මහනුවර හෘද ස්පන්ධනය! | දිනමිණ

මහනුවර හෘද ස්පන්ධනය!

 අපේ සිත් හා දෑස් යළිත් මහනුවර මහ රෝහල වෙත යොමු වී තිබේ. එහි හෘද සැත්කම් ඒකකයේ පසුවන සචිනී සෙව්වන්දිගේ හෘද ස්පන්ධනය අපටත් දැනෙන්නා සේ ය. ඇය ජීවත් කරවීම සඳහා වූ හදවත් බද්ධ කිරීමේ සැත්කම සාර්ථක ව නිමා වී ඇත. ඇගේ සෞඛ්‍යය පිළිබඳ වාර්තාව තව පැය කිහිපයකින් නිකුත්වීමට නියමිත ය. එය අතිශයින් සුබදායක එකක් වනු ඇත. සචිනී සෙව්වන්දී මීට සතියකට පමණ පෙර රටේ ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් විය. ශ්‍රී ලංකාවේ සිදුවීමට නියමිත ව තිබූ දෙවන හදවත් බද්ධයේ ප්‍රධාන චරිතය ඇය වූ අතර සැත්කමට සියල්ල සූදානම් ව තිබිය දී හදිසි කාරණයක් මත එය නැවතිණි.

එදා පුවත්පත් සිද්ධිය වාර්තා කර තිබුණේ සොයාගත් හදවත ද මරණයට පත් කරමින් හා සචිනී නම් තරුණියගේ ජීවිතය අවදානමට තල්ලු කරමින් හදවත් බද්ධය නතර වූ බවය. එය වෛද්‍යවරුන් අතර ඇති වූ මතභේදාත්මක තත්ත්වයක් මත සිදුවූ බවද, රෝහලේ උපකරණවල තත්ත්වයක් මත සිදු වූ බවද, වෛද්‍ය කණ්ඩායම්වල කීර්තිනාමය පිළිබඳ ප්‍රශ්නයක් මත සිදු වූ බවද කියැවිණි. කුමක් වුව රෝගී තරුණියගේ හදවතේ ක්‍රියාකාරිත්වය 10% මට්ටමේ රැඳී තිබිණි. මෙවැනි රෝගියකුගේ ජීවිතය ඇත්තේ බලවත් අවදානමක ය. සචිනී ජීවිතයත් - මරණයත් අතර සටනක සිටියේ යැයි කියන්නට පුළුවන. දැන් ඇයට යළිත් ජීවිතය ගැන බලාපොරොත්තු තබා ගත හැකි ය.

මේ සිද්ධිය දෙස ආපසු හැරී බලන විට මහනුවර මහ රෝහලේ වෛද්‍යවරුන් වෙත අපගේ කෘතඥතාව පළ විය යුතුය. මතභේද හා අඩුපාඩු ගැන නොසලකා රෝගීන්ගේ ජීවිත ගැන සිතන්නට වෛද්‍යවරුන් පෙලැඹී ඇතැ’යි සිතන්නට පුළුවන. එය ග්‍රීසියේ හිපොකැට්‍රික් පඬිවරයාගේ රීතිය ලෙස ද මහාභාරතයේ සුශ්‍රැත පඬිවරයාගේ න්‍යාය ලෙස ද සැලැකිය හැකි ය. ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් නරක නැත. මේ වෘත්තිකයන් අයහපත් තීන්දු හා තීරණ වෙත යන්නේ දේශපාලනය නිසා යැයි සිතන්නට පුළුවන. වෘත්තීය අයිතිවාසිකම් ඉල්ලා සිටීමේදී ද වෛද්‍යවරුන් සිය ආචාර ධර්ම ඉක්මවා යන්නේ යැයි කියන්නට පුළුවන. කෙසේ වුව එය වෙන ම ප්‍රශ්නයක් ලෙස සැලැකිය හැකි ය.

සචිනී සෙව්වන්දිගේ සිද්ධියේ දී ඇයගේ පියා මානුෂික අයිතිවාසිකම් යටතේ නීතිය ඉදිරියට යෑමට පවා සූදානමින් සිටියේ ය. එය ඔහුගේ අයිතියකි. මිනිස් ජීවිතයක පැවැත්මට ඇති අයිතිය වෙනුවෙන් සටන් කළ හැකි ය. ඊට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් කර ඇති බව ද, වෛද්‍යවරුනගේ ඉල්ලීම මත ඇතැම් අඩුපාඩු සම්පූර්ණ කර දී ඇති බව ද වාර්තා වී ඇත. සෞඛ්‍ය ඇමැතිවරයාට මේ සම්බන්ධයෙන් ස්තූතිය පළ කළ යුතුය. එහෙත් 19 වන දා සැත්කම සිදු නොවූයේ මන් ද යන ප්‍රශ්නය එතැනින් නිමාවකට පත්වන්නේ නැත.

19 වන දා සැත්කම සිදු නොවූයේ එක් වෛද්‍ය කණ්ඩායමක් ඊට අකමැත්ත පළ කළ නිසා බව කියති. රෝහලේ උපකරණවල පැවැති අඩුපාඩුවක් මත රෝගියාගේ ජීවිත වගකීම තමන්ට භාරගත නොහැකි යැයි එම කණ්ඩායම කියා ඇත. මෙහිදී ප්‍රශ්නයක් මතු වන්නේ ශ්‍රී ලංකාවේ පළමු හදවත් බද්ධය සිදු වූයේද මහනුවර මහ රෝහලේ පරණ උපකරණවලින් වීම ය. එදා එම සැත්කම සිදු කළේ ද මේ වෛද්‍යවරුන්ම ය. හදිසියේ උපකරණවල දෝෂයක් මතු වූයේ කෙසේ ද? එය දන්නේ වෛද්‍යවරුන්ම පමණි. කෙසේ වුව උපකරණවල අඩුපාඩු සපයා දීමට අමාත්‍යාංශය ඉදිරිපත් වී ඇත. ඒ අනුව සචිනී සෙව්වන්දිගේ සැත්කම ද සිදු වී තිබේ.

මහනුවර මහ රෝහල ගැන ද වචනයක් කීම සාධාරණ ය. මේ රෝහල මධ්‍යම පළාතට පමණක් නොව තවත් පළාත් ගණනාවකට සේවය සපයන ප්‍රසාදජනක ආයතනයකි. හදවත් රෝග, පිළිකා, වකුගඩු රෝග සම්බන්ධයෙන් රටේ ජනතාවට සුවිශාල සේවයක් සපයන මහජන ආයතනයක් ලෙස මහනුවර මහ රෝහල හැඳින්විය හැකි ය. එහෙත් මේ රෝහල තව ම ශික්ෂණ රෝහලක් බවට පත් කර නැත. මේ සම්බන්ධයෙන් සොයා බලා සුදුසු තීරණයක් ගැනීම බලධාරීන්ගේ යුතුකම ය.

මේ රෝහලට අයත් භූමිය පමණක් අක්කර 56ක් ලෙස සඳහන් වේ. එහෙත් අද ඒ භූමිය අක්කර 16 කට සීමා වී ඇත. ඉතිරි භූමි භාගය අනවසර පදිංචිකරුවන් විසින් අල්ලාගෙන තිබේ. මේ ප්‍රදේශයට වගකියන දේශපාලකයන් ඒ ගැන කතා කරන බවක් පෙනෙන්නට නැත. රෝහල් ඇතැම් අංශවලට ඉඩකඩ මදි ය. තවත් අංශවලට නවීන පහසුකම් නැත. ‍ෙම් රෝහල වසරකට පිළිකා රෝගීන් 4000ක් පමණ හඳුනාගන්නා අතර නේවාසික ව ප්‍රතිකාර කළ හැක්කේ සුළු පිරිසකට පමණි. වකුගඩු හා හදවත් රෝගීන්ගේ තත්ත්වය ද ඊට වඩා වෙනස් නැත. මහනුවර මහ රෝහල සඳහා තවත් පහසුකම් ඇති කළ යුතු බව අවිවාදිත ය.

හදවත් රෝගීන් සඳහා වූ ඒකකය මේ අතරින් ප්‍රධාන ය. ශ්‍රී ලංකාවේ බහුල ව දැකිය හැකි රෝගය ලෙස ද එය දැක්විය හැකි යය් දියුණු රටවල හදවත් රෝගීන්ගේ ගණන ක්‍රමයෙන් පහළට යන අතර ශ්‍රී ලංකාව, ඉන්දියාව, තායිලන්තය වැනි රටවල හදවත් රෝගීන්ගේ ගණන ශීඝ්‍රයෙන් ඉහළ යන බව වාර්තා වී ඇත. ශ්‍රී ලංකාවේ සෑම හතර දෙ‍නකුගෙන් එක් අයකුට අධි රුධිර පීඩන තත්ත්වයක් ඇති බව හෙළිදරව් වී ඇත. මේ අයගෙන් 50% ක් පමණ ම කිසිදු ප්‍රතිකාරයක් නොගන්නා අතර හිටි හැටියේ හෘදයාබාධ වැලඳී මිය යති. මේ තත්ත්වය වෙනස් කිරීමට නම්; ශ්‍රී ලංකාවේ පොදු වෛද්‍ය සේවය දියුණු කළ යුතුය. වඩාත් පැහැදිලිව කිවහොත් අපේ රෝහල්වල හෘද රෝග ඒකක දියුණු කළ යුතු ය.

අපට ලැබී ඇති වාර්තාවලට අනුව වසරකට හදවත් රෝගීහු 8000 – 10,000 අතර ප්‍රමාණයක් සැත්කම් සඳහා පෝලිමේ සිටිති. ඒ රජයේ රෝහලෙන් තමන්ගේ වාරය පැමිණෙන තෙක් ය. රටේ සිදුවන හෘද සැත්කම්වලින් අඩකට වැඩි ප්‍රමාණයක් සිදුවන්නේ පෞද්ගලික රෝහල්වලින් බව ද වාර්තා වී ඇත. මීට හේතුව රජයේ රෝහල්වල සැත්කම්වලට අවශ්‍ය නවීන පහසුකම් නොතිබීම ය. මේ තත්ත්වය අපේ බලධාරීන්ගේ අවධානයට ලක්විය යුතුය. හදවත් සැත්කම් සඳහා උපකාර කිරීමට අරමුදල් පවා ආරම්භ කර ඇති බව නොයෙක් තැන්වලින් වාර්තා වෙයි. මේ සියල්ලෙන් පෙනී යන්නේ හදවත් රෝග සම්බන්ධයෙන් අප මීට වඩා උනන්දු විය යුතු බව ය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...