සම්මාන ආදරය දෙකම ලැබුණා | දිනමිණ

සම්මාන ආදරය දෙකම ලැබුණා

උරේෂා රවිහාරි

ගායන ක්ෂේත්‍රය තුළ චිත්‍රපට පසුබිම් ගායනය, ටෙලි නාට්‍ය තේමා ගී ගායනය, එළිමහන් සංගීත ප්‍රසංග මෙන් ම, ගෘහස්ථ සංගීත ප්‍රසංග වේදිකාවට එකසේ ගැළපෙන හඬක් හිමි ඇය, ළමා වියේ සිට ම සංගීතය ඇසුරේ රැඳෙමින්, ජීවන මංපෙත හැඩකර ගත්තා ය. අද දවසේ ශ්‍රී ලාංකේය ගී අඹරේ දීප්තිමත් ම තාරකාව ලෙස බබළමින් සිටින ඇය උරේෂා රවිහාරි ය.

* මේ දිගු ගමනේ ආරම්භය සටහන් වෙන්නේ කොතැනින්ද?

පුංචි කාලෙ ඉඳන් ම මගේ හැකියා දැක්ක මගේ මවුපියන්ට තමයි මුලින්ම මා ගායිකාවක කිරීමේ කැමැත්ත ඇතිවන්නෙ. ඒ අනුව මා සංගීතය ඉගෙන ගන්න විශාරද සුජාතා අත්තනායක මහත්මිය වෙත යොමු කරවනවා . ඒ වෙද්දි මගේ වයස අවුරැදු 7 යි. මගේ සංගීත ගුරුතුමිය සුජාතා අත්තනායක මහත්මිය, ගුවන්විදුලි ළමා මණ්ඩපයේ ගයන්න මා එක්කගෙන ගියා.

මගෙත්, මල්ලිගෙත් ගායන හැකියා එළිදක්වන්න වුවමනා නිසා, අපි දෙන්නගෙ ගීත ඇතුළත් ‘සුරතල් නංගියෙ‘ ගීත කැසට් පටය තාත්තා නිෂ්පාදනය කළා. ඒ එක්කම මගේ හින්දි ගීත ගායන හැකියාව එළිදක්වන්න තාත්තා ප්‍රේම් කරෝ කියන මගේ හින්දි ගීත ඇතුළත් කැසට් පටයත් නිපදවනවා. ඔය කාලයේම මගේ සංගීත දිවියේ සුවිශේෂ කරණාවක් වුණ, ශක්තිය ඔබයි අම්මේ චිත්‍රපටයේ ‘උන්නා එක ගංගාවක‘ ගීතය ගයන්න අවස්ථාව ලැබෙනවා. ඒ ගීතයත් එක්ක මට හොඳ ජනප්‍රියත්වයක් ලැබෙනවා. ඔය විදිහටයි මගේ සංගීත දිවියේ පදනම සැකසෙන්නේ.

* ඔබ මේ හැම දෙයකටම දායක වුණේ, තමන්ගේ අනාගත වෘත්තිය ගායනය කර ගැනීමේ වුවමනාවෙන්ද?

මගේ අනාගත වෘත්තිය, ගායනය කර ගන්නවා කියලා නම් මං හිතුවෙ නැහැ. පුංචි කාලේ ගායනයෙන් මම විශාල සතුටක් අත්වින්දා. එපමණයි. කලින් කල සංගීත ගුරුවරියක් වෙන්න, නැටුම් ගුරුවරියක් වෙන්න, බැංකු නිලධාරිනියක වෙන්න වගේ විවිධ බලාපොරොත්තු මගේ හිතේ ඇඳි ඇඳී මැකී ගියා. ඒත්, මට ගැළපෙන ක්ෂේත්‍රය මෙය තමා කියලා, කාලයත් එක්ක මම තේරුම් ගත්තා.

* හැම තැනකටම ගැළපෙන විදිහට ගයන්න උරේෂා තුළ තියෙන විශේෂ හැකියාව ගැන කතා කළොත්?

චිත්‍රපට පසුබිම් ගායනය කියන්නෙ වෙනස්ම දෙයක්. නිර්මාණයේ පෙනී සිටින කෙනාට ගැළපෙන හා අවස්ථාවට උචිත ලෙස එහිදී ගැයිය යුතුයි. ටෙලි නාට්‍ය තේමා ගී ගායනය කියන්නෙ ගායනයේ තවත් වෙනස් පැත්තක්. ගෘහස්ථ ප්‍රසංගයකදී අපට හමුවන රසිකයා, එළිමහන් ප්‍රසංගයකදී වෙනස් රසයක් ඉල්ලා සිටිනවා . මේ හැම අවස්ථාවක් වෙනුවෙන්ම මම පෙර සුදානම් වෙනවා සහ පුහුණුවීම්වල යෙදීමෙන් පසුවයි ගායනය කරන්නෙ.

* ඔබ ප්‍රසංග වේදිකාවේ රඟමින් ගයන ශිල්පිනියක් නෙමෙයි. මේ තත්ත්වය තුළ එළිමහන් ප්‍රසංග රසවිඳින රසිකයා ආකර්ෂණය කර ගැනීමට අපහසුයි නේද?

නර්ථනයේ යෙදෙමින් ගයන අය ගැන මම වරදක් කියන්නෙ නැහැ. එක එක්කෙනාට රසිකයා ආකර්ෂණය කර ගැනීමට භාවිත කරන උපක්‍රම තියෙනවා. මම භාවිත කරන උපක්‍රමය මගේ හඬේ තියෙන ප්‍රබලකම සහ ගීයක් ගයන විට මගේ ඇස්වලින්, මුහුණෙන් පෙන්නුම් කරන හැඟීමයි. කවදාකවත් මම වේදිකාවේ රඟමින් ගැයුවෙ නැහැ . එය තමයි මගේ අනන්‍යතාව.

* ප්‍රවීණ ගායිකාවක් විදිහට ඔබ තෝරාගත් නිර්මාණ හා නිර්මාණකරුවන්ගේ ඇරියුම් පමණද බාර ගන්නෙ?

මම එලෙස සීමා පනවාගෙන නැහැ. චිත්‍රපට පසුබිම් ගායනයේදි මම අලුත් අයගේ නිර්මාණ වගේම, ප්‍රවීණයන්ගෙ නිර්මාණත් ගයනවා. ගී පද රචනය, සංගීත අධ්‍යක්ෂණය කරන නවකයන්ට මම අවස්ථාව ලබා දීලා තියෙනවා. එදා අපිත් නවකයන් විදිහට නවක නිර්මාණවලින් මේ කලාවට ආවා වගේම, අලුතින් එකතුවන නවකයන්ට අපි අවස්ථාව ලබා දිය යුතුයි. මම නවක අය වගේම, ප්‍රවීණයන් සමඟත් එකසේ නිර්මාණ කරනවා.

* කලා ලෝකයේ දැවැන්තයකුගේ දියණියක වූ ඔබට, මේ ක්ෂේත්‍රයේ ස්ථාවරත්වයක් ගොඩනගා ගැනීම වඩාත් පහසු වුණා නේද?

මගේ ගමන පහසු ගමනක් නෙමෙයි. මම ආවෙ හරි ම කටුක ගමනක් . මගේ තාත්තා කලා ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් වීම නිසා, මම පහසුවෙන් ගායිකාවක් වුණා කියලා සමහර අය හිතනවා. තාත්තා කලාකරුවෙක් වීම නිසා මට අපහසුතාවලට මුහුණ දෙන්න වූ අවස්ථා අපමණයි. ඇතැම් ගීත වැඩසටහන් පවා මට නොලැබී ගියා. ඒ වගේම තාත්තාගෙ අත්දැකීම්, ප්‍රවීණත්වය මගේ ගමනට රුකුලක් වුණා කියන එකත් කිව යුතුයි. ඒ වගේම , මේ ක්ෂේත්‍රයේ ගායක ගායිකාවන්, සංගීත නිර්මාණකරුවන් හැමෝගෙම ආදරය මට ලැබීම නිසා, මේ ක්ෂේත්‍රය සුන්දර තැනක් වෙලා තියෙනවා. මේ හැමෝගෙම ආදරයත් එක්කයි මම ගමනක් යන්නෙ.

* ඔබ පැමිණි සමයට වඩා අද ගායකයෙක්, ගායිකාවක් වෙන එක පහසුයිද?

අද කාලෙ ක්ෂේත්‍රයට එන්න අවස්ථා තිබුණත්, ක්ෂේත්‍රයේ රැඳී ඉන්න පසුබිමක් හදාගන්න එක බොහොම අපහසුයි. අපි ක්ෂේත්‍රයට එන කාලෙ විද්‍යුත් මාධ්‍ය තිබුණේ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන්. මේ නිසා, තමන්ගේ ගීතයක් ප්‍රචාරය කරවා ගන්න එක හරි ම අපහසු දෙයක් වෙලා තිබුණා.

* ඔබ ඔබට පෙර පරම්පරාව දකින්නේ කොහොමද?

අපට වඩා බොහොම වාසනාවන්ත සමයක තමයි ඒ අය ක්ෂේත්‍රයට ආවෙ කියා මම හිතනවා. ඔවුන්ට ගීත ගයන්න, ඒ කාලෙ චිත්‍රපට බොහෝ ප්‍රමාණයක් නිර්මාණය වුණා.ඒ වගේම ප්‍රවීණ ශිල්පිනියන්, ශිල්පීන් විශාල කැපවීමකින් තමයි මේ ක්ෂේත්‍රයේ ස්ථාවරයක් ගොඩනගාගෙන තියෙන්නෙ. මගේ පූර්වාදර්ශය වන සුජාතා අත්තනායක මහත්මිය, තමන්ගේ නිර්මාණ වෙනුවෙන් වන වෙහෙස මම අත්විඳලා දැකලා තියෙනවා.

* ඔබේ හඬට ලැබිය යුතු වටිනාකම ප්‍රමාණවත්ව ලැබුණාද?

ලැබුණා. සම්මාන ලැබිය යුතු සමහර තැන් මඟහැරීගිය අවස්ථාත් තියෙනවා. ඒත්, ඊට වඩා මා අගය කරලා මට සම්මාන ලැබුණු අවස්ථා වැඩියි. රසික රසිකාවන්ගෙ ආදරයත්, ප්‍රසාදයත් මට නො අඩුව ලැබිලා තියෙනවා. මට වයස අවුරුදු අටේ ඉඳන් ඔවුන් මා ළඟින් හිටියා. ඒ නිසා තමයි විවිධ නිර්මාණ ඔස්සේ මට මේ තරම් රසිකයන්ට ළං වෙන්න පුළුවන් වුණේ.

* තමන්ට උරුම වී ඇති නප්‍රියත්වය ගැන ඔබ උදම් සිතින් පසුවන හැඩයි?

මම ජනප්‍රියත්වය කිරුළක් කරගෙන නැහැ. මට දෙයක් ලැබෙන්න ලැබෙන්න මම නිහතමානීව හරි ම සරල විදිහට ජීවත් වෙන කෙනෙක්. මගේ හැකියාවෙන් උපරිමයක් කරන්න බොහෝ වෙහෙස වෙන කෙනෙක් . මේ මගේ වාසනාවට ආපු ගමනක් කියලා සමහරු හිතනවා. මෙවැනි තැනකට එන්න වාසනාව අත්‍යවශ්‍යයි. ඒත්, ඒ වාසනාව තමන්ට ළංකර ගැනීමට වෙහෙස වීම සහ කැපවීම අත්‍යවශ්‍යයි. හැම නිර්මාණයක් වෙනුවෙන් ම මම වෙහෙසකාරී පුහුණුවීම්වල යෙදෙනවා . ඒ කැපවීම තමයි තමන්ගෙ ඉලක්කය කරා අප ගෙන යන්නෙ .මම ඒ ආදර්ශය ලැබුවෙ මගේ තාත්තගෙන්. මම පොඩි කාලෙ දැකලා තියෙනවා තාත්තා වැඩසටහනක් වෙනුවෙන් ඇතැම්විට සුදානම් වෙන අන්දම.

* ජනප්‍රියත්වය හා ගායිකාව යන තැනින් නික්මුණ කල, උරේෂා රවිහාරි කියන්නේ කොයි වගේ කෙනෙක්ද?

මම බෙහොම සාමාන්‍ය චරිතයක්. මගේ ගේ ඇතුළෙදි ගායිකාව යන තැනින් මිදිලා මම මගේ සැමියට හොඳ බිරියක්. මගේ දරුවාට හොඳ අම්මා කෙනෙක්. කාර්ය බහුල දිවියක් ගෙවන කෙනෙක් හැටියට හැම තිස්සෙම මම උත්සාහ කරනවා මේ හැම දෙයක්ම සමබරව කරගෙන යන්න. මම හිතනවා කාන්තාවකගේ හැකියාව විය යුත්තේත් එයයි.

* ඔබට ආදරය කළ ලෝකයට පෙරලා ප්‍රති උපකාරයක් කරන්න ඉඩක් ලැබුණොත්, ඔබ මොනවගේ දෙයක්ද තෝර ගන්නෙ?

අපි ගීතයෙන් කරන්නෙත් සමාජ මෙහෙවරක්. ඉදිරි කාලයේත් මගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් එකී මෙහෙය මම කරනවා. ඒ හැරුණහම අසරණ වුණු අයට මගේ ගීතයෙන් යමක් කරන්න මම පෙලඹුණු අවස්ථා තියෙනවා. රෝගී අය වෙනුවෙන් මුදල් එකතු කරන්න පවත්වපු ගී ප්‍රසංගවල මම මුදල් අය නොකර ගීත ගයලා තියෙනවා.ඉදිරියේත් අසරණ වු ජනතාව වෙනුවෙන් දීර්ඝකාලීනව යම් මෙහෙයක් කරන්න මගේ අදහසක් තියෙනවා.

ධම්මිකා සුරංජි පතිරණ


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...