සරණාගතයන්ට පහර දීම...! | දිනමිණ

සරණාගතයන්ට පහර දීම...!

බුදුන් ධරමාන කාලයෙහි ම දෙව්රම්හි වැඩ විසූ එක්තරා භික්ෂුවක් හංසයකු මරාපී ය. මේ බැව් දැන වදාළ බුදුහු භික්ෂු යන්නෙහි අර්ථ දක්වමින් පාපයෙහි නුගුණ කියා දැක්වූහ. ධම්මපදයෙහි භික්ෂු වග්ගයෙහි දෙක - තුන යන ගාථාවලින් යථෝක්ත කතා පුවත දැක්වේ. ඊට අනුව භික්ෂු යනු ක්ලේශමලෙන් මිදෙන ප්‍රභූවන්තයෝ ය. ඔව්හු අතෙන් - පයෙන් - ශරීරයෙන් - කටෙන් හා සිතින් අනුනට හිරිහැර පීඩා නො කරති. තව ද ජාති - ආගම් - කුල හා තවත් භේද සලකා අනුනට නො ගරහති. අවමන් නොකරති.

මේ අර්ථ දැක්වීම අප සිහියට නැ‍ඟෙන්නේ දින දෙකකට කලින් ගල්කිස්සේ නිවස්නයක සිදු වූ ගාලගෝට්ටිය විමසන විට ය. භික්ෂු - සංඝයා පිරිවරාගෙන ආ පිරිසක් එම නිවස්නය වටලා එහි සිටි රොහින්ගියා සරණාගතයන්ට හිරිහැර කළහ. භික්ෂූන් වහන්සේ එහි පෙරමුණ ගත්හ. රූපවාහිනියෙන් එම දර්ශන නරඹන විට අපේ ම ශාසනය ගැන බලවත් කලකිරීමක් හට ගනී. භයින් තැතිගත් පිරිසකට අභය දීම අපේ සිරිත ය. හිරිහැරයට පත් පිරිසකට කාරුණිකවීම අපේ සිරිත ය. අනුන්ගේ දුක දැක කම්පනයට පත් වන සිත් ඇත්තා කාරුණික බව ද, එබඳු සිත් ඇත්තන් පුණ්‍ය වන්තයන් බව ද බුදුහු දේශනා කළ සේක.

මේ සිද්ධියත් සමඟ ශ්‍රී ලංකාවට ප්‍රශ්න කිහිපයකට මුහුණ දෙන්නට සිදුවෙයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය පහරදීමේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර තිබේ. එම සරණාගතයන් එක්සත් ජාතීන්ගේ රැකවරණය යටතේ සිටි පිරිසකි. එම පිරිස ආරක්ෂා කිරීමට ද, ඔවුනට අවශ්‍ය පහසුකම් සැපයීමට ද අප රට ප්‍රඥප්තියකින් බැඳී සිටී. ශ්‍රී ලංකාවට මීට පෙරද රොහින්ගියා සරණාගතයන් පැමිණ තිබේ. 2008, 2013 යන වර්ෂවලද මෙලෙස සරණාගතයන් පැමිණ ඇති අතර පසුව ඔවුනට යුරෝපා රටවල දේශපාලන රැකවරණ ලැබී ඇත. ශ්‍රී ලංකාව සරණාගතයන් සඳහා පහසුකම් සැපයිය යුත්තේ සුළු කාලයකට පමණි.

පහරදීමේ සිද්ධිය ලෝකය පුරා ප්‍රචාරය වී ඇත. මෙයින් ශ්‍රී ලංකා රජයටත්, අපේ බුද්ධ ශාසනයටත් විශාල අවමානයක් සිදු වී තිබේ. ශ්‍රී ලංකාවේ බෞද්ධයන් සරණාගතයන්ට ම්ලේච්ඡ ලෙස පහර දෙන්නේ යැයි මතයක් ලොව පුරා ප්‍රචාරය වෙයි. 1983 කළු ජූලිය නිසා රටට ඇති වූ අපකීර්තිය හා පාඩුව මේ සිද්ධිය නිසා ද ඇතිවන්නට පුළුවන. එක්සත් ජාතීන්ගේ සංවිධානය, මානව හිමිකම් කොමිසම හා මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ජගත් ආයතන ශ්‍රී ලංකාව දෙස සතුටුදායක ආකාරයකින් බලන කාලයක මෙබඳු සිද්ධියක් ඇතිවීම බෙහෙවින්ම අවාසනාවන්ත ය. එහි වගකීම කලහකාරී කොටස් විසින් දැරිය යුතු ව තිබේ.

අපේ ජාතිවාදී හා ආගම්වාදී කණ්ඩායම් රොහින්ගියා සරණාගතයන් පිළිබඳ ගැටලුව වැරදි ආකාරයකින් තේරුම්ගෙන තිබේ. එසේ නැතහොත් මේ ප්‍රශ්නය දේශපාලන වාසියක් සඳහා යොදාගනිමින් සිටී. මේ දෙකෙන් කොයි දේ සිදු කළ ද එයින් අත්විඳිය හැකි ප්‍රතිඵලය භයානක ය. එක්සත් ජාතීන්ගේ සංවිධානය හා යුරෝපා සංගමය මේ වන විටත් සරණාගතයන් ලක්ෂ 17ක් වෙනුවෙන් කැප වී ක්‍රියා කරති. එය සැලකෙන්නේ මානුෂීය අයිතියක් හැටියට ය. ශ්‍රී ලංකාව සරණාගතයන් සඳහා පුරවැසිභාවය ලබාදෙන රටක් හෝ ඔවුන් වෙත ස්ථාවර පහසුකම් සපයන රටක් හෝ නොවේ. අප සිදුකරන්නේ මුහුදේ අතරමං වූ සරණාගතයන්ගේ ජීවිත බේරාගෙන ඔවුනට යුරෝපා රාජ්‍යයක අවස්ථාව ලැබෙන තුරු රඳවාගැනීම පමණි.

රොහින්ගියා සරණාගතයන් සොයමින් පහරදීමට එන කණ්ඩායම් අන්තර්ජාතික නීතිය දන්නේ නැත. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති දන්නේ නැත. ඔවුන් රටේ නීතිය දන්නා බවක් ද පෙනෙන්නට නැත. රූපවාහිනී දර්ශනවලින් පෙනී යන්නේ තිරිසන් ලෙස හැසිරෙන පිරිසකි. සරණාගත නිවස්නයේ ගේට්ටුවලට හා දොරවල්වලට පයින් පහරදෙන පිරිස් පරුස බස් දොඩමින් නිවස්නයට ඇතුළු වෙති. ඉනික්බිති ඇතිවන දේවල් අප ලියා තබන්නේ නැත. ඉතා ම අශික්ෂිත වන්නේ ඇතැම් භික්ෂූන්ගේ හැසිරීම ය. පිරිස අතර රට ම පිළිගත් උගත් යැයි සම්මත අය ද සිටියහ. මේවා දකින සැබෑ බෞද්ධයා ශාසනය ගැන කම්පා වෙනු ඇත.

ඇතමකුගේ මතයට අනුව 16 වන සියවසේ දී පමණ දක්නට ලැබුණු ශාසනික පිරිහීම අදත් දකින්නට ලැබේ. සිල්වත් භික්ෂූන් වහන්සේට වඩා ගණින්වහන්සේලා වැඩි බව සමහරු පෙන්වා දෙති. ගණින්වහන්සේ යනු ගිහි කටයුතු සිදුකරමින් ශාසනයෙහි රැ‍ඳෙන්නෝ ය. තවත් කෙනකුගේ මතයට අනුව ශාසනය බේරා ගැනීම සඳහා සංගායනාවක් අවශ්‍ය වේ. එහි අර්ථය වන්නේ සංඝ සමාජය අතර සුභද්‍ර වැනි භික්ෂූන් අධික බව ය. හාත්පස විමැසිල්ලෙන් බලන විට මේවායෙහි සත්‍යතාවක් ඇති බව පෙනෙයි. සමහර භික්ෂූහු අපරාධ හා වංචාවලට සම්බන්ධ වෙති. තව සමහර භික්ෂූහු දේශපාලකයන්ට කඩේ යති. තවත් සමහර භික්ෂූහු අපරාධකාරයන්ගේ දඩ මුදල් ගෙවීම සඳහා පිඩු සිඟා වඩිති. මේ සියල්ලෙන් පෙනී යන්නේ ශාසනයේ බලවත් පිරිහීම ය.

සරණාගත ගැටලුව පාදක කොට ජාතිවාදයත්, ආගම්වාදයත් ඇවිලවීමට උත්සාහ කරන බවක් පෙනෙන්නට තිබේ. ජාතිවාදයෙන් ද, ආගම්වාදයෙන් ද බැට කෑ රටක් හැටියට ශ්‍රී ලංකාව හැඳින්විය හැකි ය. යළි එබඳු තැනකට රට නොයන ලෙසට ක්‍රියා කිරීම පාලකයන්ගේ වගකීම බව කියන්නට පුළුවන. රොහින්ගියා ප්‍රශ්නය යටත් විජිත සමයේ පටන් පවතින හා පසුව මෝරා වැඩුණු අර්බුදයක් සේ සැලැකිය හැකි ය. මියන්මාරය, බංගලිදේශය, එක්සත් ජාතීන්ගේ සංවිධානය හා බලවත් රටවල් එකතු වී මේ ගැටලුවට විසැඳුමක් සෙවිය යුතුය. අන්තර්ජාතික නීතියට අනුව සරණාගතයන් පලවා හැරීමේ අයිතියක් කිසිවකුට නැත. මියන්මාරයේ ආගම්වාදී හා ජාතිවාදී කණ්ඩායම් නිසා ද ගැටලුව උග්‍ර වී ඇත. අප එයට තවත් සාධක සැපයීම නොකළ යුතු ය.

කෙසේ වුව සරණාගතයන්ට පහර දීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතුය. එසේ නොවුණහොත් අපේ යහ පාලනයෙන් පලක් නැත.


අදහස් 1ක් ඇත

dharmayen , arthayen sihiyen bawudda kama pamanak wath apata raka ganna denna, awasarayi, api sangaha rathnaya ta pidum karanne me wiswasayeni!

පිටු

නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...