හුසේන් සාගර් විල සරසන අපූර්ව බුද්ධ ප්‍රතිමාව | දිනමිණ

හුසේන් සාගර් විල සරසන අපූර්ව බුද්ධ ප්‍රතිමාව

තඹවන් හිරු රැස් දහරා තුරු වියන් මතින් පෙරී යමින් ඇත. ශ්වේත වර්ණයෙන් බැබළෙන දුහුල් සේල වන් වලාකුළු, නීල නුබකුස මත අමුතු රටා මවමින් ය. මේ, ලුම්බිනි උද්‍යානයේ ඇතුළුවන දොරටුව ඇරෙන වේලාව ය. පුංචි පැටවුන් ද සමඟින් වැඩිහිටියන් මේ බිමට පිවිසෙන්නේ, ආස්වාදනීය අත්දැකීම් රැසක් තම ජීවිතයට තුරුලු කර ගැනීමට ය. සමහරු කතුරු ඔංචිල්ලාවල ය. තවත් සමහර දරුවන් ලිස්සන බෝට්ටුවල ය. තවත් දරුවන් විවිධ සෙල්ලම්වල නිරත වෙමින් ඇත. තවත් බොහෝදෙනා බෝට්ටු සංචාරයකට සූදානමින් ය. ඒ, හුසේන් සාගර් විලේ බෝට්ටු සවාරියකට එක්වී, වින්දනීය අත්දැකීමක් ලැබුමට ය.

හයිද්‍රාබාදයේ කකටිය හෝටල් භූමියෙන් නික්මුණු අපි, ලුම්බිණි උද්‍යානයට ඇතුළු වූයේ හුසේන් සාගර් විලේ බෝට්ටු සවාරියකට එක්වී, එහි මැද පිහිටි කුඩා දූපතේ ඇති විශාල ගෞතම බුද්ධ ප්‍රතිමාව නැරැඹීම සඳහා පිටත්ව යාමට ය.

විල් ඉවුර අසල නෙක් ප්‍රමාණයේ බෝට්ටු ය. ඒ බෝට්ටුවලට නැගී බුදු හිමි දැකුමට යාමට සැරැසෙන බෝ දෙනා බෞද්ධයන් නොවන වග හොඳටම පැහැදිලි ය. එනමුදු එය ඔවුනට අපූරු අත්දැකීමකි. අපූරු සංචාරයකි.

අප පිරිස රැගත් බෝට්ටුව හඬතලමින් ගමන් ඇරැඹී ය. දුරින් පෙනෙන සුවිසල් බුදු පිළිමය, විල් දියවර මත සෙවණැලි රටා මවමින් පිළිබිඹු වන්නට විය. නිල් පැහැයෙන් දිදුලන බෝට්ටුව, සිහින් සුළං සමඟ පොරබදමින් වේගයෙන් ගමන් ගනී. මද සුළඟ හා මුසුවී මන්දස්වරයක් නංවමින් රැලි නංවන විල් දිය මත,දිය මත සරන කුරුලු කෙවිල්ලන් ය. ඒ අතර, ලිහිණින් කිහිපදෙනකු විල් දියට උඩින් පියාසර කරයි. විටෙක උන් නගන හඬ,අපූර්වත්වයෙන් හෙබි පරිසරය වෙත කැන්දාගෙන එන්නේ අමුතුම මිහිරකි.

හයිද්‍රාබාද් හි තෙලන්ගානා සංචාරක පුරවරයේ පිහිටි හුසේන් සාගර් විල යනු, හදවතක හැඩය ගත් අපූර්ව විලකි. මෙය ගොඩනංවා ඇත්තේ 1963 වසරේදී, ඊබ්‍රාහිම් ක්විල් ක්වටබ් ෂාහ් විසින් එම ප්‍රදේශය පාලනය කළ සමයේදී ය.

මියුසි ගඟෙන් පෝෂණය වන මේ විල, වර්ග කිලෝමීටර් 5.7ක් පුරා විහිදී ඇත.මෙහි උපරිම ගැඹුර අඩි 32කි. මෙහි මැද ගෞතම බුද්ධ ප්‍රතිමාවකි. එය තනා ඇත්තේ 1992 වසරේදී ය. එය විශාල ය. මොනොලිතික් ක්‍රමයට නිමැවූවකි. විල මැද පිහිටි දූපත වන් කොටසේ පිහිටි මේ ප්‍රතිමාව, බුදු දහම හා සබැඳි විවිධ සිතුවමින් හැඩවුණු උස් පිහිටීමක් මත තනා නිමවා තිබේ. පිළිමය නැගී සිටින්නේ නෙළුම් මලක් මතිනි. බුදු පිළිමය පිහිටුවා ඇති එම උස් බිම, ජිල්බර්තා නමින් හැඳින්වේ.

මේ විල කෘත්‍රිමව සැකසූ එකකි. එය නිර්මාණය කිරීමට දායක වූයේ හර්ෂාත් හුසේන් ෂා වාලි නමැත්තෙකි. ඒ අනුව ඔහුගේ නමින් මේ විල නම් කෙරී ඇත. මියුසි ගඟෙන් පෝෂණය ලබමින් සැකසුණු ඔස්මන් සාගර් සහ හිමායත් සාගර් යන විල් සැකසීමට පෙර, හයිද්‍රාබාදයට ජලය සපයන ප්‍රධාන ජල සැපැයුම වූයේ ද හුසේන් සාගර් විල ය.

2012 වසරේ සැප්තැම්බර් මස 27 වැනි දින පැවැති ලෝක සංචාරක දින උත්සව අවස්ථාවේදී, ඉන්දියාවේ පිහිටි වැදගත් උරුමයක් ලෙස මෙය නම් කෙරිණි. ලෝකයේ පිහිටි විල් සහ දූපත් අතරින් විශාලතම, හදවතේ හැඩය ඇති පිහිටීම, ලෝක උරුම අතර හදවත් හැඩය ඇති ස්ථානය, හදවතේ හැඩය ගත් ලෝකයේ චමත්කාරජනක පිහිටීම ලෙස එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය මඟින් මෙය හැඳින්විණි. එය ලෝකයේ හදවතේ හැඩය ගත් විල් 78කින් සහ දූපත් නවයක් අතරින් ලෝකයේ පිහිටි හදවතේ හැඩය ගත් විශාලතම විල ද මෙය ය.

හදවතක හැඩය ගත් මේ විල , ඊබ්‍රාහිම් ක්විල් ක්වටබ් ෂාහ් රජු විසින් නිර්මාණය කර ඇත්තේ, තම ජනතාවට ඇති ආදරය නිසා ය. ඔවුන්ගේ ජල අවශ්‍යතාව සංසිඳුවීම සඳහා ය. බීමට සහ වාරි කර්මාන්තයට අවශ්‍ය ජලය සපයා ගැනීම වෙනුවෙනි.ඒ නිසා ම මෙය හදවතක හැඩයෙන් නිර්මාණය කරන්නට ඇතැයි සිතිය හැකි ය.

හෝරාවක පමණ කාලයක් මෙහි සංචාරයේ යෙදුණු අපි , ඝණ හිරු රැස් ධාරා දිය රැලි සිපගන්නා විට ඉන් නික්මුණෙමු.

(විශේෂ ස්තූතිය ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට)

ඉන්දීය සංචාරයකින් පසු

සටහන සහ ඡායාරූප
ඉරෝෂිණී දීපිකා


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...