අධිකරණ නියෝග කැඩූ අන්තරේ 5කට වරෙන්තු | දිනමිණ

අධිකරණ නියෝග කැඩූ අන්තරේ 5කට වරෙන්තු

සුභාෂීණී සේනානායක

සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලයට එරෙහිව කළ උද්ඝෝෂණයේ දී අධිකරණ නියෝග කඩ කළ සිද්ධිය සම්බන්ධ නඩුවේ දී අධිකරණයේ පෙනී නොසිටි තැම්පිටියේ සුගතානන්ද, රත්කරව්වේ ජිනරතන, මාගල්වැව රාහුල, මඩුගල්ලේ බද්ධරක්ඛිත හිමිවරුන්ට සහ සනත් බණ්ඩාර, යන අයට කොටුව මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඊයේ (21) වරෙන්තු නිකිත් කළාය.

මෙම සිද්ධියට අදාළව රක්ෂිතභාරයේ පසුවන වෛද්‍ය පීඨ ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු රයන් ජයලත් අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර ඔහුට රුපියල් ලක්ෂ දෙකක ශරිර ඇපයක් මත මුදා හරින ලෙසට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

කොල්ලුපිටිය පොලිසිය මගින් සැකකරුට එරෙහිව පැවැති නඩුව කැඳවූ අවස්ථාවේ මෙම නියෝගය මහේස්ත්‍රාත්වරිය ලබා දුන්නාය.

සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇතුළු වී අලාභ හානි සිදු කළ බව කියන නඩුවකට අදාළව මාලිගාකන්ද අධිකරණය මගින් සැකකරු රිමාන්ඩ් භාරයට පත් කර ඇති අතර බන්ධනාගාරය මගින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

මෙම සිද්ධියට අදාළව පළමු සැකකරු වන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර යන අය අධිකරණයට නොපැමිණීම සම්බන්ධයෙන් නීතිඥ ජයන්ත ඩයස් නානායක්කාර මහතා අධිකරණයට කරුණු දැක්වූ අතර ඉදිරි දින එය තහවරු කරන ලෙසට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. මෙම සිද්ධියට අදාළව රයන් ජයලත්, හරිත ලක්මාළ්, රෝෂාන් ප්‍රියසංජන, කෝකිලා හංසමාලි, දිනේෂා මධුරංග, පබසර ධර්මරත්න, එරන්දි නිමල්කා යන අය අධිකරණයේ පෙනි සිටියහ. 

නව අදහස දක්වන්න