සහජ උරුමය | දිනමිණ

සහජ උරුමය

සුභාදා ගොආගෙට්

ආශ්වරී සහ මංජරීගේ කණ්ඩායම පළමුවෙනි මහලේ වැඩ කළහ. දරුවා ප්‍රසූත කිරීමේ අවස්ථාව පහසු කරනු වස් ඔවුනට සෑම දිනකම අඩ පැයක ශාරීරිකාභ්‍යාසවල යෙදීමට සිදු විය. අනතුරුව මිනිත්තු පහළොවක විවේකයක් ලැබෙන අතර එම කාලය තුළ තම මිතුරියන් සමඟ කතා කළ හැකි අතර ගැටලුවක් තිබේ නම් කණ්ඩායම් නායිකාවගෙන් විමසිය හැකිය. ඉන් අනතුරුව ඔවුනට ලිහිල් ගවුමකින් සැරසී සිටිය හැකිය. එයින් පසුව අඩ පැයක කාලයක් දිවා ආහාරය ලබා ගත යුතුය. සෑම දිනකම ඔවුනට පෝෂ්‍යජනක උණුසුම් ආහාර, ශක්තිජනක පාන සහ ඔවුන්ට නියම කර ඇති ඖෂධ සැපයේ.

දිවා ආහාරයෙන් පසු මිනිත්තු හතළිස් පහක ව්වේක කාලයකි. එය ඔවුන්ගේ මානසික සංවර්ධනය සඳහායි. මානසික සහනය ලබා දීම පිළිබඳ දේශන පැවැත්වීම සාමාන්‍ය ක්‍රමය වුවත් මෙහි දී දිග දේශන පැවත්වීමක් සිදු නොවීය. නීරස දීර්ඝ දේශන ඇසීමට ආශ්වරී තුළ කැමැත්තක් නොවීය. පළමු දිනයේම දෙදෙනාගේ කණ්ඩායම් වෙන් කුරනු ලැබීය. ආශ්වරීගේ කණ්ඩායමේ අනිත් කාන්තාව වූයේ මීනක්‍ෂියි. මීනක්‍ෂි මධ්‍යස්ථානයට පැමිණ ඇත්තේ ආශ්වරී පැමිණීමට දිනකට පෙරයි. ඇය ආශ්වරීට වඩා වැඩිමහල් වූ අතර ගැඹුරු පෙනුමකින් යුතු විය. සමහර අවස්ථාවල ඇය අප්‍රසන්න ලෙස ප්‍රතිචාර දැක්වුවාය. පළමු දිනයේම ආශ්වරීට එය අත් විඳීමට ලැබිණ.

දිවා ආහාරයෙන් පසුව ඔවුන් දෙදෙනාව කුඩා මැදිරියට කැඳවාගෙන යනු ලැබුවේය. එම මැදිරියේ උපැස් යුවළක් පැළැදි මැදිවියේ පුද්ගලයෙකි. විශ්වවිද්‍යාල ආචාර්යවරයකුගේ පෙනුමින් යුතු ඔහු ඔවුන් එනතුරු බලා සිටියේය. අාශ්වරී සහ මිනක්‍ෂි මැදිරියට ඇතුළු වූ විගසම ඔවුන්ට සුබ පැතූ ඔහු ඔවුනට අසුන් ගන්නට ඇරයුම් කළේය. 'ඉදිරි විනාඩි හතළිස් පහක කාලය ගත කරන්නෙ ඔබගෙ මානසික සංවර්ධනය වෙනුවෙන්. ඔබගෙ උපදේශකයා මමයි. මානසික සංවර්ධනය යන්න ඇත්තටම නිවැරදිම නම නොවේ. මේ කාලය යොදා ගෙන්නේ ඔබව නිස්කලංකව තැබීමටත්, ඔබගෙ දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන් මූලික අඩිතාලම දැමීමත් සඳහායි. ඔබ දන්නවා ඇති ගර්භාෂයෙ ඉන්න දරුවාට සමහර ශබ්දවලට කන් දෙන්න පුළුවන්. සමහර ශබ්ද ප්‍රතිරාවය කිරීමෙන් ගර්භාෂයෙ ඉන්න දරුවාට ඒවා අඳුරාගන්න පුළුවන් වෙනවා. මෙය අවුරුදු කිහිපයකට පෙර විද්‍යාඥයන් සොයාගත් දෙයක්. කෙටියෙන් කියනවා නම් 20 වන සියවසේ අග දී සොයාගත් දෙයක්. මේ සම්බන්ධයෙන් පැවැත්වූ දීර්ඝ පර්යේෂණවල ප්‍රතිඵලවලින් පෙන්නුම් කරනවා ගර්භාෂයෙ සිටිය දී පවා දරුවට සමහර සිතිවිලි ලබාගන්න පුළුවන් බව.”

'මෙම සොයා ගැනීම මනුෂ්‍ය වර්ගයා තැබූ යෝධ පිම්මක්. දරුවාට සුදුසු මානසික පසුබිමක් සකස් කර දිගින් දිගටම සංවර්ධනාත්මක සිතිවිලි ලබාදීමට කටයුතු කිරීමෙන් අපේක්‍ෂා කරන්නේ විනාශකාරී නැඹුරුවලින් ඔහුව ආරක්‍ෂා කිරීමයි. එනම් මේ කාලයේ තරුණයන් අතර පැතිරයන කැරලිකාර කටයුතුවලින් සහ මැරවර සහ තක්කඩි වැඩවලට සම්බන්ධ වීෙමන් වළක්වා ගැනීමයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් වැඩ වර්ජන, කැරලි, විරෝධතා ව්‍යාපාර සහ අපරාධවල ප්‍රමාණය අඩු විය හැකියි, මෙමඟින් නීතිය සහ සාමය සුරැකිය හැකි අතර වඩා සුරක්‍ෂිත ජීවිතයක් ගත කිරීමට අවස්ථාව ලැබේ. එම නිසායි ගරු අග්‍රාමාත්‍යවරයා තරුණ ගර්භනී මාතාවන් වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේ. රජය ඔබගේත් ඔබගේ දරුවගේත් වගකීම බාර ගන්නවා. ඒ සඳහා රජයේ මුදල්, කාලය සහ ශක්තිය වැයවෙනවා. රජයට අවශ්‍ය නැහැ අනාගත පරපුරේ යහපත වෙනුවෙන් කටයුතු නොකර සිටීමට”

'ඔබ ඔය තරම් පඳුර වටේ කැරකෙන්න හේතුවක් තියෙනවයි කියල මට නම් පේන්නේ නැහැ. ඔබ කෙලින්ම කාරණාවට බහින්නෙ නැත්තෙ ඇයි ?” මීනක්‍ෂි ගැඹුරු කටහඬින් ප්‍රහාරයක් එල්ල කළාය. ආශ්වරී පසුපසට විසි වුණාය. මොහොතකට ඉදිරි අසුනේ සිටි තැනැත්තියත් ගල් ගැසුනාය. බලයෙන් සිනාවක් මුවගට නගා ගනිමින් ඔහු තව දුරටත් කතා කළේය. 'මට කනගාටුයි. ඒත් මට අවශ්‍ය වුණේ අපේ ප්‍රතිකාර ප්‍රතිපත්තිය ගැන ඔබව දැනුවත් කරන්න. ඒ නිසායි මම සියලු විස්තර කීවේ. ඒ වගෙම ඔව් ඔබ මට බායි කියල කතා කරනව නම් හොඳයි. මෙහෙ සිටින හැම කෙනෙක්ම මට කතා කරන්නේ ඒ විදියටයි”

'මෙහෙම කතා කරල ඔබව පහත තත්ත්වයට හෙළන්න මම අදහස් කළේ නැහැ” මීනක්‍ෂි නැවතත් වේගවත් ප්‍රහාරයක් එල්ල කළාය. බායි තියුණු ලෙස එකටෙක කියාවියැයි ආශ්වරී අපේක්‍ෂා කළාය. එහෙත් එවැනි දෙයක් සිදු නොවීය. මොහොතක් නිහඬව සිටි ඔහු යළිත් කතා කළේය. 'මීනක්‍ෂි අද ටිකක් කලබල වෙලා වගෙයි පේන්නෙ. මම හිතනවා ඇය යෝජනා කළ පරිදි අපි වැඩ කරන එක සුදුසුයි”

අනතුරුව ඔහු ඔවුන්ව යාබද කාමරයට කැඳවාගෙන ගියේය. එය ඉඩ පහසුකම් සහිත විශාල කාමරයකි. එහි දෙකෙළවර විශාල සෝපා දෙකක්, පුටු කීපයක් සහ ඒ අසල මේස තබා තිබිණ. එහි සිටි සේවකයකු මීනක්‍ෂිව එක් කෙළවරකට කැඳවාගෙන ගිය අතර බායි ආශ්වරීව අනිත් කෙළවරට කැඳවාගෙන ගියේය. පුටුවක අසුන් ගන්නා ලෙස ඇයට උපදෙස් ලැබිණ. මේසය මත කඩදාසි කිහිපයක් සහ පටිගත කිරීමේ යන්ත්‍රයක් විය. ආශ්වරීට මුහුණ ලා තිබූ පුටුවක වාඩිගත් බායි කතා කළේය. 'මම දැන් ඔබට කියනවා ඔබගෙ දරුවා ඔබගෙ කටහඬට හුරු කරන හැටි ගැන. අපි ඒක පටිගත කරනවා පසුව ඔහුට ඇහෙන්න සලස්වන්න. එතෙක් ඔබට විවේකව සන්සුන්ව ඉන්න පුළුවන්”

'ඒත් දොස්තර මහත්මයා......බායි ළමයා පුරුද්දෙන් කටහඬට පුරුදු වුණත් ඔහු භාෂාව තේරුම් ගන්නෙ කොහොමද ? ඔහු තමන්ගෙ කනට ඇහෙන වචනවල තේරුම දැනගන්නෙ කොහොමද?”

මොහොතක් නිහඬව සිටි බායි අනතුරුව කතා කළේය. 'ආශ්වරී මම සතුටුයි ඔබ මගෙන් එවැනි ප්‍රශ්නයක් ඇසීම ගැන. බොහොම කලාතුරකින් තමයි මගෙන් එවැනි ප්‍රශ්නයක් අහන්නෙ. මම ඔබට එය පැහැදිලි කරල දෙන්නම්. ඔබ දැන් හිතන හැටි නිවැරදියි. දැරුවා මේ කිසිම ශබ්දයක් වටහා ගන්නෙ නැහැ. ඒත් එකම වචන නැවත නැවතත් ඇහෙන කොට ඒවා ඔහුගේ මතකයේ තැන්පත් වෙනවා. එම සිතිවිලි ඔහුගේම ඒවා බවට පත්වෙනවා. ඔහුගෙ මතකයෙ ඒවා තැන්පත් වෙන්නෙ තේරුමක් නැති වචන විදියට. බොහෝ විට ඒ ගැන ඔහු දන්නෙවත් නැහැ. එහෙත් ඔහු ඉපදී තේරුම් ගැනීම ආරම්භ කළාට පස්සෙ එම වචනවලට නැවත සවන් දෙනකොට ඔහුට ඒ හුරු පුරුදු වචන බව සිහිපත් වී ඒවා ඔහු තමාගේම වචන ලෙස බාර ගන්නවා. නිදසුනක් වශයෙන් සොරකම් කිරීම වරදක් බව නිතර නිතර කිව්වහම ඇත්තටම ඔහු ඉප දී වැඩුණාට පස්සෙත් ඒකම නැවතත් කියාවි. එය ඔහුගෙ මතකයේ රැඳී තියේවි. ඔහු කවදාවත් සොරකම් නොකරාවි”

අපරාධ ප්‍රමාණය අඩු වී ඇති බව ආශ්වරී අසා තිබුණාය. එහෙත් ඊට හේතුව මෙම ක්‍රමය බව ඇය දැන නොසිටියාය.

'එන්න අපි පටන් ගනිමු. මුලින් මේ කඩදාසිය කියවන්න. පසුව ඒක ශබ්ද නගා කියවන්න. මම ඒක පටිගත කරන්නම්. ඒ වගෙම තවත් කාරණයක්. සාමාන්‍ය විදියට කතා කරන්න උත්සාහ කරන්න. හොඳද ?”

බායි අතින් කඩදාසි මිටිය ගනිද් දී ආශ්වරී මීනක්‍ෂි දෙස බැලූවාය. මීනක්‍ෂි ද කිසිවක් කියවමින් සිටි අතර හෙදියක් එය පටිගත කළාය.

ඊළග සතිය ගත වූයේද ඒ ආකාරයෙනි. පළමු දින දෙක ගත වූයේ ප්‍රාථමික කටයුතු සඳහායි. ළදරු ගීතල සංගීත කාණ්ඩල මවු කිරිවල වැදගත්කම, මිතුරන් සමඟ විනෝද වීම, සණ්ඩු වීම නරකයි එයින් ඔබ ශෝකයට පත්වෙනවා වැනි පදමාලා ඇතුළත් ගීත ආදියෙන් එම වැඩසටහන සමන්විත විය. අනතුරුව උපදේශාත්මක වැංකි අඩංගු වැඩ සටහන් ඉදිරිපත් කරනු ලැබීය. ඔබ ඔබේ මවුපියන්ට කීකරු විය යුතුයි. වැඩිහිටියන්ට ගරු කළ යුතතේ ඔවුන් ඔබට අත දුන් නිසයි. අපි එකිනෙකා මත යැපෙමු, සමාජය යනු එයයි. ආත්මාර්ථකාමීත්වයට වඩා සමාජ සුබ සාධනය වැදගත් වැනි අදහස් මේ උපදේශාත්මක වැකිවලට අඩංගු විය.

සිව් දිනකට පසු අවධානය යොමු කෙරුණේ දේශප්‍රේමී හැගීම් අවදි වන සහ ජාතිය වෙනුවෙන් දිවි පිදුවනට ප්‍රණාමය පළ කිරීම වැනි කරුණුවලටයි. සෑම රටවැසියකුම තම රට වෙනුවෙන් කිසියම් කැපකිරීමක් කළ යුතු බවත් එය ඔහුගේ පළමු යුතුකම බවත් කියැවෙන දේශන පැවැත්විණ.

ඊළග දිනය වෙන් කෙරුණේ රටේ දේශපාලන ක්‍රමයට ප්‍රශංසා කිරීමටත් ලෝකයේ ඇති හොඳම ප්‍රජාතන්ත්‍රවාදය පවතින්නේ තම රටේ බව කියමින් අගය කිරීමටත්ය. මෙයට සමගාමීව පොදු ජනතාව වෙනුවෙන් කැප වූ කාර්යක්‍ෂම ආණ්ඩුව වර්ණනා කිරීමේ වැඩසටහන් විය. සෑම රට වැසියෙක්ම රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට කැමැත්තෙන්ම දායක විය යුතුය. දේශද්‍රෝහි ක්‍රියා හෙළා දුටු අතර එය බරපතල අපරාධයක් ලෙස හෙළා දැකිණ. දේශද්‍රෝහීන්ට එරෙහි වී ආණ්ඩුවට පක්‍ෂපාති වීම සෑම රට වැසියකුගේම යුතුකමති. රජයේ නියෝගවලට එරෙහිව සිදු කරන ක්‍රියා නොඉවසන අතර සෑම රට වැසියකුගේම පරම යුතුකම තම රටට පක්‍ෂපාතී වීමයි. පටිගත කිරීමේ යන්ත්‍රවලන් ඇසුණ පොදු හඬ එය විය.

එදින ආශ්වරී ආපසු නිවසට පැමිණියේ පටිගත කිරීමේ යන්ත්‍රවලින් කියැවුණ පණිවිඩ ගැන සිතමිනි. ඇය එම පණිවිඩ තම කුසේ සිටින දරුවාට ගිරවියක මෙන් පැවසිය යුතු වන්නීය. ඇය තනිවම කල්පනා කළාය. මම මගේ කුසේ ඉන්න දරුවට උපදින්න ඉස්සෙල්ලාම කියන්න ඕනෙද? ආණ්ඩුවට පක්‍ෂපාත වෙන්න කියල. රජයේ වැඩසටහන්වලට එරෙහි වන්නවත් කැරලි ගසන්නවත් එපැයි කියල? ඕනෑම රටක, ඕනෑම කාලයක තියෙන ආණ්ඩුවට පක්‍ෂපාතී වීම වැසියන්ගේ යුතුකම. ඒත් එයින් අදහස් වෙන්නෙ නැහැ ආණ්ඩුව කරන හැම දෙයක්ම අන්ධයකු ලෙසින් පිළිගත යුතුයි කියල? මම මගෙ දරුවට මේ අවස්ථාවෙ මේ හැගීම් දිය යුතුද ? ආශ්වරී දවසේ ඉතිරි කොටස ගත කළේ අසහනයෙනි. පසු දින මංජරී සමඟ මේ පිළිබඳ සාකච්ඡා කිරීමට ඇය තීරණය කළාය.

තවත් කොටසක් ලබන සතියේ...

අනුවාදය බොබී ජී බොතේජු


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...