නුවරවැව තව අඩියක් බැස්සොත් අනුරපුරට වතුර නෑ | දිනමිණ

නුවරවැව තව අඩියක් බැස්සොත් අනුරපුරට වතුර නෑ

අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් සමුහ - නිමල් විජේසිංහ

නියඟය තවදුරටත් පැවතුනහොත් අනුරාධපුර නගරය ඇතුළු තදාසන්න ප්‍රදේශයේ ජනතාවට පානීය ජලය සැපයීමේ විකල්ප වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමට පියවර ගැනේ. ඒ අනුව නුවරවැවේ ජල මට්ටම තව දුරටත් පහත වැටුණහොත් අනුරාධපුරය හරහා ගලා බසින මල්වතුඔයෙන් ජලය ලබා ගෙන ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය මඟින් පිරිපහදු කොට ජනතාවට සැපයීමේ වැඩපිළිවෙළක් දියත් කිරීමට සැලසුම් කොට ඇත.

මේ සම්බන්ධයෙන් දිනමිණට කරුණු දැක්වූ ජල සම්පාදන මණ්ඩලයේ පළාත් කළමනාකාරවරයා මේ වන විට නගරයට පානීය ජලය සපයනු ලබන නුවරවැවේ ජල මට්ටම අඩි 23 සිට අඩි 8 දක්වා පහළ වැටී තිබෙන බව පැවසීය.

තවත් අඩියකින් පමණ ජල මට්ටම පහත වැටුණහොත් ජලය සමඟ රොන් මඩ සහ අපද්‍රව්‍ය මිශ්‍ර වීම නිසා එම ජලය පිරිපහදු කොට ලබා දීමේ ප්‍රායෝගික දුෂ්කරතා මතුවන බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

අතීතයේ මෙවැනි දුෂ්කර අවස්ථාවකදී මල්වතුඔයෙන් ජලය ලබා ගෙන ජනතාවට සපයා දීමට පියවර ගෙන ඇතැයි ද පැවසූ පළාත් කළමනාකාරවරයා නගරය ආසන්නයේ ඇති මල්වතුඔය අමුණේ සිට නුවරවැව ජල පිරිපහදු යන්ත්‍රාගාරයට කි.මි 3ක පමණ දුරකට නළ මඟින් මල්වතුඔයේ ජලය ලබා ගැනීමේ මූලික කටයුතු මේ වන විටත් සිදු කෙරෙමින් පවතින බව ප්‍රකාශ කළේ ය. ඒ සඳහා මිලියන 10 ක ට ආසන්න මුදලක් වැය වෙතැයි ගණන් බලා තිබේ.

කරුණු මෙසේ තිබියදී මල්වතුඔය අමුණ තුළ ගබඩා වී ඇති ජලය ඉතා අපවිත්‍ර තත්ත්වයක පවත්නා බව ද, ඉන් දුඟද හමන බව ද පෙන්වා දෙන නාගරික ජනතාව ඇතුළු පුරවැසි සංවිධාන මේ නිසා මල්වතුඔයේ ජලය පානය සඳහා ලබා දීමේ දී ගැටලුසහගත තත්ත්වයක් මතු වනු ඇති බව සදහන් කරති.

නව අදහස දක්වන්න