වී ඇටයට ජීවය දී කුරුලු දසුන් මවන්නී | දිනමිණ

වී ඇටයට ජීවය දී කුරුලු දසුන් මවන්නී

කලාව මිනිසා තුළ විවිධත්වයෙන් ඇතුලත්ව ඇති දෙයකි. ලොව බොහෝ නිර්මාණයක් උසස්බවකින්, සර්ව සම්පූර්ණ නිමාවකින්ම නිම වූවක් ද නොවේ. කුමන නිර්මාණයක් තුළ ද කලාව ගැබ් වී ඇත්තේ එකිනෙකාට දැකිය හැකිය බැලිය හැකි හා විග්‍රහ කළ හැකි කෝණ මානයන් කිහිපයකින් සමන්විතවය. එහෙත් කලාව තුළ නිර්මාණයක් කිරීම කොතරම් දුරට අසීරුදැයි දන්නේ එම නිර්මාණකරුවාම පමණි. එවන් නිමැවුම්කාරියක් අපිට මුණ ගැසුනේ ගල්ගමුව ප්‍රදේශයෙනි.

ගල්ගමුව, කල්ලංචිය ගම්මානයේ ජීවත්වන ඇය නමින් අධිකාරි මුදියන්සේලාගේ ලක්මිණී අධිකාරිය. කැලණිය සරසවියෙන් කලා ශ්‍රාස්ත්‍රවේදී උපාධිය හිමිකරගෙන ඇති ඇය අද වන විට ගල්ගමුව මූලික රෝහලේ සංවර්ධන නිලධාරිනියක් ලෙස සිය රැකියාව සිදු කරයි. රැකියාවත් ජීවිතයත් අතර පුංචි හෝ වෙලාවක් සිය කලා කටයුතු වෙනුවෙන් කැප කරන්නට ඇයට ඇත්තේ දැඩි ආශාවකි. රැකියාවත් සමග කාර්යබහුල වුනද සිය කුරුලු ලොව තුළ ඇය සිත් ගත් කුරුල්ලන්ට වී ඇටයෙන් ජීවයක් දෙන්නට ඇය අමතක කරන්නේ නැත.

බොහෝ දුෂ්කරතා මැද ජීවිතයේ සොදුරු නිමැවුම් කරමින් ජීවත් වන ඇය කලාව තුළ බොහෝ දස්කම් හා උපන් හපන්කම් උප්පත්තියෙන්ම ගෙන තැනැත්තියකි. කලා ලොව තුළ අපූරූ සිතුවම් නිර්මාණයක් තුළින් ඇය අපට හමුවූයේ තෙලි තුඩින් හෝ වෙනත් දෙයකින් හෝ මිනිස් ඇස වශී කරනවාට වඩා ගොයම් ගසින් උපන් වී ඇටයෙන් කුරුලු සිතුවම් මවන නිසාවෙනි. හැඩතල, රටා, ඉරියව් ඉතාමත් අලංකාර හා දැකුම්කළු අයුරින් එම නිර්මාණ තුළ ගැබ් කිරීමට ඇගේ සංයමය ඇයට මනා ඉඩ හසරක් ලබා දී තිබේ. ඉවසීම තුළින් කුරුලු සිතුවමට සාධාරණයක් මෙන්ම සම්පූර්ණත්වයක් එක් කිරීමට ඇය ගන්නා වෑයම ඉතාමත් පුදුමයක් දනවන්නකි.

ලක්මිණී අධිකාරි මෙනවිය - මම පුංචි කාලේ ඉදලම එක එක දේවල් මේ විදිහට අලවලා තියනවා. 6-7 පංතිවල ඉද්දි තමා විවිධ ඇට වර්ග භාවිතා කරලා මම මේවගේ නිර්මාණ කරන්න පටන් ගත්තේ. ඊට පස්සෙ තමා මට හිතුණේ වී ඇටවලින් මේ විදිහට විවිධ නිර්මාණ කරන්න. ඒ අනුව තමා මම කැමතිම කුරුල්ලෙක් ඉස්සරලාම අලවන්න පටන් ගත්තේ. මම මේ වෙද්දි කුරුලු රූප 15කට ආසන්න ප්‍රමාණයක් අලවලා තියනවා. ගොඩක්ම මට තියන ගැටලුව කාලය හොයා ගන්න එක. ඒත් මම මට පුළුවන් හැම වෙලාවෙම මේ නිර්මාණ එක්ක තමා ජීවත් වෙන්නෙ. රැකියාවේ වැඩ නැති වෙලාවට ගෙදර ඉදන් මම මේ නිර්මාණ සිදු කරනවා. ගිරව්, මොනරු, වගේ විවිධ කුරුලු රූප මම වී ඇටවලින් අලවලා තියනවා. සාමාන්‍යයෙන් කෙනකුට බැලුවාම හිතෙන්න පුළුවන් මෙහෙම අලවන එක මහලොකු දෙයක් නෙමේ කියලා. ඒත් මේ හැම රූපයක්ම ගොඩ නැගිලා තියෙන්නෙ ගොඩක් ඉවසීමකින් ඒ දේවල් කරපු නිසා. ඒ කියන්නෙ හැම වී ඇටයක්ම තියන්නෙ රටාවකට අනුව. එකින් එක වී ඇට අරගෙන කුරුල්ලගේ හොටේ ඉදලා පහළට යනකල් රටාවක් තියනවා. හැම වී ඇටයක්ම අලවන්නේ ඒ රටාවට අනුව.

මුලින්ම මම නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙන රූපය රෙදි කැබැල්ලක ඇද ගන්නවා. ඒ කරලා තමා වී ඇට අලවන්න ගන්නෙ. මේ සඳහා මම ගම් වර්ගයක් යොදා ගන්නවා. අනික් විශේෂම කාරණය තමා මේ සදහා යොදා ගන්න වී ඇට මම වර්ණ ගන්වන්නෙ නෑ. ඒවා ස්වභාවික ආකාරයෙන් ගොයමේ හැදෙන වී වර්ග. සමහර ඒවා හොයා ගන්න ටිකක් අමාරුයි. විවිධ වර්ණයේ වී ඇට නිසා නිර්මාණයට වෙනස් ආකාරයේ ලස්සනක් එකතු කර ගන්න මට හැකියාව ලැබෙනවා. අනික තමා හැම වී වර්ගයකින්ම මෙහෙම මේ නිර්මාණ අලවන්නත් බෑ. සම්බා, නාඩු, සුවදැල්, හීනටි වගේ වී වර්ග තමා මම මේ සදහා ගොඩක්ම යොදා ගන්නෙ. ඒත් දැන් මට තියෙන ලොකුම ප්‍රශ්නය තමා සමහර වී වර්ග හොයා ගන්නා ටිකක් අමාරුයි. ඒත් ගොඩක් අයගේ උදව් උපකාර මත මම ඒවා කොහෙන් හරි හොයාගන්නවා. කුරුල්ලා අලවන්න ගත්තාම ඒ සතාගේ එක එක ඉන්ද්‍රියන්වල හැඩය මම වී ඇටයෙන් ගන්නවා. හොට, හිස, බෙල්ල වගේ තැන්වල තැනින් තැනට හැඩයන් වෙනස්. විශේෂයෙන්ම පිහාටුවල. මේ හැම දේටම හොද මානසික ඒකාග්‍රතාවක් අවශ්‍යයයි. ඉතිං හැකියාව තියන විදිහට මම මේ දේවල් සිදු කරගෙන යනවා.

ගල්ගමුව සමූහ එම්. එම්. ක්‍රිෂාන්

නව අදහස දක්වන්න