සාධනීය යෝජනා වෙනුවෙන් පක්ෂ විපක්ෂ සැම ඒකරාශී කරගන්න හැකියාව තිබෙනවා | දිනමිණ

සාධනීය යෝජනා වෙනුවෙන් පක්ෂ විපක්ෂ සැම ඒකරාශී කරගන්න හැකියාව තිබෙනවා

සිතාරා සේනානි

සාධනීය යෝජනා වෙනුවෙන් පක්ෂ විපක්ෂ සියලු පක්ෂ ඒකරාශී කර ගැනීමට ආණ්ඩුවට හැකියාව තිබෙන බව පළාත් සභා මැතිවරණ ඡන්ද විමසීම් (සංශෝධන) පනත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ වැඩි ඡන්දයෙන් සම්මත කර ගැනීමට හැකිවීමෙන් පෙනී යන බව පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතා පවසයි.

'ආණ්ඩුව අද වට්ටනවා, හෙට වට්ටනවා' යැයි කියන පිරිසට මෙම ඡන්ද විමසීමේදී ලබා ගත හැකිවූයේ ඡන්ද 43ක් පමණක් යැයිද ඇමැතිවරයා සඳහන් කරයි.

ඇමැති ෆයිසර් මුස්තාපා මහතා මේ බව පැවැසුවේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ඊයේ (21) පැවැති මාධ්‍ය හමුවේදී ය.

එහිදී අදහස් දැක්වූ ඇමැතිවරයා, නව පනත හේතුවෙන් ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභා මැතිවරණවලදී මනාප ක්‍රමය අහෝසි වන බවත්, කොට්ඨාස පදනමින් 50% සහ සමානුපාතික ක්‍රමයෙන් 50%ක් වශයෙන් සභිකයන් තෝරා ගැනෙන බවත්, ජනගහනයෙන් 52%ක් වන කාන්තාවන්ට සාධාරණත්වය ඉටු වන පරිදි 25% නියෝජනයක් ලබා දීමට පියවර ගැනෙන බවද කීය. පළාත් පාලන මැතිවරණ ඡන්ද විමසීම් පනත අනුව හඳුන්වා දී ඇති 60% - 40% අනුපාතය පළාත් සභා මැතිවරණ ඡන්ද විමසීම් (සංශෝධන) පනතෙන් 50%- 50% වශයෙන් වෙනස්වී ඇතැයි ද පැවැසීය.

එසේම, කොට්ඨාස සීමා නීර්ණය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් නව සීමා නීර්ණ කමිටුවක් පත් කෙරෙනු ඇති බවද, එම කමිටුව මාස 4ක් ඇතුළත එම කාර්යය අවසන් කළ යුතුව ඇති බවද ඇමැතිවරයා පැවැසීය. මෙසේ පත් කරනු ලබන කමිටුවේ වාර්තාව ලැබීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගනු ඇති බවත්, එහිදී එය තුනෙන් දෙකේ බහුතර ඡන්දයෙන් සම්මත වුවහොත් කථානායකවරයා විසින් අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සියලු ජනවර්ග නියෝජනය වන පරිදි 5 දෙනකුගෙන් යුත් විමර්ශන කමිටුවක් වෙත එය යොමු කෙරෙන බවත්, එම කමිටුව කළ යුතු වෙනස්කම් ද සහිතව මාස දෙකක් ඇතුළත අදාළ වාර්තාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එතුමා එය ප්‍රකාශයට පත් කිරීමටත් නියමිත බවත් සඳහන් කළේය.

පළාත් සභා මැතිවරණය සඳහා ඡන්ද කොට්ඨාස කැඩීමේදී දැනට තිබෙන පරිපාලන දිස්ත්‍රික්ක සඳහා මැතිවරණ කොමිසම විසින් තීරණය කරනු ලබන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 50%ක් ලෙස සැලකිල්ලට ගනිමින් ඡන්ද කොට්ඨාස නීරණය කළ යුතු වේ. මෙම නව ක්‍රමය පෙර පැවැති මැතිවණ ක්‍රම දෙකේ ම අඩුපාඩු ඉවත් කිරීමේ අරමුණ ඇතිව එම ක්‍රම දෙකේ ම සංකලනයක් ලෙස නව ක්‍රමය හඳුන්වා දී ඇතැයි ද කීය.

පාර්ලිමේන්තුවේ පෙරේදා (20) සම්මත වූ නව පනත සියලු පළාත් සභා මැතිවරණ එකවර පැවැත්වීම සඳහා ඉදිරිපත් කළ යෝජනාව නොවන බවද, නව පනත ඉදිරියේදී නිල කාලය අවසන් වන පළාත් සභා තුන වෙනුවෙන් මුලින් ම යොදා ගැනෙන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

එමෙන්ම ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ සියල්ල ලබන වසරේ මාර්තු මාසය වනවිට පවත්වා අවසන් කරන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇතැයි කී ඇමැතිවරයා, එහෙයින් ඉදිරියේදී නිල කාලය අවසන් වන පළාත් සභා තුනේ මැතිවරණය ලබන මාර්තු මාසය වනවිට පැවැත්වීමට හැකිවනු ඇතැයිද කීය.

හිටපු ඇමැති අතාවුද සෙනෙවිරත්න මහතා ද මෙහිදී අදහස් දැක්වීය. 

නව අදහස දක්වන්න