සෙමි ලක්සරි කරදරයි | දිනමිණ

සෙමි ලක්සරි කරදරයි

මෙරට මගී ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතාවයන් උදෙසා පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ මගින් ඉටුවන මෙහෙය සුළු පටු කොට තැකිය නොහැක. සාමාන්‍ය මගී බස් රථ මෙන්ම වායු සමීකරණය කරන ලද සුඛෝපභෝගී බස් රථ සහ සෙමි ලක්සරි බස් සේවයද අද වනවිට මෙරට මගී ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතාවයන් උදෙසා භාවිතා වෙයි. එහෙත් මගී ජනතාවගේ මුදල් ගසා කන සෙමි බස්රථ සේවාව හුදෙක් මගී ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතාවයන් සඳහා සක්‍රීය දායකත්වයක් ලබා දෙන්නේද යන්න බරපතළ ලෙස විමසිය යුතුම කරුණකි.

සෙමි ලක්සිරි බස් රථ සඳහා සාමාන්‍ය ගමන් ගාස්තුව මෙන් එකහමාරක වටිනාකමකින් යුතු ටිකට්පත් නිකුත් කරනු ලබන අතර එහෙත් ඇතැම්විට සෙමි ලක්සිරි බස් රථවල ප්‍රධාන දොරටුවල පවා මගී ජනතාව පටවාගෙන යනු ලබයි. මේ හේතුවෙන් මෙම බස්රථවල ගමන් ගන්නා මගී ජනතාවට වැඩි වියදමක් දැරීමට සිදු වේ. මෙය අතිශයින්ම අසාධාරණ සහගත ක්‍රියාවලියකි. පසුගිය රජය මගින්ද සෙමි ලක්සරි සේවාව අහෝසි කර එය සාමාන්‍ය බස් රථ සේවාවක් බවට පත් කිරීම පිළිබඳව අවධානය යොමුව තිබුණද එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමක් සිදුවූයේ නැත. ඇතැම්විට පොලිස් නිළධාරින් පවා ආසන ගණනට වඩා මගීන් රැගෙන යන බස්රථවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන අවස්ථා දැකගත හැකිය. එහෙත් මගීන්ට එයින් සාධාරණයක් ඉටු වන්නේදැයි යන්න සැක සහිතය. වඩාත් ප්‍රායෝගික වන්නේ මෙම බස්රථ සේවාව අහෝසි කර මෙය සාමාන්‍ය බස් රථ සේවාවක් බවට පත්කිරීම බව ප්‍රවාහන ක්ෂේත්‍රයට සම්බන්ධ විද්වතුන්ගේ අදහස වී තිබේ. එබැවින් මගී ජනතාවට වඩාත් ගුණාත්මක වූ ප්‍රවාහන සේවාවක් සැපයීම උදෙසා රජය මගින් මෙම සෙමි බස් සේවාව වහාම සාමාන්‍ය බස් සේවාවක් බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු සකස් කළ යුතුය. එය වඩාත් ජනතාවාදී ක්‍රියාවක් වන බව සිහිකළ යුතුව ඇත.

මේ සඳහා ප්‍රවාහන අමාත්‍යවරයාගේත්, නියෝජ්‍ය ප්‍රවාහන අමාත්‍යවරයාගේත් මැදිහත්වීම දැඩිව අවශ්‍යව තිබේ. ජනාධිපතිවරයාද ඍජුවම මේ පිළිබඳව ක්‍රියාත්මක වීමට කැපවිය යුතුව ඇත.

ආර්.එම් කසුන් බුද්ධික රත්නායක
පන්නල , යටිගල්ඔලුව
පොල්ගහවෙල

නව අදහස දක්වන්න