ව්‍යවස්ථා සංශෝධනයට අමෙරිකාවෙන් පැසසුම් | දිනමිණ

ව්‍යවස්ථා සංශෝධනයට අමෙරිකාවෙන් පැසසුම්

ශ‍්‍රී ලංකාවේ ආර්ථික සහ නීතිය හා සමාජ තත්ත්වය සුබදායි මාවතකට ප‍්‍රවිශ්ඨ වී ඇති බව ඇමරිකානු රජයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජේෂ්ඨ සාමාජික සහ ආංශික කමිටු සාමාජික මෙන් ම ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණ කමිටු වේ ප‍්‍රධානී Gerald Connolly මහතා පවසයි.

ශී‍්‍ර ලංකාවේ අනාගය වඩාත් සුබවාදී තත්ත්වයකට පත්වීම පිළිබඳ කිසිදු සැකයක් නොමැති බවත් එම ගමනට ඇමරිකාව රටක් ලෙස පූර්ණ සහය ලබා දීමට සූදානම් බවත් ඔහු සඳහන් කළ බව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

රාජ්‍ය ක්ෂේත්‍රයේ ප‍්‍රගමනය වෙනුවෙන් පුහුණු අවස්ථා ලබා දීමටත්, අධ්‍යාපනය, ප‍්‍රජා සංවර්ධනය ඇතුළු කාරණා කිහිපයක් සඳහා තාක්‍ෂණික දැනුම් ලබා දීමටත් ඔහු එකගතාව පල කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

වොෂින්ටන් නුවරදී මෙම සාකච්ඡා ඊයේ(28 ) පැවැත්වුණි.

මෙහිදී ඔහු ශී‍්‍ර ලංකාවේ ව්‍යවස්ථා සම්පාදන කි‍්‍රයාවලිය සම්බන්ධයෙන්ද කරුණු විමසා තිබේ. ආණ්ඩුවකට එකම ආකාරයෙන් පැවැතිය නොහැකි බවත් සංවර්ධන කි‍්‍රයාවලිට අඛණ්ඩව පවත්වාගෙන යමින් රට ස්ථාවරව ඉදිරියට මෙහෙවීම සඳහා ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණය ඉතා වැදගත් බවත් Gerald Connolly මහතා පැහැදිලි කර දී ඇත. එම වැඩපිළිවෙල සඳහා පූර්ණ දායකත්වය ලබා දීමටද Gerald Connolly මහතා එකගතාව පල කර ඇත.

කතානායක කරූ ජයසූරිය මහතා ඇතුලූ නියෝජිතයින් පිරිසක් මේ වන විට ඇමරිකාවේ අධ්‍යන චාරිකවක නිරත වෙමින් සිටිති. නිමල් සිරිපාල ද සිල්වා, පාලිත රංගේ බණ්ඩාර, යන අමාත්‍යවරුන්ද, චන්ද‍්‍රානි බණ්ඩාර අමාත්‍යවරියද මෙම කණ්ඩායම නියෝජනය කරති. එමෙන්ම දෙමල ජාතික සන්ධානයේ එම. ඒ සුමන්තිරන්, ජනතා විමුක්ති පෙරමුනේ විජිත හේරත්, ඒකාබද්ධ විපක්ෂයේ කුමාර වෙල්ගම යන මන්ත‍්‍රීවරුන්ද මෙම චාරිකාවට එක්ව සිටිති.

මුදල් හා වෙළදාම, ප‍්‍රජාතන්ත‍්‍රවාදය,ව්‍යවස්ථා සම්පාදනය, අයවැය සැකසීම ඇතුළු විෂයපථයන් රැුසක් පිළිබඳ මෙම චාරිකාවේදී කරුණූ විමසා බැලීමට නියමිතය.

 

අදහස් 2ක් ඇත

නව අදහස දක්වන්න