නූතන ලෝක‍ෙය් වහල්ලු | දිනමිණ

නූතන ලෝක‍ෙය් වහල්ලු

මංජුලා විජයරත්න

වහල්භාවය ලෝකයෙන් මේ වනවිට අතුගා දමා ඇතැයි අප බොහෝ දෙනකු තුළ අදහසක් ඇත. එසේ වුවත් ලෝක සංවිධාන විටින් විට පෙන්වා දෙන වර්තාවලින් තහවුරු වන්නේ එදා මෙන්ම අදත් ලෝකය පුරා සරුසාරව වහල්භාවය ක්‍රියාත්මක කෙරෙන බවකි. 2016 වසරේදී වහල්භාවය ලෝකය පුරා ක්‍රියාත්මක වූ අන්දම ගැන කියැවෙන වාර්තාවක් පසුගිය දා නිකුත් කෙරිණ. මේ වාර්තාව නිකුත් කෙරුණේ ජගත් සංවිධාන ඒජන්සියක් වන අන්තර්ජාතික කම්කරු සංවිධානය සහ වෝක් ෆ්‍රී පදනම එකමුතුවෙනි. අප ජීවත්වන මේ මහ පොළොව මත මිලියන 40කට අධික ජනගහනයක් අදටත් වහලුන් ලෙස සේවාවන්හි යෙදෙන බව එකී වාර්තාව පෙන්වා දෙන වැදගත්ම කාරණය වේ. වාර්තාවෙහි තවත් තැනෙක ඇසට කඳුළු උනන කතාවක් සටහන්ව තිබුණේය. එයින් කියවුණේ එසේ වහල් සේවයේ යෙදෙන සෑම හතර දෙනකුගෙන් එක් අයකු දරුවකු වන බවයි. එකී මිලියන 40යෙන් මිලියන 25ක පිරිසක් වහල්භාවයට පත්ව තිබෙන්නේ බලහත්කාරයෙන් සේවයෙහි යෙදවීම යන කාරණය පදනම් කරගෙන බව වාර්තාවෙන් අනාවරණය වේ. ඒ නිසා එකී පිරිස හාම්පුතුන්ගෙන් හෝ වෙනත් පාර්ශ්වවල හෝ තර්ජන ගර්ජනවලටත් බලහත්කාරකම් සහ බලපෑම්වලටත් යටත්ව තම රැකියාවන් කරගෙන යති. මිලියන 15කට ආසන්න අනෙක් පිරිස වහල්භාවයට පත්ව තිබෙන්නේ බලහත්කාරයෙන් විවාහ දිවියට ඇතුළත් කරවීම යන කාරණය පදනම් කරගෙනය.

අද වනවිට වහල්භාවයට පත්ව ජීවත් වන පිරිස කෙතරම්දැයි කියා හරියටම ප්‍රකාශ කිරීම අසීරු කාරණයක් බව අන්තර්ජාතික කම්කරු සංවිධානයේ සහ වෝක් ෆ්‍රී පදනමේ නිලධාරීහු පෙන්වා දෙති. උක්ත විෂයයෙහි විවිධ සංවිධාන කරන ලද ගණන් ගැනීම්වලින් එකකට එකක් වෙනස් සංඛ්‍යාවන් සහ තොරතුරු හෙළිවන්නේ එබැවිනි. කෙසේ වුවත් වහල්භාවයට පත් මිලියන සංඛ්‍යාත පිරිසක් ලෝකයේ සිටින බව ඒ වාර්තාවන් සැකසූ කවුරුත් අවිවාදයෙන් පිළිගනිති. වෝක් ෆ්‍රී පදනමේ විධායක අධ්‍යක්ෂිකා ෆියෝනා ඩේවිඩ් පවසන්නේ මිලියන සංඛ්‍යාත පිරිසක් මේ අවාසනාවන්ත තත්ත්වයට ඇද වැටී පීඩා වින්ඳ ද ඒ පිරිසෙන් අතළොස්සක් පමණක් බේරා ගන්නට හැකිව ඇති බවකි.

“... අපි දන්නා විධියට මිලියන 40කට අධික පිරිසක් නූතන වහල්භාවයෙන් දුක් විඳිනවා. ඒ වුණත් එයින් දහ දාහකට ආසන්න පිරිසකට පමණක් අපට උපකාර කළ හැකි වෙලා තිබෙනවා. අතිවිශාල පරතරයක් වසා දමමින් ඔවුන්ට ළඟාවන්න අපට සිදුවෙලා තිබෙන්නේ. ...” යැයි ඈ පෙන්වා දෙන්නීය.

වහල්භාවයට පත්ව වැඩි වශයෙන් පීඩා විඳින්නේ කාන්තාවන් බැව් වාර්තාවෙහි දැක්වේ. වහල් සේවාවන්හි යෙදෙන පිරිසෙන් 71%කට ආසන්න පිරිසක් කාන්තාවන්ය. එම කාන්තාවන්ගෙන් 99%ක්ම ලිංගික සේවා සැපයීමේ කර්මාන්තය තුළ රැකියාවල නිරත වෙති. වහල්භාවයට පත් කාන්තාවන්ගෙන් 84%කට ආසන්න පිරිසක් බලහත්කාරයෙන්ම විවාහ දිවියට ඇතුළු කරනු ලැබූවන් බවත් තහවුරුව තිබේ. වහල් රැකියාවල නිරතව සිටින දරුවන්ගෙන් 37%ක්ද බලයෙන්ම විවාහ කරදෙනු ලැබූවන් බව ලෝක කම්කරු සංවිධානයේ නිළධාරීහු පවසති. එමෙන්ම එයින් 21%කට ආසන්න දරුවන් ප්‍රමාණයක් ලිංගික සේවා සැපයීමේ කර්මාන්තය තුළ නිරතව සිටින බවත් පැවසේ.

මිලියන සංඛ්‍යාත පිරිසක් වහල් සේවාවන්හි නිරතව සිටින බව බාහිර ලෝකයට දැනගන්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින් බව පැවසේ. එයට හේතුව අනුකම්පා විරහිතව ලෙස තමන් සේවාවන්හි යොදවාගෙන සිටින පිරිස් සම්බන්ධයෙන් හාම්පුතුන් තොරතුරු ලබා දීමට එක්කෝ අකමැත්ත පළකිරීම සහ ව්‍යාජ තොරතුරු ලබාදීමය; එසේත් නැත්නම් එම සේවකයන් රහසිගතව රඳවාගෙන සේවාවන්හි යෙදවීමය. මේ නිසා වහල් සේවයේ නියැලී සිටින සේවකයෝ, තමන් පත්ව ඇති තත්ත්වය ගැන කිසිවක් බාහිර ලෝකයට අනාවරණය කරගත නොහැකිව පසුවෙති. තර්ජනය කිරීම්, බලහත්කාරකම්, රැවටීම්, බලපෑම්වලට යටත් කිරීම, ණය තුරුස් ලබාදෙමින් සේවායෝජකයන් සමඟ සේවකයන් බැඳීම්වලට යටත් කරවාගෙන සිටීම, සේවකයන් හොර ජාවාරම්වල යෙදවීම එවැනි තත්ත්වයක් මතුවන්නට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.

වාර්තාවෙහි දැක්වෙන කරුණු අනුව රාජ්‍යය සේවාවන්හි නිරත අයගෙන් මිලියන 4.1කට ආසන්න පිරිස් කරන්නේ වහල් සේවාවන්ය. එවැනි සේවකයන් වැඩිපුරම දැකිය හැකි වන්නේ ආර්ථික සංවර්ධනය හා ඍජුවම බද්ධ වන කෘෂිකර්මාන්තය සහ ඉඳිකිරීම් ආශ්‍රිතව බැව් අනාවරණය වේ. ඒ හැරුණු විට රජයන් මඟින් පිරිස් බලහත්කාරයෙන් හමුදා සේවයට බඳවා ගැනීමත්, සිරකරුවන් නොයෙකුත් සේවාවන්හි යෙදවීමත් වහල් සේවයෙහිම කොටස් බැව් අන්තර්ජාතික කම්කරු සංවිධාන නිළධාරීහු පෙන්වා දෙති. කෘෂිකර්මාන්තය සහ ධීවර කර්මාන්තය තුළ 11% කුත්, ගෘහස්ත සේවය තුළ 24%කුත්, ඉඳිකිරීම් ක්ෂේත්‍රය තුළ 18%කුත් වහල් සේවකයන් සිටින බව කම්කරු සංවිධානයේ නිගමනයයි.

නූතන වහල්භාවය ඉතා තදින්ම ක්‍රියාත්මක වන්නේ අප්‍රිකා කලාපය තුළ බව සංඛ්‍යා ලේඛනවලින් තහවුරු වේ. එහි වෙසෙන සෑම පුද්ගලයන් 1000කින් 7.6ක් වහල් සේවයේ පීඩිතයන්ය. ආසියා සහ පැසිපික් කලාපයන් තුළ මේ තත්ත්වය මඳක් පහළ වැටී ඇති සැටියක් දැකිය හැකි බව පර්යේෂකයෝ පවසති. ඒ අනුව එහි වෙසෙන පුද්ගලයන් දහසකින් 6.1ක් වහල් සේවාවන්හි නිරත බව දැක්වේ. ආසියා සහ පැසිපික් කලාප තුළ සිටින සෑම පුද්ගලයන් දහසකින් සිව් දෙනකු බලහත්කාරයෙන් කම්කරු සේවයෙහි යොදවා ඇත. බලහත්කාරයෙන් විවාහ කරදීම අප්‍රිකාවෙහි පවතින්නේ ඉහළ මට්ටමකය. වාර්තාවෙන් අනාවරණය වන අන්දමට එහි සෑම පුද්ගලයන් දහසකින් 4.8ක් බලහත්කාර කරදෙනු ලැබූ විවාහවලින් පීඩාවට පත්වන්නෝය. මේ තත්ත්වය ආසියා පැසිපික් කලාපය තුළ ක්‍රියාත්මක වන්නේ සෑම පුද්ගලයන් දහසකටම පුද්ගලයන් දෙදෙනකු වශයෙනි. නමුත් අරාබි රටවල් සහ අමෙරිකා එක්සත් ජනපදය සම්බන්ධ දත්ත හිඟ බැව් පර්යේෂකයෝ පෙන්වා දෙති.

මේ අතර ළමයින් කම්කරු සේවයේ යෙදවීම සම්බන්ධ තොරතුරු ඇතුළත් තවත් වාර්තාවක් වෝක් ෆ්‍රී පදනම නිකුත් කර තිබේ. එම වාර්තාවෙන් කියැවෙන තොරතුරු අනුව මිලියන 152කට ආසන්න දරුවෝ පිරිසක් ලෝ පුරා කම්කරු සේවයේ නියැලී සිටිති. මෙයින් මිලියන 73කට ආසන්න දරුවන් පිරිසක් සේවය කරන්නේ තමන්ගේ සෞඛ්‍යය, ආරක්ෂාව සහ මානසික සංවර්ධනය ගැන අබමල් රේණුවකවත් සලකා බැලීමක් නොකෙරෙන භයානක රැකියාවල බැව් කියැවේ. ළමා කම්කරු සේවයේ නිරත අප්‍රිකා කලාපයේ දරුවන් ප්‍රමාණය 20%කි. එම ප්‍රමාණය ආසියා සහ පැසිපික් කලාපයේ 7%ක් පමණ වේ. කෙ‍සේ වුවද, ළමා කම්කරු සේවයේ නිරත දරුවන්ගෙන් 90%ක්ම සිටින්නේ අප්‍රිකාවේ සහ ආසියාවේ බව වාර්තාවේ සටහන්ව ඇත. කම්කරු සේවයේ නිරත දරුවන්ගෙන් තුනෙන් දෙකක්ම කරන්නේ තම පවුල්වලට අයත් ගොවිපළ හෝ පවුලට අයත් කුඩා පරිමාණ ව්‍යාපාර කටයුතු හෝ වර්ධනය කිරීමයි. සමස්ත ළමා ශ්‍රමිකයන්ගෙන් 71%ක් ශ්‍රමය වගුරුවන්නේ කෘෂිකර්මාන්තය තුළ බව තහවුරුව ඇත. එතුළ සේවයේ නිරත දරුවන් සංඛ්‍යාව මිලියන 108කට අධික බව වාර්තාවෙන් අනාවරණය වේ. වඩාත් කණගාටුදායකම කාරණය ළමා ශ්‍රමිකයන්ගෙන් 70%ක්ම අවුරුදු 5ත් 17ත් අතර දරුවන් වීමය. එනම් ඔවුන් පාසල් යන වයසේ දරුවන් වීමය. එහි අරුත, අනාගත ලෝකය භාර ගන්නට සිටින්නේ අද ළමා ශ්‍රමිකයන් ලෙස වහල් සේවයේ යෙදෙන මිලියන සංඛ්‍යාත පිරිසකගෙන් සැදුම් ලත් කණ්ඩායමක්ද යන්න මෙහිදී නොවිමසා සිටිය නොහැකිය .

CNN ඇසුරෙනි


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...