කැටපෝලෙන් බැටකෑම: ලෙඩවීම | දිනමිණ

කැටපෝලෙන් බැටකෑම: ලෙඩවීම

ටිබෙටීය බෞද්ධ නැණවතකු හා කවියකු විසින් මිනිස් ජීවිතය අරබයා අඳිනු ලබන මේ සිතුවම සරල නමුත් පරිපූර්ණය.

තාරුණ්‍ය හරියට, උෂ්ණ ඍතුවේ මලක් වගේ - සැණින් වියැකී යයි. මහලුවිය සැණින් ගිනිගත් කෙතක් වගේ - එය ඔබේ දෙපා මත සිටගෙන සිටී. ‘උපත හා මරණය හිරු පෙනී සිටීම හා නොපෙනී යාම වගේ. දැන් එනව දැන් යනවා’ බුදුන් වදාළේ එහෙමයි.

ලෙඩවීම හරියට පුංචි කුරුල්ලෙක් වගේ. කැටපෝලෙන් බැට කෑ නිරෝගිත්වය හා ශක්තිය - නිසි කලට පලදීමේ විපාක බව නොදන්නෙහිද?

මරණය තෙල් වියළී ගිය පහනකි. අන්තිම ඇසිපිය ගැසෙන මේ ලෝකයේ සදාතනික කිසි දෙයක් ඇතැයි මම ඔබට සහතික නොවෙමි.

අකුසල කර්ම හරියට දිය ඇල්ලක් වගේ. පහළට මිස කිසි විට එය ඉහළට තල්ලු නොවේ. පව්කාර මිනිසා විෂඝෝර රුකක් වගේ. ඊට පිට දුන්නොත් ඔබට හානිම පමණි. සීමාව ඉක්මවා යාම බීජ තුහිනයෙන් වැසී යාමක්ය. නරක් වූ කිරි වගේ හැම දෙයක්ම වනසයි.

කර්ම නීතිය හරියට සංසාර චක්‍රය වගේ. එය කඩන්නේ කවරෙකුද අහිමිවීම් හා විඳවීම් බොහෝය. සංසාරය හරියට ඇ‍ඟේ ඇනුණු කටුවක් වගේ. එය උගුලා නොදැමුවොත් විෂ නගිමින් ඇඟපුරා විසිරේ. මරණය එන්නේ බැස යන හිරු සමඟ දිගේලි වන තුරු සෙවණැල්ල වගේ. කවරෙකුට හෝ වැළැක්විය නොහැකි ලෙස වේගයෙන් දිවයයි. මේ මොහොත ආ විට උදව්වට සිටින්නේ කවුද ධර්මය හැර?

ජයග්‍රහණයේ ප්‍රභවය ධර්මය වුවත්, එය මත බලාපොරොත්තු තබන අය විරලයි. සංසාරයේ කාලකණ්ණිකම් සමඟ පැටළුණු අය බොහෝයි. මෙවන් අවාසනාවන්තකම් ඉපදෙන්නේ කා තුළද? ඔවුන් කෙතරම් වැර වීරිය කළත් ලැබීම් සොරකමට හා මංකොල්ලයට බඳුන් වේ.

ඔබ නිරෝගී හා ශක්තිමත්ව සිටින තුරු ලෙඩ රෝග එයි කියා කිසිදා සිතන්නෙ නැහැ. නමුත් එය විදුලියක් වගේ සැණින් කඩා වැදීම වළක්වන්න ඔබට නොහැකියි. ලෝකයේ මිහිර සමඟ කෙළිදළෙන් පසුවන ඔබට මරණයේ සේන්දුවීම ගැන ඉව වැටෙන්නේ නැහැ. නමුත් අකුණක් වගේ පැමිණි එය ඔබ මිරිකල සුන් කරනු ඇත. ලෙඩවීම, මහලු විය හා මරණය එකිනෙකා මුණගැහෙන්නෙ අතයි කටයි යාළු වගේ.

කාලකණ්ණිකම අත්දකින තුරු , ඔබ එයට බිය නොවේ. අවාසනාව පහරපිට පහර දෙන තුරු, ඔබට එය වේදනාවක් නොවේ. ජීවන ඛේදයන් එකකට පස්සෙ තවත් එකක්; නිරන්තර සයුරු රැළි වගේ. අමාරුව - යාන්තමින්, එකක් අහවර වන විට ඔන්න තවත් එකක්. සත්‍යාවබෝධයට පත්වන තුරු, දුක සහ සැප එනව - යනවා අහම්බෙන් වගේ මගතොටේ අප පසුකර යන අය වගේ.

තුටු පහටු ප්‍රහර්ශය හරි වටිනව, සීතලෙන් සිට හිරු එළිය නානව වගේ: වහා වෙනස් වන සුළු අනිත්‍යන් හරියට දැනුම් දීමක් නැතුව එන හිම කුණාටුවක් වගේ. මේ දෙය මතක තබාගන්න. ධර්මය ජීවිතයට අදාළ නොකර ගන්නේ ඇයි?

(මිලාර්ෆාගේ ගීත)

ජීවිතය දෙස බැලීමේදී, එය වෙනස්වන්නේ කෙසේ දැයි අපට හොඳින් පෙනෙනව. බැඳීම් අතර එය නිරන්තරව ක්‍රියාකාරී වෙනව. වැටීම් සහ නැගී සිටීම් අප නිරික්සුම් කරනව. සමත් හා අසමත්කම්, හිමි හා අහිමිවීම්, ගෞරවය හා අගෞරවය, පැසසුම් හා ඇණුම් බැණුම්’... මේ හැම දෙයක්ම නිරික්සුම් කරන අතරම අප ‍ෙම් සියල්ලට සතුට හෝ අසතුට යන හැඟීම් ඔස්සේ ප්‍රතිචාර දක්වන බවත් අපට ඒත්තු යනව. ඒ විතරක් නෙවෙයි, බලාපොරොත්තු සහිත හා රහිත බව, තෘප්තිය හා අතෘප්තිය, බිය හා අපේක්ෂා සහගත බව අපේ හදවත් ප්‍රතික්‍රියා දක්වනව‍.

ආචාර්ය කේ.ශ්‍රී.ධම්මානන්ද මහ නායක හිමිගේ

Why worry කෘතිය

ලබන සතියේ : අසහන සයුර මැද සහනය සෙවීම

සිංහල කළේ - සමුනි සමරකෝන්

නව අදහස දක්වන්න