ජීවනබර හෑල්ලු කිරීම! | දිනමිණ

ජීවනබර හෑල්ලු කිරීම!

පොල් ගෙඩියක මිල රුපියල් සියය තෙක් ඉහළ නැඟ තිබේ. නාඩු, සම්බා, කැකුළු, කීරිසම්බා යන සහල් වර්ග විකුණන්නේ වෙළෙන්දා හිතූ ගණනටය. අනෙකුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ද ඊට වැඩි වෙනසක් නැත. බැලූ බැල්මට පෙනී යන්නේ වෙළෙන්දා පොහොසත් වන හා පාරිභෝගිකයා හිඟන්නා වන තත්ත්වයකි. ආර්ථික විශේෂඥයකු මේ තත්ත්වය විවෘත ආර්ථිකයේ ස්වාභාවය ලෙස අර්ථ දක්වන්නට පුළුවන. එහෙත් ජනතාවගේ පැත්තෙන් බලන විට වෙළෙඳ අමාත්‍යාංශය නිදිද? පාරිභෝගික අධිකාරිය නිදිද වැනි ප්‍රශ්නයක් නගන්නට පුළුවන. එසේ ප්‍රශ්න කිරීම සාධාරණය.

ගෑස් මිල රුපියල් එකසිය දහයකින් ඉහළ ගියේ ලෝක වෙළෙඳ පොළෙහි ගෑස් මිල කිහිප වරක්ම ඉහළ ගිය නිසාය. මේ අනුව බත් පැකට් එකේ සිට ප්ලේන්ටිය දක්වා මිල ඉහළ දැමීමට වෙළෙන්දෝ සැරසෙති. ඔවුන් ඉහළ දමන මිල ගණන් ද සාධාරණ නැත. ගෑස් මිල අඩු වූ විට බොහොමයක් වෙළෙඳුන් කෑම මිල අඩු කළේ නැත. විවිධ හේතු දක්වමින් ඔවුන් මිල ගණන් රඳවාගත් බව අපගේ වැටහීමය. දැන් ගෑස් මිල සුළුවෙන් වැඩි වූ කල ඔවුන්ගේ ප්‍රතිචාරය වෙනස්ය. බලාගෙන යන විට අපට ඇත්තේ පාරිභෝගිකයා සූරාකන වෙළෙඳ සමාජයකි. මීට ඉඩ දිය යුතු නැත.

අපේ රටේ ප්‍රශ්නයක් විසැඳීමට නම්, එක්කෝ ජනාධිපතිවරයා මැදිහත් විය යුතුය. නැතහොත් අගමැතිවරයා මැදිහත් විය යුතුය. මේ අනුව ජනාධිපතිවරයා බඩු මිල ප්‍රශ්නයට මැදිහත් වී ඇත. ජීවන විදයම් කමිටුව කැඳවූ ජනාධිපතිවරයා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නවයක හා තවත් භාණ්ඩ දහසයකද යන ලෙසින් මුළුමනින්ම පාරිභෝගික භාණ්ඩ විසි පහක මිල පහත දැමීමට සතොසට නියෝගකර තිබේ. පොල් ගමින්-ගමට ගොස් බෙදා හැරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන්නැයි පොල් සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී තිබේ. එම අධිකාරිය ලොරි රථ මගින් පොල් අලෙවියට සූදානම් වන බවක් ද වාර්තා වී ඇත.

පොල් මිල පාලනය කිරීම අසීරුය. එය පිළිගතයුතු කාරණයෙකි. ගිය වසරේ මෙන්ම ඊට පෙර වසරේද පැවැති නියඟය නිසා පොල් ඵලදාව අඩු වී ඇත. කුරුමිණි රෝගය නිසා ද පොල්වතු විනාශ වී ඇත. පොල්මිල ඉහළ යෑම සඳහා ඒවා බලපා ඇති බව සත්‍යයක් වන්නේ වුව පොල් මිල මේ තරමින් ඉහළ යන්නේ අතරමැදියන්ගේ ගසා කෑම නිසාය. අතරමැදියන් එක පොල් ගෙඩියකින් රුපියල් තිහක් පමණ ගසා කන බව හෙළිදරව් වී තිබේ. මේ තත්ත්වය වෙනස් කළ හැක්කේ රාජ්‍ය ආයතන මැදිහත් වී පාරිභෝගිකයා වෙත පොල් සැපයීමෙන් පමණි. පොල් සංවර්ධන අධිකාරියට හා සතොස ආයතනය ඒකාබද්ධ වී සහන වැඩසටහනක් සකස් කළ හැකිය.

ජනාධිපතිවරයා බඩු මිල ප්‍රශ්නයට මැදිහත් වීම ඉතා වැදගත්ය. එසේ නොවූනේ නම්, රටේ උද්ධමනය තවදුරටත් ඉහළ යන්නට ඉඩ තිබිණි. ජීවන වියදම් කමිටුවේදී ජනාධිපතිවරයා ගත් තවත් වැදගත් තීන්දුවක් තිබේ. එනම්; මින් පසු දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම් සඳහා එම දිස්ත්‍රික්කය නියෝජනය කරන සියලු ඇමැතිවරුන් සහභාගී විය යුතු බවට දැනුම්දීමය. ජනතා නියෝජිතයන් මහජනයාගේ ප්‍රශ්නවල යථාර්ථය වටහාගත යුතුය. ඔවුන් මේ රැස්වීම් සඳහා අඛණ්ඩව සහභාගී වන්නේ නම්; බොහොමයක් ගැටලු විසඳාගත හැකි තැනක තිබේ. නිලධාරීන් සමඟ ද, ආයතන සමඟද අදහස් හුවමාරු කරගැනී‍ෙම් අවස්ථාව ද ලැබේ.

සතොස ආයතනයට මුළු රටේම පාරිභෝගිකයන්ගේ ප්‍රශ්න විසැඳිය හැකි ද යනු තවත් ප්‍රශ්නයකි. සතොස ආයතන රටපුරා හැමතැනම ව්‍යාප්ත වී නැත. රජයේ ආයතනවල සේවාව කෙරෙහි මහජන විශ්වාසයද හීනය. ඇතැම්විට රජයේ ආයතනවලට වැරදෙන තැන්ද බොහෝ ය. සහල් මිල අඩු කිරීම සඳහා පිටරටින් ආනයනය කළ සහල් මිලට ගැනීමට පාරිභෝගිකයෝ අකැමැති වූහ. එම සහල් තොගය අපට ගැළපෙන ඒවා නොවේ. මෙබඳු සිදුවීම් ඕනෑතරම් තිබේ. එහෙත් අවසන් ලෙස අහිංසක පාරිභෝගිකයාට පිහිටවීමට ඇත්තේ සතොස වැනි ආයතන පමණි. මේ ආයතන හොඳ සේවාවක් ලබාදුනහොත් පෞද්ගලික ව්‍යාපාරිකයාටද භාණ්ඩ මිල අඩු කිරීමට සිදුවනු ඇත.

ජනතාවගේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය වන පාරිභෝගික භාණ්ඩ සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙළක් සකස් කොට ඒවා සැපයීමට උපායමාර්ග සොයාගන්නේ නම් පාරිභෝගිකයන්ගේ බොහොමයක් ගැටලු නිරාකරණය කරගත හැකිය. කිරිපිටි, සීනි, ලූනු, කරවල, පිටි, පරිප්පු වැනි ද්‍රව්‍ය හැරුණු කොට අනෙක් සෑම ආහාර ද්‍රව්‍යක්ම පාහේ දේශීය වශයෙන් සපයාගත හැකිය. සහල් පිටරට යැවීමේ හැකියාව ද අපට තිබේ. අප උපායමාර්ග සොයාගත යුත්තේ සහල් නිෂ්පාදනය වැඩි කිරීමට හා ඒවා අතරමැදියන්ගෙන් තොරව වෙළෙඳපොළට සැපයීම සඳහාය. එහෙත් එම කටයුත්ත භාරගෙන ඇත්තේ මෝල්හිමියන්ය ගැටලුව ඇත්තේ එතැනය.

මාළු නිෂ්පාදනය ද වැඩි කළ හැකි අතර සාධාරණ මිලකට මාළු අලෙවි කිරීමේ ක්‍රමවේදයද සකස් කළ හැකිය. එය ධීවර සංස්ථාව භාරගත යුතුය. ඇතැම් රාජ්‍ය ආයතනවලට අලුත් වැඩසටහන් නැත. ඒවා දුවන්නේ පරණ පාරේ යැයි කියන්නට පුළුවන. තවත් ආයතන පවතින්නේ අක්‍රීය තත්ත්වයේය. ඒවායෙහි නිලධාරීන් කරන දෙයක් නැතිතරම්ය. සමහර ආයතනවල ඇහැ ඇරෙන්නේ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා කතා කළ පසුවය. මේ ක්‍රමය අතහැර රටම අවදියෙන් සිටින තැනකට යා යුතුය.

අපගේ අවධානය යොමු විය යුතු තවත් වැදගත් සාධකයක් තිබේ. එනම්; ලෝකය පුරා ව්‍යාප්ත වෙමින් පවතින ආහාර අර්බුදයයි. දේශගුණික වෙනස්වීම් මත වගාබිම් විනාශයට යන්නට පටන්ගෙන තිබේ. එක අතෙකින් නියඟය දරුණුවෙමින් පවතී. තව අතෙකින් ජලගැලීම්, කුණාටු, නායයෑම් හා තවත් ස්වාභාවික විපත් වර්ධනය වෙමින් පවතී. වගාකළ හැකි භූමි ප්‍රමාණය සංකෝචනය වෙමින් ලෝක ආහාර අර්බුදයක් ගැන ආයතන ගණනාවක් අනතුරු අඟවා තිබේ. ශ්‍රී ලංකාව වැනි රටවල් ද මේ ගැන උනන්දු විය යුතුය. මේ වන විටත් රටේ පළාත් කිහිපයක නියඟය පවති. එම ප්‍රදේශවල කන්න කිහිපයක් වගා කර නැති අතර ආහාර අහේනියද යම් මට්ටමකින් පවතී. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් ස්ථාවර වැඩපිළිවෙළකට රට යා යුතුය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...