දිය­ව­න්නාවේ සිහි­ලස බැද්ද­ගාන තෙත්බිම් උයන | දිනමිණ

දිය­ව­න්නාවේ සිහි­ලස බැද්ද­ගාන තෙත්බිම් උයන

ඉරෝ­ෂිණී දීපිකා   
 
තුරු වදුලු සිරසෙහි එතුණු වලාකුළු රැහැන් වරින් වර හෙමින් සීරුවේ නුබ කුස හැඩ කරමින් පාව යයි.
නැඟෙනහිර අහස රන් හිරු කිරණින් වසාගෙන ඇත. තුරු අතර වෙළුණු සුළං රැළි පත් සොලවමින් මන්දස්වරයකට ගී රාව නංවයි. මලින් මලට පියඹා ගොස් පැණි උරා බී ප්‍රීති ප්‍රමෝදයෙන් නටන නෙක් විධ, නෙක් පැහැති සමනල් රෑන්, පරිසරයේ අමුතු රූ රටා අඳිමින් ඇත. පාන්දරින්ම සිරි සිරි හඬින් කඩාවැටුණු හිරිපොද වැස්ස නිසා ප්‍රමෝදයට පත් තණ පත් ඔවුනොවුන්ට රහස් කොඳුරයි.

එදා කෝට්ටේ රාජධානියේ කොටු බැම්ම සහ දිය අගලේ ශේෂ පමණක් ඉතිරිව තිබෙන මාවත අද්දරින් ඉදිරියටම ඇදුණු අපි, කුඹුක් තුරු අතර සෙවණ ලබමින් දැන්වීම් පුවරුවක් ළඟ නතර වීමු. බැද්දගාන තෙත්බිම් උද්‍යානය යැයි එහි සඳහන්ව තිබිණි. එතැනින් ඇරැඹෙන ලෑලි පාලම දිගේ ඉදිරියට යනවිට, පාලමට යටින් දැකිය හැක්කේ සුසිනිඳු දිය දහරාය. අපේ හඬ ඇසුණු නිසාදෝ සිය දරු පැටවුන් සමඟ සිටි ළය සුදු කොරවක්කු අමුතු හඬක් නගමින්, දිය මත ඇති පඳුරු යට සැඟවුණහ.

හෙක්ටයාර 13ක් පුරා පැතිර ඇති මේ උයන අගෝස්තු සිට පෙබරවාරි දක්වා කාලය තුළ ආසියානු තෙත් බිම්වල සිටින සංචාරක පක්ෂි විශේෂ බොහෝමයකට නවාතැන් සපයයි. කිඹුලා, අඳුන් දිවියා, දියබල්ලා වැනි සතුන් දැකබලා ගැනීමට ද මෙහිදී අවස්ථාව ලැබේ. ශ්‍රී ලංකාවේ පරිපාලන නගරය වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි මෙය, නාගරික සංවර්ධන අධිකාරියට අයත් ය. මේ තෙත් බිම්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ප්‍රකාශිත ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කුරුලු අභය භූමි මායිමට අයත්ය.

නාගරික සංවර්ධන අධිකාරිය 2005 වසරේදී පමණ නව පාර්ලිමේන්තුව වටා ඇති, එම අධිකාරියට අයත් තර්ජනයට ලක්ව ඇති තෙත් බිම් 11ක් සංරක්ෂණය කිරීම සඳහා සැලසුම් කෙරිණි. එහි ප්‍රථම පියවර ලෙස බැද්දගාන තෙත් බිම් උද්‍යානය නිර්මාණය විය.

පරිසරවේදීන්ගේ හා පරිසර විද්‍යාඥයන්ගේ නිරීක්ෂණ හා උපදෙස් මත මෙහි සංවර්ධන කටයුතු සිදු කෙරිණි. ඒ අනුව පසුගිය වසරේ ජුනි 15 වැනි දින මෙය සකසා නිමකර මහජනතාවට විවෘත කර ඇත.

කොන්ක්‍රීට් වනය පීරමින් හිරු උදා වී ගතව ඇත්තේ සුළු මොහොතකි. පිණි ඉහුණු සීතල තුරු පත් අතරේ දඟලමින් කෑම සොයන කුරුලු රංචු ඉඳහිට නගන කිචි බිචි රාවය සවන් පත් මත නින්නාද දෙයි. මද මුදු සුළඟේ නැළවෙන නෙක් පැහැති සමනලුන්, බත් කූරන් විටෙක ඉහළට එසවෙමින් ද, තවත් විටෙක පහතට වෙමින් ද පාව යයි. ඒ පෙදෙස සමනලුන් ගහණ ප්‍රදේශයක්ය. දං පඳුරක ගෙඩි කමින් රාව නගන බට්ටිච්චකු, අපේ පියවර හඬ ඇසී වේගයෙන් පියඹා ගොස් බෝවිටියා පඳුරක ළැඟුම් ගත්තේය. තුරු මත නැලවෙන අතු පතර හිඳ කහ කුරුලු ජෝඩුවක් සිටින්ෙන් විඩා නිවමිනි. කොණ්ඩකුරුල්ලන්, ගොරුඩින්, දෙමලිච්චන්, පොල්කිච්චන්, මයිනන්, නීල කොබෙයියා, අළු කොබෙයියා, කපුටා, කවුඩා, ඇටිකුකුළා, පිළිහුඩුවා වැනි මේ ප්‍රදේශයේ වෙසෙන කුරුල්ලන් මෙහි ද සුලබ අතර, කිරි කොකා, ගව කොකා, කණ කොකා වැනි කොකුන් තෙත් බිමෙහි තන්හි තන්හි ඉඟිල යන අපූරුව, ගුවනේ සිට ඉද්ද මල් වරුසාවක් වස්සන්නාක් වැනිය.

උද්‍යානයේ ඇවිද යන අපට, එහි කාර්යාලය අසලදී උද්‍යානයේ කළමනාකරු වන සමීර ප්‍රේමරත්න මහතා මුණ ගැසුණි.

‘‘තෙත් බිමක් කියන්නේ වසරක් පුරා තෙත් හෝ තෙත් දේශගුණයක් පවතින වෙනම පරිසර පද්ධතියක්. තෙත් බිම් ශ්‍රී ලංකාව පුරාම තිබෙනවා. ස්වාභාවිකව නිර්මාණය වුණු වගේම, මිනිසා විසින් සැකසූ ඒවා ලෙස මේවා දෙයාකාරයකින් දකින්න පුළුවන්.

වසරේ දින 365ම හෝ මාස කිහියක් හෝ දවස් ගණනක් වතුරෙන් යටවී පවතින බිම් තෙත් බිමක් විදිහට හඳුන්වනවා. එසේ යටවන බිමේ වතුර මට්ටම මීටර් හයක් හෝ ඊට අඩු උසකින් තිබීමත් අවශ්‍යයි. මධ්‍ය කඳුකරයේ සිට මුහුද දක්වාම තෙත් බිම් පවතිනවා.

වෙරළේ සිට මීටර් 6ක් ඇතුළට යනකම්, මුහුදත් තෙත් බිමක්. ශ්‍රී ලංකාවේ තෙත් කලාපය පුරාම වැඩියෙන් හා වියළි කලාපය තුළ අඩුවෙන් මෙවැනි බිම් ව්‍යාප්ත වෙලයි තියෙන්නේ මේ උද්‍යානය සතියේ දින හතම විවෘතයි. දේශීය සංචාරකයන් සතියේ දිනක උපරිම වශයෙන් 200ක් පමණත්, සති අන්තයේ දිනකට 500ක් පමණත් පැමිණෙනවා.

විදේශිකයන්ගේ පැමිණීම නම් අඩුයි. මාසෙකටම දහ දෙනෙක් වගේ තමයි එන්නේ. මේ බිමේ වැඩිපුරම තියෙන්නෙ ආක්‍රමණික ශාකයක් වන වල් ආතා. ඒත් ඒවා ඉවත් කළොත් ඒ ශාකවලට හුරුවෙලා ඉන්න සතුන් මේ බිමෙන් ඈත්වෙන්න පුළුවන්. මෙහි කොළඹ තෙත් බිමටම පොදු වූ ගස් තිබෙනවා. ශ්‍රී ලංකාවටම ආවේණික ශාකයක් වන දිය කූඩලු ශාකය මේ උද්‍යානයේ දී දකින්න පුළුවන්. ඒ වගේම, ශ්‍රී ලංකාවේ මීට අවුරුදු 100කට කලින් වාර්තා වී තිබෙන, කොළොන්නාවේ සහ බැද්දගාන, මඩකළපුව යන ප්‍රදේශවල පමණක් වැවුණු , Aganope Heptaphylla විද්‍යාත්මක නමින් හඳුන්වන ශාකය, මෑතකදී වාර්තා වෙන්නේ ශ්‍රී ලංකාවෙන් ම මේ උද්‍යානයේ විතරයි. එයට සිංහල නමක් නෑ. ඒ ශාකය බෝ වෙන්නෙත් නෑ. ඒ වගේම, කොළඹින් දෙවැනියට වැඩිම සංචාරක පක්ෂීන් ගහණයක් සිටින්නෙත් මේ උද්‍යානයේ.

මේ ස්ථානයේ අතීතයේදී වෙල් යායක් තිබිලා. පාර්ලිමේන්තුව සකසන කාලෙදි ඔය හාරලා ඉවත දාපු පස් ටික මෙතනට දාලා. එහෙම හැදුණු ගොඩබිමේ පස්වල තණකොළවත් හැදෙන්නෙ නෑ. ඒකට හේතුව ගල් අඟුරු හැදෙන්න කලින් අවස්ථාව වන පීට් පස් මෙහි තිබීමයි. ඒ නිසා මේ උද්‍යානය කොටස් දෙකක් විදිහට සංවර්ධනය කෙරුණා. ඒ පීට් පස් සහිත ප්‍රදේශය සහ ස්වභාවික තිබුණු බිම් විදිහටයි.

මේ බිම යුද්ධ කාලෙ බෝම්බ නිෂ්ක්‍රීය කරන්නත්, මෑත කාලෙ ෆෝර්වීල් පදවන්නත්, පාවිච්චි කර තිබෙනවා මෙය මත් ද්‍රව්‍ය ‍හොර රහසේ සකසන මත්පැන් විකුණූ තැනක්.මේ ප්‍රදේශයේ ජනගහණය වැඩි වීමත්, ඉඩම් මිල අධික වීමත් නිසා, මේ බිමට තර්ජනයක් එල්ල වෙමින් තිබුණා. ඒ වගේම සුළු වැස්සටත් මේ පෙදෙස යටවෙන නිසා ගංවතුර පාලනයටත් මෙය කදිම විසැඳුමක් වුණා. මේ බිම සංවර්ධනය කළොත් ජෛව විවිධත්වය ආරක්ෂා කර ගන්නත් පුළුවන්. මිනිසුන්ට ඇවිදින්න මෙය හොඳ බිමක්. මේ වගේ ප්‍රයෝජන මේ පරිසරයෙන් මිනිසාට ලැබෙනවා. බැද්දගාන තෙත් බිමේ සිට අපි පාසල් ළමයින් සඳහා වැඩසටහන් කරනවා. සාමාන්‍යයෙන් මසකට ඒ වගේ වැඩසටහන් හතරක් පහක් කරනවා. පාසල් වලින් ඉල්ලීමක් කළහම අපට ඒ වැඩසටහන්වලට සම්බන්ධ කරගන්න පුළුවන්.”

ඔහුගේ හඬට සවන් දුන් අපි නැවත තෙත් බිමේ ඇවිද ගියෙමු. මගුල් කරඳ, කොහුකිරිල්ල, දිය නා, රත් ගොරකා, බැදිදෙල්, රත්මල්, ඇහැල, වැටකෙයියා, මුණමල්, බලු දං, පඹ, ආදී ගසින් යුතු මේ උද්‍යානය රතු ඕලු, සුදු ඕලු, අද දිය මත හැඩට පිපුණු මලින් ද ගහණය.

“මිහිකත මිහිරි ගීයකි. එයට නිහඬව සවන් දෙන්න. මතක පමණක් රැගෙන යන්න. කිසිවක් ගෙන නොයන්න. පා සටහන් පමණක් ඉතිරි කර යන්න.”

ඒ සොඳුරු වැකි අතරමගේ නෙතු නතර විණි. කොන්ක්‍රීට් වනාන්තරයක් තුළ පිහිටි මේ අපූරු තෙත් බිම, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණය සමීප දියවන්නා දියේ සිහිලස විඳිමින් සුපෝෂණය වෙමින් ඇත.

සොබාදහමට කන් දෙන්න

කුරුලු ගීතයට සවන් දෙන්න

සාමයේ සතුට විඳ ගන්න

මිහිකත අයදින ඒ අයැදුමට සවන් යොමු කළ මට, කෙටල වර්ගයේ ශාකයක් වන ඉඳුරු ශාකවලින් පිරි බිමේ සැරිසරන කිතලුන් සමූහයක් දැකගත හැකි විය. ගසක් යට සිය දරු සමූහයා සමඟ ගිමන් නිවන හීන් තඹ සේරුන් පිරිසකි. නිහඬ බව බිඳිමින් විටෙක ඇසෙන්නේ සුමිහිරි කුරුලු කූජනයකි. නිහඬත්වය කොපමණද යත් බිම වැටෙන තුරු පතක හඬ පවා ඇසේ. ශ්‍රී ජයවර්ධන පුර කුරුලු අභය භූමිය තුළ පිහිටි මේ උද්‍යානය තුළ, සමනලුන් විශේෂ 55ක්, බත් කූරන් විශේෂ 50ක්, ක්ෂීරපායී සතුන් විශේෂ 10ක්, උභය ජිවීන් විශේෂ 5ක්, මාළු විශේෂ 50ක්, කුරුලු විශේෂ 80ක් සහ ශාක වර්ග 100ක් පමණ ඇත. එහි ආයුර්වේද බෙහෙත් වර්ග රාශියකි. මේ උද්‍යානය නිර්මාණයේදී, කණු මත ඉදිවුණු පක්ෂී නිරීක්ෂණ කුළුණු, පක්ෂි නිරීක්ෂණ ස්ථාන, ලෑලි යොදා සැකසූ ගමන් පථ යොදාගෙන ඇත. ඒ නිසා මේ පරිසරය සංරක්ෂණය වන අතර, උද්‍යානයට ද අලංකාරයක් එක්ව තිබේ. කුරුල්ලන් නරඹනු කැමැති අයට උද්‍යාන 6.00 සිට 8.00 දක්වා සුදුසු ය. කෑකෝ නොගසමින්, දුරකතන භාවිතයෙන් තොරව මෙහි පැමිණීමෙන් ඔබට කුරුල්ලන් හොඳින් නැරඹීමට හැකිය.

මෙහි යෑමට රුචියක් දක්වන ඔබ යා යුත්තේ දියත උයන සමීපයේ පිහිටි කොළඹ - කඩුවෙල මාර්ගයේ ගොස්, පොල්දූව නව පාලම පසු කිරීමට පෙර දකුණු අත පැත්තෙන්ය. උද්‍යානය තුළ සැරිසරන ඔබ, අවසානයේ එහි ගමන නිමා කරන්නේ දියවන්නාවේ තනා ඇති පාවෙන වේදිකාවෙන් විය හැකිය. දියවන්නාව අවට පෙදෙස හොඳින් නිරීක්ෂණය වන මෙහි සිට පරිසරයේ අපූර්ත්වය ඔබට වින්දනය කළ හැකිය. විටින් විට කොවුල් නදින් පරිසරය සිසාරා යයි. වැහි ලිහිණින් රෑන් දියවන්නාව උඩින් පියාසලනු පෙනේ. දියේ කිමිදී දියබුං ගසමින් සිටි දියකාවුන් පිරිසක්, වල් ආතා ගස් මත නැගී පියාපත් වියළා ගැනීමට යත්ත දරමින් සිටී. පැස්තුඩුවන් සමූහයක් වරින්වර ඉගිලවිත්, දිය මත පතිත වන සී ප්ලේන් මෙන් දියට බසිනු පෙනේ. අලිමානාවුන් ජෝඩුවක්, සිහිල් සුළඟේ එතී මුදු රැලි නඟන දියවන්නා ඉවුර අසල නිසොල්මනේම බලාහිඳී. ළය සුදු කොරවක්කන් කිහිප දෙනකු තෙත් බිමේ දියකඩිතිවලට පනිමින් රිසි රිසි දේ තුඩට ගෙන බුදිනු පෙනේ. පරිසරය මුළුමනින්ම නිහඬය. ඉවුරට වී උදා හිරු රැස් නාගත් කබරයකු, නිහඬත්වය බිඳිමින් කඩිමුඩියේ ම දියට පැන, හිස පමණක් දියට උඩින් යොමාගෙන පිහිනා යන්නට ගියේය.

විශේෂ ස්තූතිය - නාගරික සංවර්ධන අධිකාරියේ පරිසර හා භූ දර්ශන අංශයේ අධ්‍යක්ෂිකා චන්දන කළුපහන මහත්මියට. 

 

නව අදහස දක්වන්න