ආදරයයි කරුණාවයි | දිනමිණ

ආදරයයි කරුණාවයි

දරුවන්ගේ ලෝකයත්; වැඩිහිටියන්ගේ ලෝකයත් හාත්පසින් ම වෙනස් ය. ඔවුන්ගේ සිතුම් පැතුම් හා චර්යාවන් ද එකිනෙකට වෙනස් ය. එහෙත් මේ දෙපිරිස ම සමපාත වන අවස්ථාවක් තිබේ. එනම්; දෙපිරිසට ම රැකවරණය, ආරක්ෂාව හා ආදරය අවශ්‍ය වීම ය. එම දේවල් නැතිව ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කළ නො හැකි ය. එම දේවල් නැතිව ඔවුන්ගේ ජීවිත තෘප්තිමත් කළ නො හැකි ය. වැඩිහිටියා ද යම් පමණකින් දරුවකුට සමාන යැයි කියති. ඊට අදාළ තර්කය වන්නේ වැඩිහිටියා ද දරුවකු සේ කිසිවකුගේ රැකවරණය යටතේ ජීවත්විය යුතු පුද්ගලයකු වීම ය. මේ දෙපිරිස ම ගැන ම සොයා බලන දිනය අදට යෙදී තිබේ.

ශ්‍රී ලංකාවේ දරුවන් පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණ සිදුවී ඇත්තේ අඩුවෙන් ය. 1995 දී නිකුත් වූ පර්යේෂණ කෘතියක් අප මතකයට නැගේ. එය හඳුන්වා ඇත්තේ “අපේ දරුවන්ට සිදුවන්නේ කුමක් ද?’ යනුවෙන් ය. මේ කෘතියට අනුව අපේ දරුවන්ගෙන් 4% ක් ආබාධිත ය. 2.7% ක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටිති. වීදි දරුවන්ගේ ගණන දස දහසකි. තිස් දහසක් ළමා ගණිකා සේවයේ යෙදෙති. ලක්ෂ පහකට ආසන්න සංඛ්‍යාවක් නිවාසවල හා වතුවල මෙහෙකාර සේවයේ යෙදෙති. මේ සංඛ්‍යා දත්ත ආසියාවේ වෙනත් රටවල් සමඟ සසඳන විට යම් සැනසිල්ලක් දැනෙන්නට පුළුවන. එහෙත් අපේ රටේ ජනගහනය හා රටේ ප්‍රමාණය සලකා බලනවිට අපේ තත්ත්වය ඒ තරම් සුබදායක නැත.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝකයේ දරුවන්ගේ සු‍බසෙත සඳහා ප්‍රඥප්තියක් සම්මත කර ගත්තේ 1989 නොවැම්බර් 20 දා ය. එම ප්‍රඥප්තියට අනුව වයස අවුරුදු දහ අටට අඩු සියලුදෙනා දරුවෝ වෙති. මුල්කාලීන ශ්‍රී ලංකා නීතියට අනුව අවුරුදු දාහතරට අඩු අය දරුවන් ය. එහෙත් අද නීතියට අනුව අවුරුදු දහඅටට අඩු සියලුදෙනා දරුවෝ ය. දරුවන් පෝෂණය කිරීමට, ඔවුනට රැකවරණය හා ආදරය ලබාදීමට වැඩිහිටියෝ බැඳී සිටිති. ඒ හැරෙන්නට දරුවන් උදෙසා සහන සැලැසීමට ද, ඔවුන් ආරක්ෂා කිරීමට ද රජය බැඳී සිටී. මේ අනුව දරුවා යනු වරප්‍රසාද සහිත පුද්ගලයකු ලෙස පෙනී යයි. එහෙත් ඇතැම් දරුවනට එම වරප්‍රසාද හිමිවන්නේ ද යනු ගැටලුවෙකි.

හොඳ ම දේ දරුවන්ට යැයි කියූව ද රටේ දරුවන්ගෙන් සැලැකිය යුතු පිරිසකට මන්දපෝෂණය තිබේ. තව ම වතු හා ග්‍රාමීය ප්‍රදේශවල බර අඩු උපත් බහුල ය. වයස අවුරුදු 14 තෙක් අධ්‍යාපනය අනිවාර්ය කර තිබුණ ද ඊට පෙර පාසල් හැර යන පිරිසක් සිටිති. කිසිදා පාසල් නොයන අය ද සිටිති. ළමා ශ්‍රම සැපයුමෙහි ඇත්ත ගණන් හිලව් සොයා ගැනීම අපහසු ය. ගෘහස්ත හිංසනයට ලක්වන දරුවන් ගැන සොයා බැලීමක් ඇත්තේ ම නැති තරම් ය. දරුවන් අලෙවි කොට මුදල් උපයාගන්නා මව්පියෝ ද අප රටේ සිටිති. උපන් හැටියේ කිරිකැටි බිළිඳුන් මරා දමන අම්මලා ද අපට සිටිති. රටේ දරුවන් පිළිබඳ සමස්ත චිත්‍රය සතුටුදායක නැති බව මේ අනුව පෙනී යයි.

දරුවන් පිළිබඳ සැමරුම් උත්සව පැවැත්වීම යහපත් දෙයකි. අව ම ලෙස මේ විෂයය සංවාදයට ලක්වීම ද ළමයින් ගැන සොයා බැලීමට ලබාදෙන උත්තේජනයක් ලෙස සැලැකිය හැකි ය. එහෙත් සැමරුම් උත්සවවලට එහා ගිය සක්‍රීය වැඩසටහන් නැතිව දරුවන්ගේ ප්‍රශ්න විසැඳිය නොහැකිය. පාසල් දරුවන් මතට ඇබ්බැහි වීම වැළැක්වීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙයි. එසේ වුව පාසල් දරුවන් මතට යොමුවීමේ අඩුවක් දකින්නට නැත. එහි අර්ථය වන්නේ ක්‍රියාත්මක වැඩසටහන්වල දුර්වලතා ඇති බව ය. දරුවන් මතට ඇබ්බැහි වනු පමණක් නො ව; එම ජාවාරමට සම්බන්ධ වී සිටිනු ද දැකිය හැකි ය. ‍ෙම්වා ගැන අපේ ආයතනවල දැඩි අවධානය යොමු විය යුතුව තිබේ.

ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනය ශීඝ්‍රයෙන් ඉහළ යන බවට කරුණු හෙළිදරව් වී තිබේ. එය දැනට ම අපේ සමාජ ගැටලුවක් බවට පත්වී ඇත. අප මුලින් සඳහන් කළ පරිදි වැඩිහිටියා ද දරුවෙකි. ඔහුගේ හා ඇයගේ පැවැත්ම සඳහා රැකවරණය, ආරක්ෂාව හා ආදරය අවශ්‍ය වේ. අපේ සංස්කෘතික බැඳීමට අනුව තරුණ දරුවන් වැඩිහිටියන්ගේ වගකීම් භාරගත යුතු ය. එහෙත් විවිධ හේතු මත එම වගකීම පැහැර හරින බව පෙනෙන්නට තිබේ. ඇතැම් දරුවකුට තම මව හා පියා හිසරදයක් බව සමහර සිදුවීම්වලින් පෙනී යයි. තාත්තලා බලු කූඩුවට දමන්නේ ද, අම්මලා මහ මඟ අතරමං කරන්නේ ද එම හිසරදය වළක්වා ගැනීමට යැයි සිතන්නට පුළුවන.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවකයාට විශ්‍රාම වැටුප නිසා යම් සහනයක් ලැබී ඇත. ඔහුට වයස්ගත සමයේ දී දිවි පැවැත්ම පිළිබඳ සහතිකයක් ඇතැ’යි සිතන්නට පුළුවන. එහෙත් සියලු වැඩිහිටියෝ විශ්‍රාම වැටුප්ලාභියෝ නොවෙති. අපේ ජනතාව රක්ෂණ ක්‍රමවලට පුරුදු වී ඇත්තේ ද අඩුවෙන් ය. මේ අනුව වැඩිහිටි සමාජයේ විශාල පිරිසකගේ වගකීම රජය හෝ සමාජය හෝ දැරිය යුතු ව තිබේ. අවුරුදු සියය ඉක්ම වූ වැඩිහිටියන් ශ්‍රී ලංකාව තුළ දෙසිය ගණනක් ඇතැ’යි එක් සංඛ්‍යා ලේඛනයක සඳහන් ය. මෙබඳු පිරිසකගේ සුබ සාධනය සඳහා අපේ ආයතන ඉදිරිපත් නොවන්නේ මන්ද යනු ගැටලුවෙකි.

ලෝකයේ දියුණු රටවල වයස්ගත පුද්ගලයන්ගේ ප්‍රධාන ගැටලුව බවට පත්ව ඇත්තේ හුදෙකලාභාවය යි. එම රටවල සුබසාධනය දියුණු වුව මානසික තෘප්තිය ලැබීමේ ක්‍රමවේද අඩු ය. බටහිර රටවල වැඩිහිටියෝ හුදෙකලාභාවය නිසා ම රෝගී තත්ත්වයට පත්වෙති. ශ්‍රී ලංකාව වැනි රටවල ද දැන් මේ තත්ත්වය ව්‍යාප්ත වෙමින් පවතී. වයස්ගත පුද්ගලයන් ඒකරාශී කරන හා ඔවුන් සංවාද පවත්වන නිදහස් ස්ථාන අපට නැත. අනාගතයේ එබඳු ස්ථාන ඇති කළ යුතුව තිබේ. අපේ සමාජ සේවා ආයතන මේවා ගැන ගැඹුරින් කල්පනා කළ යුතු ය. වයස්ගත පුද්ගලයා ආබාධිතයකු නම්; ඔහුට රැකවරණය ලබාදෙන්නේ කවුද? ඔහු විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයෙකි. මේවා ගැන කල්පනා කිරීමට කාලය පැමිණ තිබේ.

සියලු දරුවන් වෙත ආදරය බෙදාදීමටද, සියලු වැඩිහිටියන් වෙත ගෞරවය දැක්වීමටද අපේ සමාජය හුරුවන්නේ නම්; ඉහත ගැටලු බොහොමයක් විසඳාගත හැකි ය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...