ජනතාව ප්‍රාණ ඇපයට | දිනමිණ

ජනතාව ප්‍රාණ ඇපයට

 ලයිලා කාලිඩ් ප්‍රසිද්ධියට පත්වූයේ ගුවන් යානා කොල්ලකාරියක් වශයෙනි. පලස්තීන විමුක්ති සංවිධානයේ සාමාජිකාවක වූ ඇය 1969 – 70 කාලයේ ගුවන් යානා පැහැරගැනීමේ ක්‍රියා ගණනාවකට සහභාගි වූවාය.

ඇය පළමුවරට ප්‍රසිද්ධියට පත්වන්නේ 1969 අගෝස්තු 29 වැනිදා සිදුවූ ට්‍රාන්ස්වර්ඩ් ඉන්ටර්නැෂනල් ගුවන් යානයක් පැහැර ගැනීම නිසාය. රෝ‍මයේ ලෙනාඩෝ ඩාවින්සි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට ඊශ්‍රායලයේ ටෙල් අවිව්හි බෙන් ගුරියන් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබූ බෝයින් 707 වර්ගයේ ගුවන් යානය ඇය පැහැරගත්තේ එක් සගයකුගේ පමණක් සහය ඇතිවයි. එය සිරියාවේ ඩැමැස්කස් ගුවන්තොටුපළට රැගෙන යනු ලැබීය. කොල්ලකරුවන්ගේ ප්‍රධාන ඉලක්කය වූ එවකට අමෙරිකාවේ ඊශ්‍රායල් තානාපති යිට්සැක් රාබින් ගුවන් යානයේ සිටියේ නැත. කෙසේ වෙතත් මගීන් නිරුපද්‍රිතව මුදාහැරීමෙන් හා සිරකරු හුවමාරුවකින් සිදුවීම කෙළවර විය. දේශපාලන හේතු මත ලයිලා කාලිඩ් හා සගයා පසුව නිදහස් කරනු ලැබීය.

කොල්ලකරුවන්ගේ මනුස්සකම

ඉන්පසුව ගුවන් යානා පැහැරගැනීම් ගණනාවක් සිදුවිය. කොල්ලකරුවන් හැමවිටම තර්ජනය කළේ මගීන් සමඟ ගුවන් යානය පුපුරුවා හරින බවටය. එහෙත් විමුක්ති සටන්කරුවන් වූ ඔවුන් කිසිවිටෙක එම තර්ජනය ක්‍රියාවට නැගුවේ නැත. ලයිලා කාලිඩ් එබඳු පැහැර ගැනීමකදී සිවිල් ඇඳුමින් සිටි ඊශ්‍රායල භට පිරිසක් විසින් අල්ලා ගන්නාවිට බෝම්බ දෙකක් ඇය අතේ විය. ඇය ඒවා පුපුරුවා හැරියේ නැත. පසුව ඇය කීවේ සාමාන්‍ය මගීන්ට කිසිදු අනතුරක් සිදුනොකරන ලෙස තමන්ට දැඩි උපදෙස් ලැබී තිබුණු බවයි.

කෙසේ වෙතත් මෙලෙස සාමාන්‍ය ජනයා ප්‍රාණ ඇපයට ගැනීම බලවත් අපරාධයක් ලෙස සලකන්නට ජන මතයක් ලෝකයේ ඇති වූයේ ස්වභාවිකමය. ප්‍රතිඵලය වූයේ එබඳු ක්‍රියා මඟින් කරනු ලබන ඉල්ලීම් නොදීමට රාජ්‍යයන් දැඩි මතයකට පැමිණීමයි. එයට හේතුව නම් එම ඉල්ලීම් ලබාදුන්විට එබඳු සිදුවීම් මඟින් ඉල්ලීම් ලබාගන්නට තවත් අය පෙළඹීමයි.

සේපාල ඒකනායක අලිතාලියා ගුවන් යානය පැහැර ගැනීමට හේතුවූයේ දරු සෙනෙහසයි. ඒ දෙස ලෝකයා සානුකම්පිතව බැලුවද ඔහු කළ වරදට දඬුවම් දීමට කිසිවකු එදා විරුද්ධ වූයේ නැත. ඔහුට දඬුවම් දෙන්නට අලුතින් නීති හදන්නට රජයට සිදුවිය. එසේ වූයේ ඒ වනවිට එම වරදට දඬුවම් දීමට නීති නොතිබූ නිසාය. ඉල්ලීම් කොතරම් මානුෂීය වූවද ඒ සඳහා අන් අයගේ ජීවිත ප්‍රාණ ඇපයට ගැනීම කිසිවකු අනුමත කරන්නේ නැත.

එකල වැඩි වශයෙන් ගුවනින් ගමන් බිමන් ගියේ සමාජයේ ඉහළ පැලැන්තියේ උදවියයි. ගුවන් යානා කොල්ලකරුවන් ප්‍රාණ ඇපයට ගත්තේ එබඳු පුද්ගලයන්ය. නාමික ලෙස ප්‍රාණ ඇපයට ගෙන බිය වැද්දුවද ඔවුනට හානි නොකිරීමටද කොල්ලකරුවෝ බොහෝවිට වගබලා ගත්හ. කෙසේ වෙතත් අද අපේ රටේ දකින්නට ලැබෙන්නේ ඇතැම් වෘත්තීය සමිති මෙරට සාමාන්‍ය ජනයා ප්‍රාණ ඇපයට ගන්නා තත්ත්වයකි. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ ඉල්ලීම් අසාධාරණ බව මේ වනවිට රටේ බහුතර ජනයාගේ මතයයි. රජය නම්‍යශීලීව ප්‍රශ්නයට විසඳුම් යෝජනා කළද සියල්ල ප්‍රතික්ෂේප කර මස් රාත්තලම ඉල්ලන්නේ වැඩ වර්ජනය කරමිනි. එනම් රෝගීන් ප්‍රාණ ඇපයට ගනිමිනි. රජයේ රෝහල්වලින් සේවය ලබාගන්නට එන්නේ රටේ දුප්පත්ම ජනතාවයි.

විදුලිබල සේවකයන්ට තිබෙන්නේ අමුතුම ප්‍රශ්නයකි. ඔවුනට තිබෙන්නේ තමන්ට ලැබෙන වැටුප අඩුවීමේ ප්‍රශ්නයක් නොවේ. ඉංජිනේරුවන්ට වැටුප් වැඩිවීම පිළිබඳ ප්‍රශ්නයකි. ඉංජිනේරු සංගමය කියන්නේ තමන්ට තිබූ වැටුප් විෂමතාවයක් නිවැරදි කළ බවයි. එය දැන් අධිකරණය ඉදිරියේ තිබෙන ප්‍රශ්නයකි. අධිකරණයෙන් තීන්දුවක් එන තෙක් ඉවසන්නට බැරි ඇතැම් වෘත්තීය සමිති කරන්නට හදන්නේ විදුලි පාරිභෝගිකයා බිල්ලට ගනිමින් හා විදුලි සැපයුම කඩාකප්පල් කරමින් තමන්ගේ ඉල්ලීම දිනාගන්නට තැත්කිරීමයි. ඒ සඳහා සැපයුම් විසන්ධි කිරීම, ෆියුස් ගැලවීම වැනි ක්‍රියාවලද නියැලී ඇති බව මේ වනවිට වාර්තා වී තිබේ.

මස් රාත්තලම ඉල්ලීම

රෝහල්වලට විදුලි සැපයුම අඩාල කිරීමෙන් සිදුවූ මරණ ගැනද වාර්තා වී තිබීම කනගාටුදායකය. මෙයින් පෙනෙන්නේ ගුවන් යානා කොල්ලකරුවන් තරම්වත් මොවුන් මිනිස් ජීවිත ගැන නොතකන බවයි.

සයිටම් ප්‍රශ්නය පිළිබඳව අධිකරණ තීන්දුවක් ඇත. ඒ ගැන වෛද්‍ය සභාව ඉදිරිපත් කළ අභියාචනය විභාග වෙමින් පවතියි. රජයේ වෛද්‍ය නිලධාරි සංගමයට අවශ්‍යව ඇත්තේ අධිකරණයේ තීන්දුව එන්නට පෙර තම බලහත්කාරය යොදාගෙන ආණ්ඩුව බියවද්දා තම අරමුණ ඉටුකර ගන්නටය. අසරණ රෝගීන් බිල්ලට ගන්නට හදන්නේ ඒකටය.

මෙම ප්‍රශ්නය පිළිබඳව පසුගිය කාලයේ ජනමාධ්‍ය තුළ විවාදයක් පැවතිණි. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ මතයත් ප්‍රතිපක්ෂ මතයත් විවාදවලදී ගැටුණි. අවසානයේ මෙරට බහුතර ජනයා පිළිගෙන ඇත්තේ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට ඉඩ දිය යුතු බව හා ප්‍රමිතියක් සහිතව එය පවත්වාගෙන යාමට කටයුතු කළ යුතු බවයි.

පහුරක් වූ පවුර

ඒ සඳහා ආණ්ඩුව නොයෙක් යෝජනා ඉදිරිපත් කළද සයිටම් විරෝධීන් කියාගන්නා උදවිය ඒ කිසිවක් පිළිගන්නට සූදානම් නැත. නුගේගොඩදී ඔවුන් කීවේ ‘ප්‍රමිතිය සියයට සියයක් හැදුනත් අපි සයිටමයට විරුද්ධයි’ කියාය. මස් රාත්තලම ඉල්ලන්නේ එහෙමය.

සයිටම් විරෝධී ජන පවුර කියා එකක් පසුගිය කාලයේ මේ වැඩේට බැස්සේය. පවුර කීවාට එය දැන් පහුරක් වී ඇත. එහි සිටින්නේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයත් ජනතා විමුක්ති පෙරමුණත්ය. පෙරටුගාමී සමාජවාදී පක්ෂය පසෙකින් සිටින්නේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයද සමඟිනි. සරසවි සිසුන්ට නායකත්වය දීම සම්බන්ධයෙන් ජ.වි‍.පෙ. හා පෙරටුගාමීන් අතර තරගය මෙම පහුර පවතින්නට තිබෙන සාධකයයි. පෙරටුගාමීන් සරසවි සිසුන් අතර බලය පෙන්වනවිට ජවිපෙට අවශ්‍යව ඇත්තේ තම වෘත්තීය සමිති හයිය පෙන්වීමටය. විවිධ ආයතනවල ප්‍රශ්න මතුකරමින් වැඩවර්ජන හා කඩාකප්පල්කාරී ක්‍රියා කරන්නේ ඒකටය.

වර්ජනයේ යෙදී සිටින විදුලි සේවකයන් ලබන වැටුප් ගැනද දැන් වාර්තා පළ වෙයි. රියදුරකුගේ මූලික වැටුප පනස් දෙදහසකි. දීමනා හා අතිකාල සමඟ ලක්ෂය ඉක්මවන වැටුපකි. මනු කියවන්නන්ගේ තත්ත්වයද ඊට දෙවැනි නැත. ඉල්ලන වැටුප් වැඩිවීම දුන්නොත් හා ලබන වසර මුලදී දෙන බව කියන සියයට විසිපහක වැටුප් වැඩිවීමද දුන්නොත් වැටුප ලක්ෂ එකහමාර ඉක්මවන බව කියති. මෙහෙම වැටුප් ඉල්ලන්නේ මෙරට ජනයාගේ මුදලිනි. විදුලි බලය අත්‍යවශ්‍ය සේවාවක් වීමත් එයට තිබෙන ඒකාධිකාරයත් නිසා හිමිව තිබෙන තත්ත්වය යොදාගෙන මෙහෙම ඉල්ලීම් කරන බව පෙනෙන්නට ඇත. මේ භාවිත කරන්නේ විදුලි පාරිභෝගිකයන් ප්‍රාණ ඇපයට ගැනීමේ හැකියාවයි. මෙය ගුවන් යානා කොල්ලකරුවන්ගේ ඉල්ලීමකට දෙවැනි නැත. මෙම සේවාවන්ට බඳවා ගනු ලබන්නේ අ.පො.ස. සාමාන්‍ය පෙළ සමතුන් බව කියති. සොයා බැලිය යුත්තේ එම සුදුසුකම් ඇති අයට වෙනත් රජයේ ආයතනවල තිබෙන වැටුප් තත්ත්වයයි. මෙලෙස වැටුප් ගෙවන්නේ නම් ඒ අයටද එම වැටුප් හිමිකම තිබිය යුතුය. නැතහොත් එය අසාධාරණයකි. එම අසාධාරණය විඳගෙන සිටීමට සිදුව තිබෙන්නේ එම වෘත්තීන් අනුව ඔවුන්ට මහජනයා ප්‍රාණ ඇපයට ගන්නට හැකියාවක් නැති නිසා විය හැකිය. අනෙක් අතට බලනවිට මේ කියන මට්ටමේ වැටුප් උපාධිධාරින්ටවත් ලැබෙන්නේ කලාතුරකිනි. නැතහොත් විශේෂ තත්ත්ව යටතේය. ඔවුන්ගේද සාමාන්‍ය වැටුප් මීට වඩා පහළය. එය කෙතරම් අසාධාරණයක්ද යන්න සැලකිල්ලට ගත යුතුය.

මෙලෙස විවිධ අවස්ථාවල ප්‍රශ්න මතුකර ගන්නේ වෙනත් න්‍යායපත්‍ර අනුව බවද පෙනෙන්නට තිබේ. ඇතැම්විට මේවා සැලසුම් කරන්නේ අධිකරණයේ නඩු කටයුත්තක් පවතින දින ඉලක්ක කරගෙනය. ඒ අධිකරණයට අනියම් බලපෑම් කරන්නටය.

වාරුවී ගොඩයන්න දැගලීම

අනෙක් උත්සාහය නම් එකිනෙකාගෙන් යැපෙන්නට හැදීමයි. පෙරටුගාමීන් හැදුවේ වෛද්‍යවරුන්ගේ හයියෙන් ගොඩයන්නටය. වෛද්‍යවරුද පෙරටුගාමීන්ගේ හයියෙන් ගොඩ යන්න හැදුවෝය. දෙගොල්ලෝම අමාරුවේ වැටුණි. දැන් ජවිපෙ වෘත්තීය සමිති කිහිපයේ හයිය එකතු කරගෙන ගොඩ යන්නට හදති. විදුලිබල මණ්ඩලයේ ප්‍රශ්නයක් ඇද ගත්තේ සයිටම් ගැන වැඩ වර්ජනය ගොඩදා ගන්නට බව බැලූ බැල්මට පෙනෙන කාරණයකි.

මේවා අතර වෙනත් න්‍යාය පත්‍රද ක්‍රියාවට නගන පිරිස් සිටින බව පෙනෙන්නට ඇත. ආණ්ඩුවෙන් කිහිපදෙනකු එළියට ගන්නට දරන උත්සාහයට හරියටම මේ දින යොදාගෙන ඇත්තේ අහඹු ලෙස යැයි සිතිය ‍නොහැකිය. කවුරුන් හෝ පිරිසක් මේ සියල්ල මෙහෙයවනවා විය හැකිය.

ජනතාව ප්‍රාණ ඇපයට ගනිමින් තර්ජන ගර්ජන කර තමන්ගේ ඉල්ලීම් දිනාගැනීමට උත්සාහ දරන මේ උදවිය තේරුම් නොගන්නා කාරණයක් නම් ඔවුන් තමන්ගේම මිනීවළ හාරා ගනිමින් සිටින බවයි. රජයේ වෛද්‍ය නිලධාරින්ට මේ රටේ යම් පිළිගැනීමක් තිබුණේ නම් මේ වනවිට එය බින්දුවට වැටිලාය. ඇතැම් කාටුන්කරුවන් කියා තිබුණේ, තවදුරටත් මේවා කරන්නට ගියහොත් දොස්තර මහත්වරුන්ට ජනතාව බේත් දෙනු ඇති බවයි. පසුගිය දිනවල මොවුන් පටන්ගත් අඛණ්ඩ වර්ජනය හදිසියේ නවතා දමන්නට සිදුවූයේ ජනතාවගෙන් ගුටි කන තත්ත්වයක් ඇතිවූ නිසාය.

තමන්ගේ ගෞරවය හා ශක්තිය රැකගෙන ප්‍රශ්නය අතරමැදි සමාදානයකින් අවසන් කරගන්නට මොවුන්ට හැකියාව තිබුණද මහන්තත්ත්වය හා අධි තක්සේරුව නිසා එම අවස්ථා මගහැර ගැනීමෙන් මොවුන් දැන් වැටී සිටින්නේ ගලේ පැහැරූ බළලුන්ගේ තත්ත්වයටය. මේ සියලු තර්ජන ගර්ජන වර්ජන කරන්නේ ඒ තත්ත්වයෙන් ගොඩයන්න හිතාගෙනය. ඒ කරන හැම දෙයකින්ම ඔවුන්ට සිදුවන්නේ කොහොල්ලෑ බබාට පහරදුන් තත්ත්වයට වැටෙන්නටය.

ජනතාව ප්‍රාණ ඇපයට ගැනීමේ මෙම ක්‍රියාවට වරක් ඉඩදුන්නොත් ඔවුන් නැවතත් එය කරනු නියතය. එවිට සිදුවන්නේ ජනතාව අනතුරට ලක්වීම දිගින් දිගටම සිදුවීමයි. රෝගීන් බිල්ලට දී ඉල්ලීම් කිරීම දිග්ගැසීමය. විදුලි පාරිභෝගිකයෝ වන ජනතාවට හිරිහැර කිරීම නොනවත්වා සිදුවීමයි. දුම්රිය මගීන්ගේ තත්ත්වයද එයම විය හැකිය.

යහපාලනය යනු මස් රාත්තල ඉල්ලන ෂයිලොක්ලා සතුටුකිරීම නොවේ. ඔවුන්ගෙන් මහජනයා මුදාගැනීමයි. මහජනයා ප්‍රාණ ඇපයට ගැනීම අවසන් කිරීමට මේ මොහොත යොදා ගැනීමට රජය කටයුතු කළ යුත්තේ ඒ නිසාය. ආණ්ඩුව එලෙස ක්‍රියා නොකළහොත් මේ කොල්ලකරුවන් ජනතාවගෙන් පාඩමක් ඉගෙන ගන්නවා සිකුරුය.

සී. ජේ. අමරතුංග

නව අදහස දක්වන්න