ලට-පට කෑමේ ජීවිත අවධානම | දිනමිණ

ලට-පට කෑමේ ජීවිත අවධානම

මංජුලා විජයරත්න

ව්‍යාධීන් නිසා ජීවිතක්ෂයට පත් වන සෑම පුද්ගලයන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුගේ මරණය, සෞඛ්‍යය සම්පන්න නොවන ආහාර චර්යාව සමඟ බැඳී පවතින බව පර්යේෂණයකින් අනාවරණය වේ. පර්යේෂණය සිදු කර තිබෙන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසකි. ඔවුන් පෙන්වා දෙන අන්දමට මිනිසකුගේ ජීවිත කාලය කෙතරම් කෙටිදැයි තීරණය කරන්නට, ආහාර භාවිතයේ අන්ත දෙකකින් එකක් හේතු වේ. ඉන් පළමු වැන්න නිසි පෝෂ්‍යය පදාර්ථවලින් තොර ආහාර පාන භාවිතයට ගැනීමය. එවැනි ආහාර වැඩිපුර භාවිතයට ගන්නේ අඩු ආදායම් ලබන රටවල වෙසෙන ජනයා බැව් පර්යේෂකයෝ පෙන්වා දෙති. දෙවැනි ඛණ්ඩයට අයත් වන්නේ සෞඛ්‍යය සම්පන්න නොවන අන්දමට පෝෂ්‍යය පදාර්ථ බහුල කෑම බීම නිතර නිතර ආහාරයට ගැනීමය. මේ අන්දමේ ආහාර පානවලින් සප්පායම් වන්නේ ඉහළ ආදායම් ලබන රටවල සිටින ජනයා බැව් අනාවරණය වී ඇත. සමස්තයක් හැටියට ගත් කළ මිනිසුන්ගේ සාමාන්‍යය කෑම වේලක පළතුරු, එළවළු, ධාන්‍යය වර්ග, ඔමේගා -2 මේද අම්ල, මාළු සහ මස් අඩංගු වන්නේ අවශ්‍ය තරමටත් වඩා අඩුවෙනැයි විද්‍යාඥයෝ පවසති. එසේ වුවත් සීනි, ලුණු, සංතෘප්ත මේදය බහුලව අඩංගු ආහාර සහ පාන වර්ග වැඩි වශයෙන් භාවිතයට ගැනීම සුලභ දෙයක් බවට පත්ව ඇත. ප්‍රධාන ආහාර වේල් මේ අන්දමට අවිධිමත් ලෙස ගන්නා අතර තුර නොයෙකුත් ලට - පට කෑම වර්ග හෙවත් “ජන්ක් ෆුඩ්” අනුභවයට ඉතා තදින්ම මිනිසා ඇබ්බැහි වී සිටී. සෞඛ්‍යය සම්පන්න නොවන මේ ආහාර චර්යාව නොයෙක් ආකාරයේ ශාරීරික සහ මානසික විසංවිධානාත්මක තත්ත්වයන් මිනිසා තුළ ඇති කරන්නට හේතුවක් බැව් විද්‍යාඥයෝ අවධාරණය කරති. එය කෙතරම් භයානක මට්ටමක පවතීදැයි කියා කිවහොත් ලෝක ජනගහනයෙන් සෑම පුද්ගලයන් හත් දෙනෙකුගෙන් එක් අයෙකුම එවැනි විසංවිධානාත්මක තත්ත්ව නිසා පීඩා විඳින බව අනාවරණය වී තිබේ. එබඳු පුද්ගලයන් ප්‍රමාණය සංඛ්‍යාත්මකව දැක්වුවහොත් බිලියන 1.1කට ආසන්නය. එහිලා විශාදය වැනි මානසික රෝග තත්ත්ව කැපී පෙනෙන බව පර්යේෂකයෝ පවසති.

වළක්වා ගත හැකි මරණ වැඩිම ගණනක් සිදු වන්නේ දුම්පානය නිසාය. වළක්වා ගත හැකි මරණ සංඛ්‍යාවක් මීළඟට වැඩියෙන් සිදුවන්නේ වැරදි ආහාර චර්යාවන් නිසාය යන්න දැන් තහවුරු වී තිබේ. දියවැඩියාව, අධික රුධිර පීඩනය, ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ නැඟීම, හදවත් රෝග, චිත්ත වික්ෂිප්තභාවයන්, පිළිකා මෙන්ම ස්ථුලතාව වැනි තත්ත්ව මිනිස් සිරුර තුළ ඇති වන්නට ආහාර භාවිතයේ වැරදි බෙහෙවින්ම ඉවහල් වේ. ඒ අනුව මනුෂ්‍යය මරණවලින් 72%ක්ම සිදු වන්නේ බෝ නොවන රෝග නිසා බව විද්‍යාඥයන්ගේ මතයයි.

යට කී පර්යේෂණයට සහභාගී වූ වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ක්‍රිස්ටෝපර් මුරේ මේ භයානක තත්ත්වය පහදා දෙන්නේ මෙසේය.

“... ඇත්තටම ලෝකයට මෙය ගැටලු සහගත තත්ත්වයක්. එන්න එන්නම නරක අතට හැරෙමින් තිබෙන්නේ. එය සෞඛ්‍යයට බරපතල අභියෝගයක් වෙමින් තිබෙන්නේ. ...” එසේ වුවත් ප්‍රතිපත්ති සකසන්නන් ආහාර සහ සෞඛ්‍යය දෙසට ඒ හැටි අවධානය යොමු කරන බවක් තමන්ට දක්නට නොලැබෙන බව ආචාර්ය ක්‍රිස්ටෝපර් මුරේ වැඩි දුරටත් පවසා තිබිණ.

මිනිසුන්ගේ ආයු අපේක්ෂාව මේ වන විට ඉහළ මට්ටමක පවතින බව ජනගහනය පිළිබඳ පර්යේෂණ පවත්වන විද්‍යාඥයෝ පෙන්වා දෙති. 2016 වසරේ ඉපැදුණු ගැහැනියකගේ ආයු අපේක්ෂාව වසර 75.3ක් පමණ වේ. ඒ වසරේ ඉපැදුණු පිරිමියකුගේ ආයු අපේක්ෂාව වසර 69.8ක් පමණ වන බව පැවසේ. එසේ වුවත් ජපාන ජාතිකයන් වැඩිම ආයු ප්‍රමාණයක් භුක්ති විඳින බව අනාවරණය වේ. ජපාන ජාතිකයකුගේ ආයු අපේක්ෂාව අවුරුදු 84කි. නමුත් මධ්‍යම අප්‍රිකා ජනරජ වැසියකු භුක්ති විඳින්නේ ලොව අඩුම ආයු අපේක්ෂාවකි. 2016 වසරේදී එරට ඉපැදුණු පුද්ගලයකුට වසර 50 වඩා වැඩි කාලයක් ජීවත්වීම බලාපොරොත්තු විය නොහැකි බැව් විද්‍යායාඥයෝ පවසති. ලොව බොහෝ රටවල වැසියන්ගේ ආයු අපේක්ෂාව ඉහළ ගොස් තිබෙන්නේ නූතන සෞඛ්‍යය පහසුකම් දියුණු මට්ටමක තිබීම හේතුවෙනි. නමුත් රෝගී තත්ත්වවලින් පීඩා විඳිමින් දීර්ඝ කාලයක් ජීවත්වීමේ ඵලය කුමක්දැයි කියන තර්කය දැන් නැඟෙමින් පවතී.

සෞඛ්‍යය සම්පන්න ආහාර වේලක් ගැනීම ලෝක ජනගහනයෙන් විශාල පිරිසකට අසීරු කටයුත්තක් බවට පත්ව තිබෙන්නේ ආහාර අර්බුදයක් ද මතුව ඇති නිසාය යන්න අවිවාදයෙන් තොර කාරණයකි. කාලගුණික විපර්යාස, ජනගහනය බෙදී යාමේ අසමබරතාව වැනි සාධක ඊට මුල් වී තිබේ. එනිසා දකුණු සුඩානය, සෝමාලියාව, නයිජීරියාව සහ යේමනය යන රටවල් කිහිපයේ පමණක් මිලියන 20කට ආසන්න සංඛ්‍යාවක් කුස ගින්නේ සිටින බව 2017 - ජගත් සංවිධාන වාර්තාවක් පෙන්වා දෙයි. ආහාර අර්බුදය හේතුවෙන් සෞඛ්‍යය සම්පන්න ආහාර වේලක් ලබන්නට බැරි කවර තරමේ පිරිසක් ලොව සෙසු කලාප තුළ සිටිත්ද?. ඒ හැරුණු විට ආර්ථික පහසුතා, ස්ත්‍රී පුරුෂ සමාජ සම්භවය, ප්‍රවාහන ගැටලු, නූගත්කම ආදී තත්ත්ව හේතුවෙන් බඩගින්නේ සිටින ලෝකවාසීන් සංඛ්‍යාව ද කෙළවරක් නැත. වොෂින්ටන් විශ්වවිද්‍යාලීය පර්යේෂකයන් පෙන්වා දෙන අන්දමට මෙවැනි ගැටලුවලින් පීඩා විඳිමින් බඩගින්න උහුලන වැඩි පිරිසකගේ අනාගත ඉරණම ඉක්මන් අකල් මරණයක් බව පෙනෙන්නට තිබීම අවාසනාවකි.

theguardian ඇසුරෙනි


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...