පැමිණීම දුර්වලයි! | දිනමිණ

පැමිණීම දුර්වලයි!

ඉන්දියාවේ හිටපු අගමැතිවරයකු ද කීර්තිමත් රාජ්‍යතාන්ත්‍රිකයකු ද වන ඉන්ද්‍රකුමාර ගුජ්රාල් මහතා අපේ පාර්ලිමේන්තුව ගැනත් එහි මහජන නියෝජිතයන් ගැනත් මෙසේ කියා ඇත. අපේ රටවල් දෙකට ම දීප්තිමත් හා කැපීපෙනෙන පාර්ලිමේන්තු ක්‍රමයක් තිබේ. එහි සාමාජිකයෝ ජනතාවගේ අරමුණ ඉෂ්ට කිරීම සඳහා මහත් කැපවීමකින් කටයුතු කරති. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කීර්තිමත් දේශපාලන නායකයන් පැවැත්වූ දේශන දෙස බලනවිට පෙනී යන්නේ රටේ පවත්නා දේශපාලන විනය හා ප්‍රභූත්වයයි. මේ ප්‍රකාශයෙන් අපට හොඳ උත්කර්ෂයක් ලබාගත හැකි ය.

ඉහත ප්‍රකාශය නිකුත් වන්නේ මීට වසර දාහතකට පමණ පෙර ය. එහෙත් අද නම්; අපේ පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් මෙබඳු ප්‍රශංසාවක් කිරීමට කෙනකු සිටිත් ද යනු ගැටලුවකි. වැඩිපුරම අද අසන්නට ලැබෙන්නේ පාර්ලි‍ෙම්න්තුව පිළිබඳ විවේචනයන් ය. එහි පවතින ගාලගෝට්ටි, ගැටුම් පමණක් නොව, මහජන නියෝජිතයන්ගේ කතා විලාසය පවා දැඩි විවේචනයට ලක්වෙයි. පාර්ලිමේන්තු සැසිවාර නැරඹීම සඳහා පාසල් සිසුන් රැගෙන යෑම අනුචිත ක්‍රියාවක් බව ඇතැම් විදුහල්පතිවරු ප්‍රසිද්ධියේ කියා සිටිති. පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන්ගේ විනය පිළිබඳ ගැටලුව මෙයින් මතුවෙයි.

ගිය සිකුරාදා පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධියකින් ඉහත තත්ත්වය තවදුරටත් විස්තාරණය කරගත හැකිය. එදින සභාව කල් තබන අවස්ථාවේ; විවාදයට අදාළ පිළිතුරු කතාව කිරීම සඳහා අමාත්‍යවරයා සිටියේ නැත. රාජ්‍ය අමාත්‍යවරයා සිටියේ ද නැත. දෙදෙනා ම පාර්ලිමේන්තුවට පැමිණ නැත. රටට වැදගත් විෂය ක්ෂේත්‍රයකට අදාළව ප්‍රශ්න කිරීම සිදුකර සිටි මන්ත්‍රීවරයා පිළිතුරු ලබාදීම කල් තැබීමට කැමැති වූයේ නැත. ඒ අනුව ආණ්ඩු පක්ෂයේ නියෝජිතයකුට සිදුවූයේ අදාළ අමාත්‍යවරයා එවා ඇති වාර්තාවක් කියවීමට ය. කිසියම් විෂය ක්ෂේත්‍රයක අමාත්‍යවරයා පමණක් නො ව; රාජ්‍ය අමාත්‍යවරයා ද පාර්ලිමේන්තුවට නොපැමිණීමෙන් පෙනී යන්නේ මහජන නියෝජිතයන් වගකීම් විරහිත ලෙස ක්‍රියාකරන බව ය.

අපට ලැබී ඇති මූලාශ්‍රයකට අනුව මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු පැමිණීම ඉතා කනගාටුදායක ය. පසුගිය මැයි සිට ජූලි දක්වා කාර්තුව තුළ පාර්ලිමේන්තු සැසිවාර විසි එකක් පවත්වා ඇත. මේ සියලුම සැසිවාරවලට පැමිණ ඇත්තේ මන්ත්‍රීවරුන් විසි එකක් පමණි.

පාර්ලිමේන්තු සහභාගීත්වය 25% - 50% අතර ඇති පිරිස හතළිස් තුනකි. සහභාගිත්වය 51% - 75% අතර ඇති පිරිස හැත්තෑ හතරකි. සහභාගිත්වය 76%-90% අතර ඇති පිරිස අනූවකි. පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් ලෙස තේරීපත්වී ඇති දෙසිය විසිපස් දෙනා දෙස බලනවිට මෙය ඉතා පහළ අනුපාතයකි. අප ඇත්තටම අපේ දේශපාලනය ගැන කනගාටු විය යුතුය.

එක මන්ත්‍රීවරයකුගේ මාස තුනක පාර්ලිමේන්තු සහභාගිත්වය එක් දිනයක් ලෙස සටහන් වී ඇත. තව මන්ත්‍රීවරයකුගේ සහභාගිත්වය දින දෙකක් ලෙස සටහන් වී ඇත. තවත් මන්ත්‍රීවරයකුගේ සහභාගිත්වය දින හතරක් ලෙස සටහන් වී ඇත. මේ මහජන නියෝජිතයන් මන්ත්‍රී ධුරය ආරක්ෂා කරගැනීම සඳහා පමණක් පාර්ලිමේන්තුවට ඇවිත් යන බවක් පෙනෙන්නට තිබේ.

සමහර පක්ෂවල නායකයන් ද සමහර පක්ෂවල මහලේකම්වරුන් ද මේ අතර සිටීම එක අතෙකින් පුදුමසහගත ය. පාර්ලිමේන්තු සැසිවාර සඳහා මහජන නියෝජිතයාට ලබාදෙන දීමනාව පවා ඉහළ දමා ඇතත් මන්ත්‍රීවරුන්ගෙන් බහුතරය පාර්ලිමේන්තු මඟ හරිති. දේශපාලකයන් වගකීම් විරහිත ලෙස ක්‍රියාකරන අන්දම මෙයින් පැහැදිලි වෙයි.

පාර්ලිමේන්තු සැසිවාරයක් පැවැත්වීම සඳහා රජය විශාල මුදලක් වැය කරයි. ආහාර ඇතුළු මහජන නියෝජිතයන් සඳහා වූ අනෙකුත් පහසුකම් සැපයීම සඳහා රජය දරන විශාල මුදල ගැන නොයෙක්වර සංවාද ඇතිවී තිබේ. රටට අවශ්‍ය ප්‍රතිපත්ති හා නීති සම්පාදනය කරන උත්තරීතර ස්ථානයකට එවන් මුදලක් යෙදවීම අයුක්තියක් නොවේ. එහෙත් එයින් රටට හා ජනතාවට යහපතක් නොවන්නේ නම්; එය විශාල අපරාධයක් සේ සැලැකිය හැකි ය.

සිකුරාදා සිද්ධියෙන් පෙනී යන්නේ ආණ්ඩු පක්ෂයේ ඇමැතිවරුන් පවා තමන්ගේ වගකීම් පැහැර හරින අවස්ථා ඇති බව ය. එය හොඳ තත්ත්වයක් නොවේ. පසුගිය සමයේ දේශපාලකයන් අතින් සිදුවූ මහා පරිමාණ වංචා, දූෂණ හා අක්‍රමිකතා පිටුදැකීම සඳහා අලුත් ආණ්ඩුවක් පිහිටුවූ බව කියති. ජනතාව එය අනුමත කළ බව ද කව්රුත් දනිති. පාර්ලිමේන්තුවේ විනය, එහි ගෞරවනීයභාවය හා ශ්‍රේෂ්ඨත්වය ද පවතින්නේ මහජන නියෝජිතයන්ගේ ක්‍රියාකාරිත්වය මත බව ‍බොහෝ දෙනකුට අමතකවී ඇත.

ඇතැම් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට එන්නේ නැත. ඇතැම් මන්ත්‍රීවරුන් විවාදවලට සහභාගී වුණත් වැඩක් නැත. තව මන්ත්‍රීවරුන් කමිටුවලට පත්වුණත් එම කමිටු රැස්වීම්වලට එන්නේ නැත. කෝප් කමිටුවේ ඇතැම් සාමාජිකයන් ද ඊට හොඳ නිදසුනකි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වරක් කියා සිටියේ මහජන නියෝජිතයා සිටින්නේ මළගෙවල් මඟුල් ගෙවල් ආදියට සහභාගිවීමට පමණක් නම්; ඒ දේශපාලනයෙන් කිසිදු ප්‍රතිඵලයක් නැති බවය. දැන් බලාගෙන යනවිට සිදුවන්නේ ද ඒ දෙයම ය.

පාර්ලිමේන්තුවේ විනය පවත්වාගැනීම සඳහා ද මහජන නියෝජිතයන්ගේ දේශපාලන දැනුම දියුණු කිරීම සඳහා ද පාඨමාලා පැවැත්විය යුතු යැයි වරක් යෝජනා විය. එහි ආරම්භක අවස්ථාව උත්සවශ්‍රීයෙන් ආරම්භ වූ අතර පසුව එය අහෝසි වී ගියේ මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වය අඩුවූ නිසා බව පැවසේ.

අපේ මහජන නියෝජිතයන් වගවීම් සහිත පුද්ගලයන් බවට පත් කරන්නේ කෙසේ ද? එය කළ හැක්කේ කාට ද?


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...