා වාසී ඇබෝර්ජින් ජනයාගේ සාමාජිකයන් බවද සඳහන් ය. මීට අමතරව ලැන්සරෝට් හි අවට ජීවත් වන දේශීය ජනයා ද ප්‍රතිමා සඳහා සම්බන්ධ කර ඇති අතර, එම පුද්ගලයන්ගේ මුහුණුවලින් අච්චු සාදා එමඟින් අවට ප්‍රදේශ වාසීන්ගේ හැඩරුව ඇති ප්‍රතිමාද මේ අතර නිර්මාණය කර තිබේ. The Raft of Lampedusa නම් නිර්මාණය මඟින්, ඉතාලි දූපත් ආශ්‍රිතව පැමිණෙන සරණාගතයන් බෝට්ටු මඟින් පැමිණීමේ අර්බුදය හුවා දක්වා තිබේ. ඒ මඟින් ලෝකයේම අවධානය ඒ වෙත ලබා ගැනීමට ය.

pH අගය උදාසීන අමුද්‍රව්‍ය භාවිතයෙන් මේ ප්‍රතිමා නිර්මාණය කර තිබෙන්නේ, සාගර ජීවීන්ට කිසිදු හානියක් නොවනසේ ය. එසේ ම, වසර සිය ගණනක් නොනැසී පැවතීමේ හැකියාව ද මේ ප්‍රතිමාවලට තිබේ. මානව රූප හැරුණුවිට ටොන් 100ක් බර, අඩි 90ක් දිග බිත්තියක් වැනි ව්‍යුහයක්ද, මල්වල ප්‍රතිමා සහිත උද්භිද උද්‍යානයක් වැනි කොටසක් ද මෙහි නිර්මාණය කර තිබේ. ඊට අමතරව ඇඹරී තිබෙන පතොක් පඳුරු ලෙසත් සකසා තිබේ. කොන්ක්‍රීට් නිර්මාණ මෙයට එකතු කර තිබෙන්නේ බූවල්ලන්, මුහුදු ඉකිරි හා මාළු පැටවුන් හට ආරක්ෂා සහිතව සිටීමට වාසස්ථානයක් ලෙස භාවිත කළ හැකි නිසා ය.

තවම අලුත් කොන්ක්‍රීට් නිර්මාණයන් ලෙසින් දිස්වන මේ ප්‍රතිමා, කාලයත් සමඟ ඇල්ගී, කොරල් හා ස්පොන්ජ් වර්ධනය වී, මාළු රෑන්වලින් ගහන වී අලංකාර සුරපුරයක් බඳු කොරල් පරයක් නිර්මාණය කර තිබේ. ලෝකයේ සිදුවන දැවැන්ත කොරල්පර විනාශයට සුළුවෙන් හෝ මෙලෙස ප්‍රතිචාර දැක්වීම, අගය කළ යුතු කටයුතු දෙයකි.

 

අන්තර්ජාලය ඇසුරිනි
යශෝදා ඉන්දීවරී


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...