පිළිකා සරණ භාරයට චීන සහාය | දිනමිණ

පිළිකා සරණ භාරයට චීන සහාය

ගෙවී ගිය කාලය තුල ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් නිහඬව නමුත්,  ප්‍රභලතම සහාය ලබා දුන් චීනය,  ඉදිරියේදී පිලිකා රෝගයෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකික ජනතාව ඉන් මුදවාලීම සඳහා තම විශේෂඥ දැනුම සහ වෙනත් සෞඛ්‍ය ආධාර ශ්‍රී ලංකාවට ලබා දීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති යී. ෂියැන් ලියැන්ග් මහතා අවධාරණය කළේය.

ශ්‍රී ලංකා පිළිකා සරණ භාරය මගින් පිළිකා රෝගීන්ට සහනය සැලසීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති පිලිබඳ නිරීක්ෂණය කිරීම සහ ඊට සහාය දැක්වීම පිණිස ඊයේ (2017-09-21)  පස්වරුවේ මහරගම අපේක්ෂා රෝහලට නුදුරින් පිහිටි පිළිකා සරණ භාරයේ ප්‍රධාන කාර්යාලය වෙත පැමිණි චීන තානාපති යී.ෂියැන් ලියැන්ග් මහතා සහ එම මහත්මිය ඇතුළු දූත පිරිස අපේක්ෂා රෝහලේ ළමා ප්‍රතිකාර ඒකකය ද නිරීක්ෂණය කළහ.

ආගමික, සංස්කෘතික ආර්ථික, අධ්‍යාපනික,රාජ්‍ය තාන්ත්‍රික හා සෞඛ්‍ය ආදී සෑම ක්ෂේත්‍රයකදීම චීනය ශ්‍රී ලංකාවේ ශක්තිමත් මිතුරෙකු ලෙස කැප වන බව ද ෂියැන් ලියැන්ග් මහතා  සපථ කළේය.

මෙහිදී පිළිකා සරණ භාරය වෙනුවෙන් අදහස් දැක්වූ එහි සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගීන් ඉන් මුදාගැනීම සඳහා වැඩිම සහයක් ලබාදෙමින් සිටින චීනය, පිළිකා රෝගීන් පිලිබඳව ද සිය අවධානය මෙලෙස යොමු කිරීම විශාල අස්වැසිල්ලක් බව පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාව තුළ පිළිකා රෝගය ව්‍යාප්තව ඇති ආකාරය සහ එහි අනාගත අභියෝග පිලිබඳවත් පිළිකා සරණ භාරය, පිළිකා සරණ සංගමය සහ සහන සත්කාර භාරය එක්ව ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක් පිලිබඳවත් පුළුල් පැහැදිලි කිරීමක් වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පිරිස වෙත ඉදිරිපත් කරන ලදී.

මෙම අවස්ථාවට පිළිකා සරණ භාරයේ භාරකාර මණ්ඩලය නියෝජනය කරමින් වෛද්‍ය ලංකා ජයසූරිය දිසානායක, මහාචාර්ය වෛද්‍ය ඉන්ද්‍රානි මුණසිංහ, නන්දලාල් හෙට්ටිආරච්චි, නිසංසලා රාජපක්ෂ යන අය සහ නේපාලයේ හිටපු                  ශ්‍රී ලංකා තානාපති  තොසපාල ලියනගේ යන මහත්වරු ද එක් වූහ.   පිළිකා සරණ භාරය වෙත පැමිණි චීන තානාපතිවරයා ඇතුළු දූත පිරිස චීන බසින් ආමන්ත්‍රණය කරමින් ශ්‍රී ලාංකික දරු දැරියන් විසින් පිළිගනු ලැබීම ද විශේෂත්වයකි.  

අපේක්ෂා රෝහලේ ළමා සත්කාර ඒකකයේ කටයුතු නිරීක්ෂණය කිරීමට පැමිණි චීන තානාපතිවරයාව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය විල්ෆ්‍රඩ් කුමාරසිරි මහතා ප්‍රමුඛ නිලධාරීන් විසින් පිළිගනු ලැබූ අතර,  ළමා සත්කාර ඒකකයේ සංවර්ධන කටයුතු පිළිබඳ ව්‍යාපෘති වාර්තාවක් ද තානාපතිවරයා වෙත පිළිගන්වන ලදී.  

නව අදහස දක්වන්න