ලලිත්ට අනූෂට එරෙහි නඩුවේ තීන්දුව | දිනමිණ

ලලිත්ට අනූෂට එරෙහි නඩුවේ තීන්දුව

විදුලි සංදේශ නියාමක කොමිෂන් සභාවට අයත් රු. මිලියන 600 ක මුදලක් සිල් රෙදි බෙදාදීමේ වැඩසටහනක් සඳහා යොදාගැනීමෙන් එම මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට වරදකරුවන් වූ හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග විදුලි සංදේශ නියාමක කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන අයට එරෙහිව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් පසුගිය 07 වැනිදා ප්‍රකාශයට පත්කළ නඩු තීන්දුව අද සිට පළවෙයි.

කොළඹ අධිකරණ කලාපයේ මහාධිකරණ විනිසුරු කේ. එම්. ගිහාන් එච්. කුලතුංග මැතිතුමන් ඉදිරිපිටදී ය.

කොළඹ මහාධිකරණ අපරාධ නඩු අංකය: HC 8026/2015
නීතිපතිගේ අංක: CR5/06/2015
දිනය: 2017-09-07
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
-පැමිණිල්ල
එරෙහිව:
01. විතාන පැල්පිට කෝරාලාගේ අනුෂ පැල්පිට
02. ලලිත් චන්ද්‍රකුමාර වීරතුංග
-විත්තිකරුවන්
තීන්දුව

මෙම නඩුවේ දී ගරු නීතිපතිතුමා විසින් විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති අධිචෝදනා පත්‍රයේ ඉදිරිපත් කර ඇති චෝදනාවන් ‍වන්නේ,

වර්ෂ 2014 ක් වූ ඔක්තෝබර් මස 30 වන දින සහ 2015 ක් වූ ජනවාරි 05 වන දින අතර කාලය තුළ දී මෙම අධිකරණයේ බලසීමාව තුළ කොළඹ දී යුෂ්මතුන් පැමිණිල්ල නොදත් අන් අය සමඟ ශ්‍රී ලංකා විදුලි සංදේශක නියාමක කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600 ක මුදලක් 1996 අංක 27 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනතින් සංශෝධිත 1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ ප්‍රතිපාදනවලට පටහැනිව සිල් රෙදි ලබාදීමේ වැඩසටහනක් සඳහා ජනාධිපති ලේකම් නමින් ලංකා බැංකුවේ තැප්‍රොබේන් ශාඛාවේ පවත්වාගෙන යනු ලබන අංක 7040016 දරන ගිණුමට ප්‍රේෂණය කිරීමේ හෝ එසේ වීමට සැලැස්වීමෙන් එකී මුදල වංක ලෙස සාවද්‍ය පරිහරණය කිරීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 386 වන වගන්තියේ දැක්වෙන පරිදි දේපළ වංක ලෙස සාවද්‍ය පරිහරණය කිරීමේ වරද සිදුකිරීම සඳහා හෝ එකී වරද කිරීමට අනුබල දීමට එකඟවීමෙන් හෝ එකී වරද සිදුකිරීමේදී හෝ සිදුකිරීම සඳහා හෝ එකී වරද සිදුකිරීමට හෝ අනුබල දීමේ දී හෝ අනුබල දීම සඳහා හෝ පොදු අරමුණක් සහිතව එක්ව ක්‍රියා කිරීමට එකඟවීමෙන් එකී වරද සිදුකිරීමට හෝ එකී වරද සිදුකිරීමට අනුබල දීමට කුමන්ත්‍රණ කළ බව ද, එකී කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් වශයෙන් එකී දේපළ වංක ලෙස සාවද්‍ය පරිහරණය කිරීමේ වරද සිදුකරන ලද බැවින් යුෂ්මතුන් දණ්ඩ නීති සංග්‍රහයේ 113 (ආ) සහ 102 වන වගන්ති සමඟ කියවිය යුතු 386 වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකළ බවය.

ඉහත චෝදනාවේ සඳහන් වේලාවේ දී ස්ථානයේ දී සහ එකී ක්‍රියාකලාපයේ දීම ඉහත නම සඳහන් පළවන චුදිත වන යුෂ්මතා ශ්‍රී ලංකා විදුලි සංදේශක නියාමක කොමිෂන් සභාව සතු රුපියල් මිලියන හයසියයක මුදලක් වංක ලෙස සාවද්‍ය පරිහරණය කිරීමෙන් එනම්, එම මුදල 1996 අංක 27 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ (ස‍ංශෝධන) පනතින් සංශෝධිත 1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ ප්‍රතිපාදනවලට පටහැනිව සිල් රෙදි ලබාදීමේ වැඩසටහනක් සඳහා ජනාධිපති ලේකම් නමින් ලංකා බැංකුවේ තැප්‍රොබේන් ශාඛාවේ පවත්වාගෙන යනු ලබන අංක 7040016 දරන ගිණුමට ප්‍රේෂණය කිරීමෙන් හෝ එසේ වීමට සැලැස්වීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 386 වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කළ බවය.

ඉහත පළවන චෝදනාවේ සඳහන් වේලාවේදී ස්ථානයේ දී සහ එකී ක්‍රියාකලාපයේ දීම ඉහත නම් සඳහන් දෙවන චුදිත වන යුෂ්මතා ඉහත දෙවන චෝදනාවේ සඳහන් වරද සිදුකිරීමට පළවන චුදිත හට අනුබල දුන් බව ද එකී අනුබල දීමේ ප්‍රතිඵලයක් වශයෙන් එකී වරද සිදුකරන ලද බැවින්, යුෂ්මතා දණ්ඩ නීති සංග්‍රහයේ 102 වන වගන්තිය සමඟ කියවිය යුතු 386 වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කළ බවය.

මෙම චෝදනාවන් කියවා දී විත්තිකරුවන් නිවැරදිකරුවන් කීමෙන් අනතුරුව නඩු විභාගය ආරම්භ කර ඇත.

මෙම චෝදනා ඔප්පු කිරීම සඳහා පැමිණිල්ල විසින් පැ. සා 01 හෙට්ටිආරච්චිගේ සුමතිපාල, පැසා 02 මොහොමඩ් ෆෙරෝස් හාජි අන්වර්, පැසා 03 අබුකර් අද්වානි, පැසා 05 අමරසිංහ ලේකම්ගේ දොන් ගුණරත්න, පැසා 13 උල්ලුවිස් හේවාගේ චම්ලි ප්‍රියන්ත, පැසා 14 මල්ලිකා කංකානමලාගේ ජයන්ත, පැසා 15 වටිනාපහ සෝමානන්ද ස්වාමීන් වහන්ස, පැසා 16 ඩබ්ලිව්. මහින්ද දේශප්‍රිය, පැසා 17 සෙයිෂ සහබ්ද්දීන් මොහොමඩ් සාකිර්, පැසා 18 හේවගේ අනුර සිරිවර්ධන, පැසා 20 රුවිනි සෞම්‍යා ගුණරත්න යන සාක්ෂිකරුවන්ගේ සාක්ෂි කැඳවීමෙන් අනතුරුව පැමිණිල්ලේ නඩුව අවසන් කර ඇති අතර විත්ති වාචකය කැඳවීමට තීරණය කර, 01 සහ 02 විත්තිකරුවන්ට අයිතිවාසිකම් පහදාදීමෙන් අනතුරුව, 01 වන විත්තිකරු විසින් විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කරමින් සහ 02 වන විත්තිකරු විසින් සාක්ෂි කූඩුවට නැඟ සාක්ෂි ලබාදීමෙන් අනතුරුව විත්තිය අවසන් කරන ලදී. දෙපාර්ශ්වයම වාචික දේශන සිදුකර, ලිඛිත දේශන ද ඉදිරිපත් කරන ලදී.

මෙම නඩුවේ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි සම්පිණ්ඩනය කිරීමට ප්‍රථමයෙන් මෙම නඩුව තීරණය කිරීමේදී පොදුවේ අනුගමනය කළ යුතු නීතිමය සිද්ධාන්තයන් සහ සංකල්ප සිහිපත් කර සිටීම සුදුසු බව සලකමි. අපරාධ නඩුවක විත්තිකරුවෙකුට එරෙහිව චෝදනාවක් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තා වුව ද, සෑම අවස්ථාවකම එම චුදිතට නිර්දෝෂිභාවයේ පූර්ව නිගමනයේ වාසිය නඩුව පුරාවටම පවතින බව සිහිපත් කරමි. එනම් විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කරන තෙක් නිර්දෝෂිභාවයේ පූර්ව නිගමනය පවතිනු ඇත.

තවද අපරාධ නඩුවක විත්තියට තම නිර්දෝෂිභාවය ඔප්පු කිරීමට කිසිදු වගකීමක් නැත. එසේ හෙයින් එකී ‍නිර්දෝෂි භාවයේ පූර්ව නිගමනය බිඳහෙළීමට පැමිණිල්ල විසින් අදාළ චෝදනාව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීම සිදු කළ යුතුය. ඒ අනුව, මූලිකවම පැමිණිල්ල විසින් චෝදනාව සම්බන්ධයෙන් ප්‍රබල සාක්ෂි ඉදිරිපත් කිරීමට අපොහොසත් වුවහොත් විත්ති වාචකය සැළකීමකින් තොරව වුව ද විත්තිකරු නිදොස් කොට නිදහස් කළ යුතු වේ. පැමිණිල්ල ප්‍රබල නඩුවක් ගොඩනඟා ඇති බවට මෙම අධිකරණයට පෙනී යන්නේ නම් විත්තියේ සාක්ෂි සළකා බලනු ලැබේ.

ඉන් අනතුරුව විත්තියේ සාක්ෂි ප්‍රකාශවල පිළිගත හැකි භාවය සළකා බලන අතර, අපරාධ නඩුවක විත්තිකරුට නිහඬව සිටීමේ අයිතියක් ඇත. විත්තිකරුවෙකු නිහඬව සිටීම යන කරුණ ඔහුට එරෙහිව අගතිදායි අනුමිතියකට පැමිණීම සඳහා හේතුවක් නොවිය යුතු අතර දුර්වල නඩුවක් තහවුරු කිරීමට එම නිශ්ශබ්දව සිටීම යොදා ගැනීමට හැකියාවක් නොමැත. මෙවැනි ‍අපරාධ නඩුවක චෝදනාව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී ඇද්ද යන්න තීරණය කිරීමේ දී පැමිණිල්ල විසින් ප්‍රබල නඩුවක් ගොඩනඟා ඇති අවස්ථාවකදී අධිකරණය විසින් විත්තියේ ප්‍රකාශ හා සාක්ෂි, යෝජනා හා ස්ථාවරයන් සැළකීමෙන් පසුව අධිකරණය ඉදිරියේ ඉදිරිපත් වී ඇති සියලු සාක්ෂි සළකා බැලීමෙන් අනතුරුව අවසාන තීරණයකට එළඹිය යුතු වේ.

විත්තිකරුවෙකුට විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කිරීමට අයිතියක් ඇති අතර එවැනි ප්‍රකාශයක් කළ විට අනෙකුත් සාක්ෂි මෙන් එම ප්‍රකාශය ද සාක්ෂියක් වශයෙන් සළකා බැලිය යුතු අතර, විත්තියේ සාක්ෂි හෝ ප්‍රකාශ පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට නොහැකි නම්, එහි වාසිය විත්තියට ලබා දිය යුතු වේ. එය පිළිගන්නේ නම් ද එහි වාසිය විත්තියට ලබාදිය යුතු වේ.

අපරාධ නඩුවක ඉදිරිපත් කර ඇති සාක්ෂි සළකා බැලීමේදී අධිකරණය විසින් එම සාක්ෂිකරුවන්ගේ සාක්ෂිවල පිළිගත හැකි භාවය සළකා බැලීමේදී දැනට පොදුවේ භාවිතා වන සාක්ෂි දීමේ විලාශය ප්‍රමාදයකින් තොරවීම ඒකාකාරීභාවය විය හැකි භාවය ඇතුළු පරීක්ෂාවන් යොදා ගනු ලැබේ.

මෙම පරීක්ෂණයන්ට පාදක වන වැදගත් කරුණක් වන්නේ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි මත පරස්පරතාවයන් ලකුණු කර තිබීම හෝ ඌණතාවයන්ට අධිකරණයේ අවධානය යොමු කිරීමයි. මෙවැනි පරස්පරතාවයන් හෝ ඌණතාවයන් වෙන් වෙන්ව සළකා බලා එමඟින් පැමිණිල්ලේ නඩුවේ අරටුවට යම් හානියක් සිදු වන්නේ ද යන්න අධිකරණය විසින් ද සුපරීක්ෂාකාරීව සළකා බැලිය යුතුය. යම් හෙයකින් නඩුවේ හරයට බලපාන ආකාරයේ පරස්පරතාවයන් හෝ ඌණතාවයන් ඇති අවස්ථාවකදී එහි වාසිය විත්තියට ලබා දිය යුතු වේ. එසේ වුවද එම පරස්පරතා හෝ ඌනතා නඩුවේ හරයට බලපාන්නේ නොමැති බවට මා සෑහීමකට පත් වන්නේ නම් එහි පරස්පරතා හෝ ඌනතා නොසළකා හැරීමට ද හැක.

සාක්ෂි විශ්ලේෂණය කිරීමේදී අධිකරණය මතකයේ තබා ගත යුතු කාරණයක් වන්නේ මෙම සාක්ෂිකරුවන් සාමාන්‍ය මනුෂ්‍යයින් වන බැවින් ඔවුන්ගේ සාක්ෂි මත මේ සිද්ධිය සම්බන්ධයෙන් යාන්ත්‍රිකව පටිගත කරන ලද සිද්ධි මාලාවක් නැවත විකාශනය කරන්නා මෙන් සාක්ෂි දීම බලාපොරොත්තු විය නොහැකි බවය. එසේ හෙයින් සාමාන්‍ය මනුෂ්‍යයින්ට අමතක වීම් සහ අතපසු වීම් මෙන්ම යම් යම් සිද්ධි සිතේ ධාරණය කර ගැනීමේ ශක්තිය සහ මතක තබාගැනීමේ හැකියාව එවැනි සාක්ෂිකරුවෙකුගේ අධ්‍යාපනික, සාමාජයිය සහ අනෙකුත් කරුණු සැළකිල්ලට ගෙන විශ්ලේෂණය කළ යුතු වේ.

ඉහත සීමාවන්ට යටත්ව සාක්ෂිකරුවෙකු විසින් කරුණු වසන් නොකොට සම්පූර්ණ සත්‍ය හෙළිදරව් කළ යුතු බවට අධිකරණය බලාපොරොත්තු විය යුතුය. පොදුවේ ඉහත දැක්වූ සිද්ධාන්ත හා පරීක්ෂණයන් ඒ ඒ අවස්ථානෝචිත පරිදි අදාළ හා උපයෝගී කර ගෙන සාක්ෂිකරුවන්ගේ සාක්ෂියේ පිළිගත හැකි භාවය හා සත්භාවය පිළිබඳව සාක්ෂි විශ්ලේෂණය කිරීමෙන් පසු චෝදනාව ඔප්පු වී ඇද්ද යන්න පිළිබඳව නිගමනයකට එළඹිය යුතු වේ.

මෙම නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනාව ඔප්පු කිරීම සඳහා පැමිණිල්ල විසින් සාක්ෂිකරුවන් දසදෙනෙකු කැඳවා ඇති අතර, මා දැන් සිද්ධිමය සාක්ෂි සම්බන්ධයෙන් සාක්ෂිකරුවන්ගේ සාක්ෂි සම්පිණ්ඩනය කරමි.

නව අදහස දක්වන්න