හිංචි පිංචි ඩ්‍රයිවර්ලා | දිනමිණ

හිංචි පිංචි ඩ්‍රයිවර්ලා

 මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව මේ මොහොතේ රටට අතිශයින්ම වැදගත් තීරණයක් ගැනීමට යයි. එනම්; වයස අවුරුදු දහඅටෙන් පහළ දරුවන් වාහන පදවන්නේ නම්; ඒ සම්බන්ධයෙන් මාපියන්ට හෝ භාරකරුවන්ට හෝ දඬුවම් ලබාදීම සඳහා නව නීති සම්පාදනය කිරීම ය. මීට අදාළ තොරතුරු හා නෛතික ප්‍රතිපාදන සම්බන්ධයෙන් සෙවිල්ලක් මේ වනවිට ද සිදුකර ඇතැ’යි එම සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා ප්‍රකාශ කර ඇත. මෙබඳු තීන්දුවක් ගැනීමට හේතුව ලෙස දක්වා ඇත්තේ බාලවයස්කාරයන් රථවාහන පදවා බහුල ලෙසින් අනතුරු ඇතිකර තිබෙන බැවින් ය. බාලවයස්කාරයන් වාහන පැදවීම එක්තරා මෝස්තරයක් බවටද පත්ව තිබේ.

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට සාමාර්ථ නමයක් ලබාගත් දරුවකුට පියා ලබා දුන් ත්‍යාගය වූයේ අලුත්ම මෝටර් බයිසිකලයකි. දරුවා ඉතා ආදරයෙන් එය භාරගත් අතර සතියක් යෑමට පෙර මෝටර් බයිසිකල් අනතුරකින් ඔහු මිය ගියේ ය. හොඳින් කරුණු විමසා බැලුවහොත් ඒ දක්ෂ දරුවා මරණයට පත් වූයේ තාත්තා නිසා ය. බාලවයස්කාරයන් වාහන පැදවීම හැම අතකින් ම අනතුරුදායක ය. එක අතෙකින් එවැනි අයට හොඳ පුහුණුවක් නැත. තව අතෙකින් රියදුරු බලපත්‍රයක් නැත. තවත් අතෙකින් හදිසි අවස්ථාවක දී තීන්දු - තීරණ ගැනීමේ හැකියාවක් ද දරුවකුට නැත. මේ සියල්ලෙන් ම පෙනී යන්නේ බාලවයස්කාරයන් වාහන පැදවීම නො කළ යුතු බව ය.

වැඩිහිටියකුගේ අනුග්‍රහයකින් තොරව බාලවයස්කාරයන්ට වාහන පැදවීමට අවස්ථාවක් ලැබෙන්නේ නැත. සමහර මාපියෝ තම දරුවන් වාහන පදවනු දැක තෘප්තියක් ලබති. එය වීර ක්‍රියාවක් ලෙස දකින්නට ඇතැම්හූ පෙලැඹී සිටිති. ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන දරුවන් පවා වාහන පදවාගෙන යනු අප දැක තිබේ. ඒවාට වගකිව යුත්තෝ මාපියෝ ය. සමහර දරුවන්ට ඉදිරිය පෙනෙන්නේ නැත. ඒ උස මදිකම නිසා ය. තව දරුවන්ගේ පාද තිරිංග තද කිරීමට තරම් දිග නැත. තවත් දරුවන් රියදුරු අසුනේ වාඩි වූ පසු රියදුරකු නැති වාහනයක් සේ එය දිස්වෙයි. කොටින්ම මේ දරුවන් මාර්ග නීති කිසිවක් දන්නේ නැත. ඉතින් රිය පදවන්නේ කෙසේ ද? බාලවයස්කාරයන් රිය පැදවීම නිසා වෙනත් රියැදුරෝද අපහසුවට පත් වෙති.

ශ්‍රී ලංකාව යනු රථවාහන අනතුරු බහුල රාජ්‍යයෙකි. දිනකට මේ කුඩා දිවයින තුළ මාරක රිය අනතුරු පහක් හෝ හතක් හෝ සිදුවන බව වාර්තා වී ඇත. මෑතක දී රථවාහන සම්බන්ධ වැරදිවලට අදාළ දඩ මුදල් වැඩි කිරීමට රජය තීරණය කර ඇත්තේ ද අනතුරු ප්‍රමාණය දිනෙන් දින වැඩිවන නිසා ය. රියදුරු බලපත්‍රයක් නැතිව රිය පැදවීමට රුපියල් විසිපන් දහසක දඩයක් ගසනු ලැබේ. ඒ අනුව බාලවයස්කාරයකුට ද එම නීතිය වලංගු විය යුතු ය. අවුරුදු දහඅටට අඩු කෙනෙකුට රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට ඉල්ලුම් කළ නොහැකිය. ඒ අනුව බාලවයස්කාරයකුට රථවාහන ලබාදීම ද වරදකි. එම වරද සිදුකරන්නෝ වැඩිහිටියෝ ය. ඉහත නීතිය සම්මත කරගැනීම හැම අතකින් ම යුක්ති සහගත යැයි කියන්නට පුළුවන.

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ තොරතුරුවලට අනුව ද, රථවාහන පොලිසියේ තොරතුරුවලට ද අනුව ශ්‍රී ලංකාවේ යතුරුපැදි අනතුරු ප්‍රමාණය ඉහළ ය. එක අතෙකින් රටේ මාර්ගවලට ඔරොත්තු නො දෙන තරම් යතුරුපැදි ප්‍රමාණයක් ධාවනය වෙයි. මේවායින් බොහොමයක් බාලවයස්කාරයන් විසින් පදවනු ලබන බව ද රහසක් නො වේ. රියදුරු බලපත්‍ර නැති බාලවයස්කාරයන් පොලිස් මාර්ග බාධක හා පිරික්සුම් ස්ථාන මඟහැර තමන්ගේ යතුරුපැදි පැදගෙන යන බව ද රහසක් නොවේ. මේ බාලවයස්කාරයන් අධික වේගයකින් සිය යතුරු පැදි පදවාගෙන යන අතර අපරික්ෂාකාරී ලෙස රථවාහනවලට ඉස්සර කරන බව ද දැක ගත හැකි ය. යතුරු පැදි අනතුරුවලින් පමණක් පසුගිය මාස කිහිපය තුළ හත්සිය ගණනක් මරුමුවට පත් වී සිටිති.

බොහෝවිට බාලවයස්කාරයන් සඳහා යතුරුපැදි මිලට ගන්නේ ද රථවාහන මිලට ගන්නේ ද වැඩිහිටියන් බව කිව යුතු ය. එය වරදක් වුව වැඩිහිටියන් තම වරද පිළිගන්නට කැමැත්තක් නැත. ඒ දරුවන්ට ඇති ආදරය නිසා විය හැකි ය. එහෙත් එය බුද්ධිමත් ආදරයක් විය නො හැකි ය. ඇතැම් ව්‍යාපාරිකයන්ගේ දරුවෝ අති නවීන මෝටර් රථ හා බර වාහන ද පදවාගෙන යති.මේ රථවාහනවල ක්‍රියාකාරිත්වය පිළිබඳ නිසි වැටහීමක් දරුවන්ට නැත. ඒ අනුව අනතුරුවලට අතවැනීමක් සිදුවේ. මෙබඳු සිද්ධි ගණනාවක් රටේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී තිබේ. වරක් කොළඹ ප්‍රසිද්ධ ස්ථානයක කහඉරක දී මාරක අනතුරක් සිදුවිය. එය පදවාගෙන ආයේ බාලවයස්කාරයෙකි.

බාලවයස්කාරයන් වාහන පදවා අනතුරු සිද්ධ වූ විට වැඩිහිටියකු එහි වගකීම භාරගැනීම අපේ රටේ සිදුවන තවත් වංචාවකි. අනතුර සිදුවූ සැණෙන් බාලවයස්කාරයා සිද්ධිය වූ ස්ථානයෙන් පලා යන අතර වැඩිහිටියෙක් පැමිණ තමා රථය පැදවූ බවට පොලිසියට කටඋත්තරයක් ලබා දෙයි.

මෙබඳු සිද්ධි ගණනාවක් වාර්තා වී ඇති අතර ඇසින් දුටු සාක්ෂි නිසා වංචාව හෙළිදරව් වී ඇත. අනතුරක් සිදුවූ ස්ථානයේ රැඳී සිටින අයට ද වගකීමක් තිබේ. එනම්; තමන් දුටු සත්‍යය පොලිසියට හෙළිදරව් කිරීම ය. සමාජය අවදියෙන් සිටින්නේ නම්; සිදුවන අපරාධ මෙන්ම සිදුවන රිය අනතුරු ද බොහෝමයක් වළක්වා ගත හැකි ය.

යොවුන් වියට එළැඹෙන පාසල් දරුවෝ අධික වේගයකින් රිය පදවාගෙන යෑමට ද, හෙල්මට් නැති ව යතුරුපැදි ධාවනය කිරීමට ද දැඩි කැමැත්තක් දක්වති. මෙය කැපී පෙනීමට ඇති ආශාවක් ලෙස දැක්විය හැකි ය. වැඩිහිටියන් මෙබඳු අවස්ථාවලදී දරුවන් වීරයන් නො කොට ඔවුන්ට ඇත්ත තත්ත්වය වටහා දිය යුතු ය. හෙල්මට් නැතිව යතුරුපැදි ධාවනය කොට අනතුරු සිදුවී මරණයට පත් වූ සිදුවීම් ග්‍රාමීය ප්‍රදේශවලින් නිරන්තරයෙන් ම වාර්තා වෙයි. අනාගතය භාරගැනීමට සිටින දක්ෂ දරුවන් මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත්වීම ජාතික ව්‍යසනයකි. මෙය නැවැත්වීම සඳහා කරුණු දෙකක් යොදාගත හැකි ය. එක; දරුවන් දැනුම්වත් කිරීම ය. දෙක; වැඩිහිටියන්ට දඩ ගැසීම ය. ඒ දෙක ම එකවර ක්‍රියාත්මක කළ යුතු ය.

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව ගෙන ඇති තීන්දුව වැදගත් ය. මෙය හරිහැටි ක්‍රියාත්මක කළහොත් රිය අනතුරු යම් ප්‍රමාණයක් හෝ අඩුවනු ඇත. එය අප කාගේත් හිතට සැනසිල්ලකි. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...