නපුරුකමට ගමද නගරයද අදාළ නැහැ | දිනමිණ

නපුරුකමට ගමද නගරයද අදාළ නැහැ

ජයනි සේනානායක හීන හොයන සමනල්ලු ඉස්කෝලේ හාමිනේ ගැන කතාබහක...

ඕනෑම කෙනෙකුට එවැනි ප්‍රශ්නයක් නැඟිය හැකියි. ඊට විරුද්ධත්වයත් ප්‍රකාශ කළ හැකියි. ඒත් එවැනි චරිත මේ සමාජයේ ඉන්නවා. අප ඉගෙන ගන්න කාලයෙත් සිටියා. වර්තමානයේදීත් ඒ වගේ චරිත ගැන අපට අසන්නට ලැබෙනවා. දකින්නට ලැබෙනවා. කොහොමත් ඉතාම සංවේදී ප්‍රශ්න ඉදිරියේ සමහර ගුරුවරු හැසිරෙන විදිය දැක්කාට පස්සේ අපේ සිතේ ඇති වෙන්නේ කළකිරීමක්. එවැනි කළකිරීමක් ඇතිවන විදියේ චරිතයකුයි ඉස්කෝලේ හාමිනේ කියන්නේ.

 

 

ඉලුක් මාන අතරින් මතුවන සුදු හැඳගත් ළමුන්ගේ මුහුණුවල ඇත්තේ ප්‍රීතියකි. ඔවුන් අත ඇති පොත් කියාපාන්නේ මේ ඔවුන් යන්නේ පාසලේ අකුරු කිරීමට බව ය. එක් එක් වර්ගයේ මුහුණුවල තිබෙන අවිහිංසක බවට යටින් දිවෙන දඟකාර බවට සාක්ෂි දෙන්නට මෙන් තතනන පන්තියත්, ඔවුන්ගේ දූවිලි තැවරුණු ඇඳුම් ඒ බව අපූරුවට කියාපායි. වගේ වගක් නැතිව එහාමෙහා දුවන සමනල්ලු රෑන සීනුව නාද වීමත් සමඟ දිවයන්නේ වේගයෙනි. සැණෙකින් පොත්ටික තණකොළ ගොල්ල මත දමන ඔවුන්ගෙන් එකකු පොල් ගසකට නඟින්නේ හුරුපුරුදු කාරයකු ලෙසිනි. ඒ අතර ඔත්තු බලන කිහිපදෙනෙකුත්, බිම වැටෙන කුරුම්බා අහුලන අනෙක් අයත් තවත් මොහොතකින් කුරුම්බා බීමට සැරැසුණද එදින නම් අයිතිකරු අතටම හසුවන්නේ ඉබේටම ය. අයිතිකරුට අසුවීම නිසා විඳී කරදර අමතක කළද පාසලේදී සමනලුන් රෑනට එය යළිත් මතකයට නඟන්නේ කරුණාවතී ටීචර් ය. ළමුන්ව පෙළට හිඳුවා වේවැල් කසාය දෙන කරුණාවතී ටිචර්ගේ නපුරු මුහුණ අපේ සිතේ ඇඳීනෑඳී යයි. මේ දවස්වල සාර්ථක ලෙස තිරගත වන රොහාන් පෙරේරාගේ ‘හීන හොයන සමනල්ලු’ චිත්‍රපටයේ එන ඒ නපුරු කරුණාවතී ටීචර්ව අපගේ මතකයෙන්ද පහසුවෙන් අමතක නොවේ. ඒ චරිතයට පණ පොවන ඈ අන් කවුරුත් නොව අපට සිටින දක්ෂ නිළියක වන ජයනි සේනානායක ය.

“කරුණාවතීගේ චරිතයට ළමයින්ගෙන් වගේ ම වැඩිහිටියන්ගෙන් ලැබෙන ප්‍රතිචාරයත් ඒ තරම් සතුටුදායක නැහැ. ඔවුන් මාව මුණ ගැසුණාට පස්සේ පවසන්නේ ‘ඔයා බොහොම නපුරුයි’ කියලයි. කොහොමත් ‘හීන හොයන සමනල්ලු’ චිත්‍රපටය තිරගත වනවිට මට ළමයි බණින බව මා දැනගෙන සිටියා. නපුරු චරිතයක රඟපාලා ‘හරි හොඳයි’ කියලා ඇහුවොත් වැරැදියි. සැබෑ ජීවිතයේදි මා නපුරු චරිතයක් නොවුණත් ඒ ලැබෙන ප්‍රතිචාරවලට මා කැමැතියි. සාර්ථක විදියට ඒ චරිත ස්වභාවය අනෙක් අය හඳුනගෙන තිබෙනවා කියන්නේ මා යම් දුරකට සාර්ථකයි කියන එකයි. ඒ ලැබෙන ප්‍රතිචාරත් සමඟ මා වඩාත් හොඳට චරිතය නිරූපණය කරා කියන සතුට මගේ සිතේ තිබෙනවා.”

ජයනි සේනානායක කරුණාවතීගේ චරිතයත්, සිය රංගන ජීවිතය පිළිබඳත් රෙතුරු හෙළි කළේ මේ ආකාරයෙනි.

* ‘හීන හොයන සමනල්ලු’ චිත්‍රපටය බොහෝදෙනා සලකන්නේ ළමා චිත්‍රපට ගණයටයි. සැබෑවටම එය ළමා චිත්‍රපටයක්ද?

මේ වනවිට ළමා චිත්‍රපට බොහෝ ප්‍රමාණයක් නිර්මාණය වෙමින් යනවා. ඒ අතරින් ‘හීන හොයන සමනල්ලු’ ගැන බොහෝදෙනෙක් කියන අදහසක් අදහසක් වන්නේ ‘හෝ ගානා පොකුණ’ චිත්‍රපටයට පසුව පැමිණි හොඳ ළමා චිත්‍රපටයක් ය යන්න. ඒක බොහොම සීරුමාරුවෙන් කළ යුතු දෙයක්. එවැනි නිර්මාණ හදන්නන් වාලේ හදන්නත් බැහැ. ආවට ගියාට හදන්නත් බැහැ. සියල්ලට ම පෙර වටහා ගෙන සිටිය යුත්තේ ළමා චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ අරමුණ මොකක්ද යන්නයි. ළමයින් වෙනුවෙන්, ළමයින් සඳහා, ඔවුන්ව සිතන්න පොලඹවන, වැඩිහිටියන්ට හැදුව චිත්‍රපටයකුයි ‘හීන හොයන සමනල්ලු’ කියලා කියන්නේ. ඇත්තටම ඒ චිත්‍රපටය ගැන දැනෙන්නේ සතුටක්.

* ‘හීන හොයන සමනල්ලු’ අධ්‍යක්ෂණය කළ රොහාන් පෙරේරා කියලා කියන්නේ අලුත්ම අධ්‍යක්ෂවරයෙක්?

මේ චිත්‍රපටයෙන් පසුවත් මා රොහාන්ගේ නිර්මාණය කළ චිත්‍රපට දෙකකට ම රංගනයෙන් දායක වුණා. ඒ හඳුනා ගැනීම බොහොම වටිනවා. අද වනවිට වැඩ කරන බොහෝ අධ්‍යක්ෂවරුන් නළු - නිළියන් හඳුනා ගන්නෙත් නැහැ. නළු - නිළියන් අධ්‍යක්ෂවරයාව හඳුනා ගන්නෙත් නැහැ. නිර්මාණයකට දායක වුණාට පස්සේ එතැනින් ඒක අවසානයි. ඒ අනුව ඔවුන් එකිනෙකා වටහා ගැනීමක් සිදුවන්නේ නැහැ. එය බොහොම දුර්වලයි. ඒ අතින් රොහාන් හොඳ අධ්‍යක්ෂවරයෙක්. ඔහු සමඟ වැඩ කළ කණ්ඩායමත් සමඟ ඔහු දිගින් දිගටම වැඩ කරනවා. ඒ කියන්නේ ඔහු මේ විෂය හොඳීන් හැඳෑරුව කෙනෙක්. නිෂ්පාදකවරයෙක්. සහෘදයකු විදියට ඉතාමත් හොඳ මනුෂ්‍ය ගතිගුණවලින් පිරුණු මනුස්සයෙක්. ඒ සෑම භූමිකාවකදිම රොහාන් සමඟ වැඩ කිරීමට පහසුයි. රොහාන් කියන්නේ මා වැඩ කරන්න කැමැති අධ්‍යක්ෂවරයෙක්. කාලයකට පස්සේ වැඩ කරන්නට මුණ ගැසුණු හොඳ අධ්‍යක්ෂවරයෙක්.

* අධ්‍යක්ෂවරයා ඔබව ගුරුතුමියගේ චරිතයට තෝරා ගැනෙන්නේ කොහොමද?

මීට පෙර මා රඟපෑ නිර්මාණ රැසක් ම ඔහු නරඹලා තිබුණා. ඒ රඟපෑමත් සමඟයි මේ චරිතය මට ලැබෙන්නේ. චරිතය සඳහා මුලින්ම මට කතා කරන්නේ දමින්ද මඩවලයි. ඒ වනවිට රොහාන් ලංකාවේ සිටියේ නැහැ. ඔහු ගැන සඳහන් කරලා, මේ නිර්මාණය ගැනත් සඳහන් කරලා දමින්ද මට පැවසුමේ මේ චිත්‍රපටයේ එක් චරිතයක් සඳහා මාව තෝරාගෙන තිබෙන බවයි. ඒ ගැන කතා කර ගැනීමට එන්නද කියලත් දමින්ද මගෙන් විමසුවා. ඊට පසුවයි රොහාන් මට කතා කරන්නේ.

* ‘හීන හොයන සමනල්ලු’ චිත්‍රපටයේ තෝරාගෙන තිබුණු රංගන ශිල්පීන් හා ශිල්පිනියන් දෙස විමසුම් සහගතව විමසීමේදී අධ්‍යක්ෂවරයාගේ අදහස ඔබ වටහා ගත්තාද?

අධ්‍යක්ෂවරයාට වුවමනා වී තිබුණේ තමන්ගේ භූමිකාව ඇතුළේ එය සියුම්ව නිරූපණය කරන නළු - නිළියන් පිරිසක් තෝරා ගැනීමටයි. ළමයින් පිරිස තෝරා ගැනීම වුණත් සිදුවුණේ එහෙමයි. ඒ ආශ්‍රිත ප්‍රදේශවල වැඩුණු ළමයින්මයි මේ නිර්මාණයට ඔහු දායක කර ගන්නේ, ඉන් මේ නිර්මාණයේ කිසිවකුත් රඟපෑමක් කරනවාය කියලා දැනෙන්නට ඔහුට වුවමනා වුණේ නොමැති නිසයි. ඒ නිසා ඒ භූමිකාවල සත්‍ය ලෙසම ජීවත් විය හැකි අයයි නළු - නිළියන් විදියට වුණත් ඔහු ‘හීන හොයන සමනල්ලු’ සඳහා තෝරා ගත්තේ. ඒ තෝරා ගැනීම ඇතුළේ මම සිටියා. ඒ ගැන මට සතුටුයි. ඒ වගේ ම ඔහුගේ චරිතයට සාධාරණයක් ඉටු කිරීමට පුළුවන් වුණා කියන හැඟීම මට තිබෙනවා. ඒ නිසාමයි දිගින් දිගටම ඔහුත් සමඟ කටයුතු කිරීමට මට අවස්ථාව ලැබෙන්නේ.

* නපුරු ඉස්කෝලේ හාමිනේගේ චරිතය ඔබ වටහා ගත්තේ කෙසේද?

කරුණාවතී කිව්වාට ඒ චරිතය ඇතුළේ කිසිම කරුණාවක් ඇත්තේ නැහැ. ඈ ඉතාම නපුරු චරිතයක්. ඉතාමත් ආත්මාර්ථකාමී ගුරුවරියක්. පාසලේ දරුවන් ගැන ඈ ඇත්තටම හිතන්නේ නැහැ. ඇගේ දරුවා ගැන පමණයි ඈ නිතරම සිතන්නේ. ඇගේ දරුවා පමණයි ඉගෙන ගන්න ඕන, සැපෙන් ඉන්න ඕන කියලා සිතන, අනෙක් දරුවන් ගැන අබ ඇටේක තරම්වත් සිතන්නේ නැති ගුරුවරියකුයි කරුණාවතී කියන්නේ. ඈ රාජකාරිය හරියට නොකරන, ළමයින්ට ඉතා දරදඬු විදියට දඬුවම් කරන චරිතයක්.

* එවැනි චරිත අද මේ සමාජයේ ජීවත්වනවා දැයි යමෙකුට ප්‍රශ්න කළ හැකියි නේද?

ඔව්. ඕනෑම කෙනෙකුට එවැනි ප්‍රශ්නයක් නැඟිය හැකියි. ඊට විරුද්ධත්වයත් ප්‍රකාශ කළ හැකියි. ඒත් එවැනි චරිත මේ සමාජයේ ඉන්නවා. අප ඉගෙන ගන්න කාලයෙත් සිටියා. වර්තමානයේදීත් ඒ වගේ චරිත ගැන අපට අසන්නට ලැබෙනවා. දකින්නට ලැබෙනවා. කොහොමත් ඉතාම සංවේදී ප්‍රශ්න ඉදිරියේ සමහර ගුරුවරු හැසිරෙන විදිය දැක්කාට පස්සේ අපේ සිතේ ඇති වෙන්නේ කළකිරීමක්. එවැනි කළකිරීමක් ඇතිවන විදියේ චරිතයකුයි නපුරු ඉස්කෝලේ හාමිනේ කියන්නේ.

* සැබෑ ජීවිතයේදී ඔබත් ගමෙන් නගරයට පිවිසෙන්නියක්. නපුරු ඉස්කෝලේ හාමිනේ ලෙස ප්‍රතිනිර්මාණය වන්නේ ගමේ සිටි කාලයේදී ඔබ ලැබූ අත්දැකීමක්ද?

නපුරු කමින් පිරුණු චරිතයකට ගමද නගරයද කියලා අදාළ නැහැ. නපුරු නම් කොහෝ සිටියත් නපුරුම තමයි. මොන පාසලට ගියත් ඇගේ තිබෙන ආත්මාර්ථකාමී බව ඒවා ඈ අරගෙන එන දේවල්. ඒ නිසා මා ආවේ කොහෙන්ද කියන එක ඇතුළේ එවැනි විශේෂයක් මට තිබුණේ නැහැ. මට රචනාවක් ලැබිලා තිබුණා. ඒ ඇතුළේ ඉස්කෝලේ හාමිනේ කොයි වගේද කියන හැඩතල, ගති ස්වභාව තැවරිලා තිබුණා. ඒවා මා හඳුනා ගත්තා. ඊට පස්සේ එය නිරූපණය කළා.

* බොහෝ රංගන ශිල්පීන් හා ශිල්පිනියන් චරිත රඟපෑමේදී ඒ සඳහා උපයෝගී කරගන්නේ සිය අත්දැකීම් හෝ අධ්‍යයනය කිරීමෙන් ලබා ගන්නා බොහෝ දේ බවයි පැවසෙන්නේ. මේ කාරණය ඔබටත් අදාළද?

මෙහෙමයි. පිටපතක් ලැබුණාට පසුව එය කියවමින්, කතාබහ කරමිනුයි අධ්‍යයනයක යෙදෙන්නේ. එහෙම නැතිව වෙනත් අධ්‍යයනයක යෙදෙන්න විදියක් ඇත්තේ නැහැ. ඊට පස්සේ අප ජීවිතයේදී දැක්ක දේවල්, අහන දේවල් හා අපේ ජීවිතයේ තිබෙන දේවලුයි ඒ චරිතවලට ගොනුකර ගන්නේ. චරිතවලට එකතු කරගෙන නිරූපණය කරන්නේ. මේ ඉස්කෝලේ හාමිනේගේ චරිතයට මා එහෙම විශේෂයෙන්ම සූදානම් වීමක් වුණේ නැහැ. පිටපතේ තිබුණ චරිතය මා හොඳීන් කියෙව්වා. බොහෝ වතාවක් කියෙව්වා. ඒ චරිතය කොයි වගේද? චරිතයේ ස්වභාවය කොයිවගේද? කියන එක ගැන මා හැදෑරුවා. දර්ශන තලයේදී අධ්‍යක්ෂවරයා ඉතාම සීරුමාරුවෙන්, සූක්ෂ්ම විදියට විෂය දන්න කෙනෙකු විදියට ඔහුගේ රචනාව ඇතුළේ සිටි නපුරු ඉස්කෝලේ හාමිනේගේ චරිතය මගෙන් අර ගත්තා. අධ්‍යක්ෂවරයා පිටපතේ ලියන්නේ ඔහුගේ මනසේ ඇඳෙන කෙනෙක්ව විය යුතුයි. එයට මගේ ළඟ තිබෙන දේවල් එකතු කළාට පස්සේ ඉතාමත් සාර්ථක ඉස්කෝලේ හාමිනේ කෙනෙකු බිහිවුණා.

* ඉස්කෝලෙ හාමිනේ ළමයින්ට දෙන දඬුවම් මනා ආකාරයෙන් චිත්‍රපටයේදී නිරූපණය වෙනවා. එවැනි දඬුවම් දීම ඔබට පහසු වුණාද?

ඒවා ඉතාම සංවේදී දර්ශනයි. ඒ සමහර දර්ශන මට ම දරා ගන්නට බැරි වුණා. ඒත් ඒ වේවැලෙන් ගහන දර්ශන ගැනීමේදී වෙනස් ක්‍රමවේදයක් අධ්‍යක්ෂවරයා භාවිත කළා. ළමයින්ව ආවරණය කරමිනුයි ඒ කටයුත්ත සිදුවුණේ. එහෙම වුණත් ඒ තරම් දරදඬු විදියට වේවැලකින් ගහන එක කාන්තාවක් විදියට මට බොහොම අපහසු වුණා. එහිදී ඉතා අමානුෂික විදියේ පහරදීමකුයි සිදුවන්නේ. ඒ ඉස්කෝලේ හාමිනේ කළත් පහර දිය යුත්තේ මා විසින්. ඒ වුණත් කරන්න දෙයක් නැහැ. මා චරිතය රඟපෑ යුතුයි. එක් අවස්ථාවකදි දරා ගන්න ම බැරි මොහොතක් උදා වුණා. ඒ කුරුම්බා කඩලා අසුවන දර්ශනයේදී ඉස්කෝලේ හාමිනේ ළමයින් සියලු දෙනාට ම හොඳටම වේවැලෙන් ගහනවා. ඒ දර්ශනය මගේ ජීවිතයේ මට කිසිම දවසක අමතක වෙන්නේ නැහැ. ඒක මට දරා ගන්න බැරිවුණ නිසා මා හොඳටම ඇඬුවා. ඒ සියලු දේ මා බෙදා ගත්තේ උමාලිත් එක්කයි.

* ‘හීන හොයන සමනල්ලු’ චිත්‍රපටයේ ළමයින් රැසක් රඟපානවා. ඔබ ඔවුන් සමඟ ගත කළ කාලය මොන වගේද?

ළමා චිත්‍රපට රැසක ම මා රඟපාලා තිබෙනවා. ‘සූරිය අරණ’, ‘බින්දු’, ‘සිරිපැරකුම්’, ‘හෝ ගානා පොකුණ’ කියන චිත්‍රපටවලදි මා ළමයින් රැසක් සමඟ කටයුතු කළා. මේ දවස්වලත් මා ළමා ටෙලි නාට්‍යයකටත් රංගනයෙන් දායක වෙනවා. ඔවුන් සමඟ කටයුතු කිරීමේදි වෙනස් ම ප්‍රබෝධයකුයි සිතට දැනෙන්නේ. එක දරුවකු දවස් දෙකක් එකම දේ කරන්නේ නැහැ. ඔවුන්ගේ තිබෙන්නේ වෙනස් ම ක්‍රියාකාරකම්. වෙනස්ම ප්‍රතිචාරයි ඔවුන් දක්වන්නේ. ඔවුන් බොහොම නිර්ව්‍යාජයි. ඒත් සමහර වෙලාවලදි අපටත් වඩා කපටියි කියලා සිතෙන වෙලාවල් තිබෙනවා. ඒ වුණත් ඔවුන් අහිංසකයි කියලා හිතනවා. ඔවුන් අපව වෙනම ලෝකයකට අරගෙන යනවා. ඒ නිසා මම නම් ළමයින් එක්ක වැඩ කරන්න බොහොම කැමැතියි.

* දුෂ්කර පළාත්වලයි මෙහි රූගත කිරීම් සිදුවන්නේ. ඒ දුෂ්කර බව ඔබට දුෂ්කරද?

මෙහි රූගත කිරීම් සිදුවුණේ දුෂ්කර පළාතක තමයි. ඒ දුෂ්කරතාව අප විඳීය යුතුයි. නිර්මාණ කිරීමේදී එවැනි දුෂ්කරතාවලට නළු - නිළියන්ට මුහුණ දිය යුතු ම වෙනවා. ඒක සාමාන්‍ය කාරණයක්. අව්වේ පිච්චීම, වැස්සේ තේමීම ආදී නොයෙක් ගැහැට විඳීම ඇතුළේයි සාර්ථකත්වය රඳා පවතින්නේ. මම නම් එවැනි දුෂ්කර පළාත්වල දුෂ්කරතා විඳීමින් වැඩ කරන්න කැමැතියි. එවිටයි වැඩ කරන බවවත් හැඟෙන්නේ.

* මේ දවස්වල බොහොම කාර්යබහුල බවයි හැඟෙන්නේ?

එකක් මගේ හඬ කැවීම් කටයුතු නිසා මා ගොඩක් කාර්යබහුලයි. හිරු රූපවාහිනියේ ‘ආදර මායාව’ ටෙලි නාට්‍යයේ රෝහිනිගේ චරිතයටත්, සිරස රූපවාහිනියේ ‘මේ ආදරයයි’ ටෙලි නාට්‍යයේ ඉෂිතාගේ මවගේ චරිතයටත් මා කටහඬෙන් දායකත්වය දක්වනවා. ඊට අමතරව ටෙලි නාට්‍ය තුනක රූගත කිරීම් සිදුවෙනවා. ඒ ‘රැජිනියෝ’, ‘රතුපිච්ච’, ‘සූරිය නෑයෝ’ කියන නිර්මාණවල. ප්‍රධානම වැඩේ වන්නේ ඉනෝකා සත්‍යාංගනීගේ අලුත්ම චිත්‍රපටයේ රූගත කිරීම් සමඟ කාලය ගත කිරීමයි. රොහාන්ගේ අලුත් ම චිත්‍රපටයේ රූගත කිරීම් ඉදිරි දිනයකදි ආරම්භ කරාවි.

* පසුගිය කාලයේ ඔබ වේදිකාවේ දකින්නට ලැබුණේ නැහැ. ටෙලි නාට්‍ය හා සිනමාව නිසා වේදිකාව අමතක කරලද?

පසුගිය කාලයේ මා වේදිකාවේ රඟපෑම් කටයුතුවලින් ඉවත්වයි කාලය ගතකළේ. ඒ මගේ පෞද්ගලික කටයුතු සඳහායි මා තරමක් කාලයක් ඉන් ඉවත්ව සිටියේ. නැවතත් මා ජනවාරි මාසයේ වේදිකා නාට්‍ය දෙකක රඟපෑම් කටයුතු අරඹනවා. එවිට නම් මීටත් වඩා මා කාර්යබහුල වේවි.

* වේදිකාවෙන් පැමිණි ඔබ අද වනවිට පුංචි තිරයත්, සිනමාවත් තරණය කළ රංගන ශිල්පිනියක්. මේ ත්‍රිත්වයෙන් ඔබ වඩාත් ආදරය දක්වන්නේ කුමන මාධ්‍යකටද?

මගේ වගකීම් රඟපෑමයි. ඒත් වර්තමානයේ ටෙලි නාට්‍ය කෙරෙන විදිය දැක්කාට පස්සේ ඒ නිර්මාණවලට දායක වීමට සිතෙන්නේ නැහැ. හොඳ අධ්‍යක්ෂවරයකුගේ හෝ නිෂ්පාදකවරයකුගේ නිර්මාණයකට දායක වනවා ඇරෙන්න වෙනත් නිර්මාණවලට මා දායක වන්නේ නැහැ. ඒ ඒ නිර්මාණවල වැඩ කටයුතු කෙරෙන විදිය දැක්කට පස්සේ අපේ සිතේ ඇති වන්නේ කළකිරීමක්. ඒ නිසා මේ මොහොත වනවිට මා ටෙලි නාට්‍යවල රඟපාන්න කැමැති නැහැ. මා මෙසේ පවසන්නේ හැමෝගැනම නොවෙයි. වේදිකාව හා සිනමාව කියන ක්ෂේත්‍ර දෙකටම මා එක වගේ ආදරෙයි.

* මෑත කාලයේ ඔබ සිනමාව සඳහා ලබාදුන් රංගන දායකත්වය පෙරට වඩා වැඩි බවයි අපට සිතෙන්නේ?

ඔව්. වැඩි දායකත්වයක් සිනමාවට ලබාදීමට මට හැකිවුණත් මට ලැබුණු ආරාධනාවලින් හොඳම නිර්මාණ කිහිපයක්ම වගේ මඟ හැරුණා. එලෙස මා වැඩ කිරීමට කැමැත්තෙන් සිටි නිර්මාණ හතරකුයි මට මඟ හැරුණේ. ඒ මගේ පෞද්ගලික කටයුතු කිහිපයක් නිසයි එලෙස සිදුවුණේ. ඉදිරියේදි තවත් එවැනි නිර්මාණ සඳහා මට ආරාධනා ලැබේවි.

* වෘත්තිය රංගන ශිල්පිනියක් වීම ඇතුළේ සෑම නිර්මාණයකටම දායක වීමට සිදුවීම සුලබව දකින්නට ලැබෙන කාරණයක්. මේ කාරණය ඔබට පොදු කාරණයක් නොවේද?

වෘත්තිය රංගන ශිල්පිනියක් වීම මට නම් හොඳයි. මට ලැබෙන සෑම නිර්මාණයකට ම මා දායකත්වය දක්වන්නේ නැහැ. ඒ සඳහා අපේ කාලයත් වෙන්කරගෙන, පෞද්ගලික කටයුතුත් කරගෙනයි නිර්මාණවලට දායකත්වය දක්වන්නේ. ඉතාමත් රසවත් රැකියාවකුයි රංගනය කියන්නේ. වෙනස් වෙනස් විදියේ චරිත රඟපෑමට ලැබෙන, සමාජයේ විවිධ විවිධ පුද්ගලයන් බවට තාවකාලිකව පරිවර්තනය වීමට ලැබෙන අවස්ථාවක් මේක ඇතුළේ තිබෙනවා. ඒ නිසා මේ රැකියාව බොහොම රසවත්. තව එක තත්පරයක්වත් වැඩිපුර ජීවත් වීමට පුංචි පාරක් හදන රැකියාවකුයි රංගනය කියන්නේ. ඒ නිසා මා මේ වෘත්තියට කැමැතියි. අනෙක් කාරණය සමාජයේ ආදරයට, ගෞරවයට පත්වන රැකියාවක්. ඒ ගෞරවය වර්තමාන පරම්පරාවේ ඇතැම් අය හා යම් යම් හේතු නිසා, යම් යම් ක්‍රියාකාරකම් නිසා එය නැති කරගෙන ඉන්නවා. එහෙම නැතුව ගත්තොත් ඉතා ආදරයෙන්, වගකීමේන්, පරිස්සමෙන් වැඩ කරනවා නම් ඉතාම සතුටින් වැඩ කරන්න පුළුවන් වෘත්තියකුයි රංගනය කියන්නේ.

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...