ගෝල­ය­න්ගෙන් ගුරු­වරු ඉගෙන ගැනීම | දිනමිණ

ගෝල­ය­න්ගෙන් ගුරු­වරු ඉගෙන ගැනීම

 මහා­නාම දුනු­මාල

ගුරුතුමියගේ කාලසටහනේ සතරවන හා පස්වන කාල පරිච්ඡේදවල පන්තියක් සටහන්ව තිබුණේ නැත. බොහෝ දවස්වලට මෙවැනි කාල පරිච්ඡේද සඳහා ගුරුවරයකු නොපැමිණි පන්තියක වැඩ ආවරණය කරන්නැයි දැන්වෙන තුණ්ඩුවක් ලැබෙයි. පාසල් පරිපාලනය කාරුණික වීම නිසාදෝ එදා එවැන්නක් ලැබුණේ ද නැත. ඉතින් ගුරුවරිය පාසලේ මඳක් හෝ නිස්කලංක තැනකට ගියේ ඇගේ උසස් පෙළ පන්තියේ රචනා කියවා නිවැරදි කිරීම පිණිස ය.

ඇගේ පන්තියේ දක්ෂ ශිෂ්‍යාවකගේ රචනයේ මෙවන් වැකියක් තිබිණි.

“මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ භාෂා පටුත්වය ඔහුගේ නිර්මාණාත්මක ලේඛනවලට ලබා දුන්නේ ඉමහත් ආලෝකයකි.”

ගුරුවරිය සිය දැනුම් කෝෂයෙන් ලබා දුන් කිසියම් සංඥාවකට අනුව වහාම ‘භාෂා පටුත්වය’ යන වචනයට යටින් රතු පෑනෙන් ඉරක් ඇන්දා ය. වාක්‍ය ඉදිරියෙන් රතු පැහැති ප්‍රශ්නාර්ථ ලකුණක් ද යෙදුවා ය. ශිෂ්‍යාවගේ රචනයට ලැබිය යුතු ලකුණින් ලකුණු දෙකක් ද අඩු කළා ය.

රචනාව අත පත් විගස ශිෂ්‍යාව ‘පටුත්වය’ යන්නට රතු ඉරි ඇඳීම පිළිබඳව ගුරුවරිය වෙතින් විමසා සිටියා ය.

“ඇයි දරුවෝ පටු කියන්නෙ පුළුල් කියන වචනයේ විරුද්ධ පදය. මාර්ටින් වික්‍රමසිංහ කියන්නෙ භාෂාව පිළිබඳව පුළුල් දැනුමක් තිබුණු කෙනෙක් මිසක් පටු දැනුමක් තිබුණු කෙනෙක් නොවෙයි කියන්න ඔයා දන්නෙ නැද්ද?” ගුරුතුමිය ඇගේ ස්ථාවරත්වය ගෙන හැර පෑවා ය. ශිෂ්‍යාවට ද ඇය කියවා දැන සිටි දේ අනුව ගුරුවරියට එකඟ වීම අසීරු විය. එහෙත් ගුරුවරිය හා තර්ක කරන්නට යන්නට ද ඇය අකැමැති වූවා ය. ඒත් ඈ මෙසේ ඇසුවා ය. “පටු කියන වචනයට වඩා වෙනස් අර්ථයක් නේද ටීච(ර්) පටුත්වය කියන වචනයෙන් ලැබෙන්නෙ.” එහෙත් ගුරුවරිය සිය ශිෂ්‍යාවගේ තර්කයට සවන් දෙන්නට සූදානම් නොවූවා ය. “ළමයො ඔයා ඉන්නෙ වැරදි මතයක. කවුරු හරි ඔයාට වැරදි දෙයක් කියල දීල. අනුමානයක් නෑ. ඔයා යන ටියුෂන් පන්තියකින් වෙන්නැති. පටුත්වය කියන්නෙ පටු කියන වචනය ආශ්‍රයෙන් හැදෙන පදයක්. මින් පස්සෙ වැරදි තේරුම් යෙදෙන වචන යොදන්න එපා.” ගුරුතුමිය සිය සිසුවියට අවවාද කළා ය.

අධිනීතිඥ ‘හරිශ්චන්ද්‍ර විජයතුංග’ සම්පාදනය කළ ‘ප්‍රායෝගික සිංහල ශබ්ද කෝෂය’ (ප්‍රකාශනය- සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය) පටුත්වය යන පදයට දක්ෂතාව, නිපුණත්වය යන අර්ථ සපයයි. ‘සිරි ලියනගේ’ විසින් සම්පාදිත ‘නිරුක්ති සහිත සිංහල ශබ්ද කෝෂය’ පටුත්වය යන වදන සංස්කෘත පටුත්ව යන වචනයෙන් නිපන් බව දක්වමින් යම් කරුණක් ගැන පැතුරුණු දැනුම, ව්‍යක්ත බව, චාතුර්ය, ප්‍රවීණත්වය යන අරුත් සපයයි.

ශබ්ද කෝෂ අර්ථ දැක්වීම් අනුව සලකන කළ වුව ශිෂ්‍යාව ලියූ වැකිය සම්බන්ධයෙන් ගුරුවරිය දැරූ ස්ථාවරත්වය දෝෂ සහගත බව පෙනී යයි. ගුරුවරියකට හෝ ගුරුවරයකුට වැරදිය හැකි ය. ඊට එහා දැනුමකින් යුතු යයි සමාජය තුළ ප්‍රකට පඬිවරයකුට වුව වැරදීම් සිදු විය හැක. මන්ද වැරදීම යනු මිනිස් ගතියක් ය යන්න සනාතන සත්‍යයක් සේ පිළිගැනෙන්නකි.

ඇතැම් ගුරුවරු ශිෂ්‍යයන් විමසන කරුණක් තමන් හරිහැටි නොදන්නා බව කියන්නට මැළි වෙත්. එයට තම ගර්වයට කැළලක් සේ උහු සලකත්. කිසියම් පහසු යයි සිතෙන කරුණක් වුව ගුරුවරයකුට තබා මහා ප්‍රාඥයකුට වුව අමතක විය හැක. නැත්නම් තමන් ඉදිරිපත් කරන පිළිතුර නිවැරදි ද යන සැකය ඇතිවිය හැක. එවන් අවස්ථාවක දී සුදුසු ම දෙය පිළිතුර දෙන්නට කල් ඉල්ලා ගෙන සොයා බලා පිළිතුර සැපයීමයි. එයින් පිළිතුර දෙන්නාගේ ගෞරවය රැකෙන අතර, පිළිතුර ලබන්නා නිවැරදි දැනුම ලබා ගනී. කොහොමටත් සාගරයක් සේ පුළුල් භාෂාවක එන වචන සමුදාය මතක තබා ගැන්ම අසීරු ය. අමතක වීම්, වැරදීම් සිදුවිය හැක. අධ්‍යයනයෙන් හා සොයා බැලීමෙන් කියාදීම වැදගත් ය. කිසියම් අයෙක් නොදන්නා දෙයක් විමසන විට දයාවෙන් කියාදීමේ ගුණය ද පුද්ගලයකු සතු විය යුතු ය.

සමාන නම් ආදිය ද බොහෝ තැන්වලදී පැටලෙයි. ඇල්බට් අයින්ස්ටයින් සමඟ සර්ජි අයිසෙන්ස්ටයින් පැටලෙයි. කලකට පෙර මා ද සභාවේ සිටි විවාදයක දී ශිෂ්‍යයෙක් කිසියම් කරුණක් සනාථ කරන්නට ‘සර්ජි අයිසන්ස්ටයින්’ යන නම භාවිත කළේ ය. විවාදය අවසානයේ දී ලකුණු ලබා දුන් ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමක් කළ ගුරුවරයා මෙසේ කීය. “නම් වැරදි විදිහට භාවිත කරන්න එපා. එක ළමයෙක් මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් ගේ නම ඇල්බට් වෙනුවට සර්ජි කියලා කීවා. අපි ඒ වගේ තැන්වලදි ලකුණු අඩු කළා.”

සත්‍යය නම් වැරදී තිබුණේ ළමයාට නොව විනිශ්චය මණ්ඩලයේ ප්‍රධාන ගුරුවරයාට ය. ශිෂ්‍යයා ඇල්බට් අයින්ස්ටයින් ගැන සඳහන් නොකළේ ය. ඔහු කීවේ සර්ජි අයිසන්ස්ටයින් ගැන ය. සර්ජි අයිසන්ස්ටයින් යනු ලෝක සිනමාවේ පතාක යෝධයකු වූ රුසියන් ජාතික සිනමාකරුවෙකි. සිනමාව සඳහා සමෝධාන රීතිය (montage theory) ප්‍රායෝගිකව භාවිත කළේ ඔහු ය. (සිනමාවේදී පළමුවන රූපය දෙවන රූපය හා සම්බන්ධ වන විට ඒ දෙකට ම සම්බන්ධයක් නැති තුන්වන රූපයක් ප්‍රේක්ෂක මනස් තුළ ජනිත වීම සමෝධානයයි.)

මේ සියල්ල කීවේ අනාගත පරම්පරාව සමඟ ගනුදෙනු කරන අය අතිශයින් ප්‍රවේසම් සහගත විය හැකි බව පෙන්වා දෙන්නට ය. ප්‍රජාවක් වශයෙන් වැඩිහිටි සන්නිවේදක පිරිස්වල වගකීම ගැන මතක් කිරීමක් කරන්නට ය. 

නව අදහස දක්වන්න