ජීවි­තය දිනූ එක ගැහැනු ළම­යෙක් | දිනමිණ

ජීවි­තය දිනූ එක ගැහැනු ළම­යෙක්

සමුද්‍රිකා ද සිල්වා
බුද්ධිකා බ්‍රාහ්ම­ණගේ
 
දරු­වන් පිළි­බඳ සියල්ල තීර­ණය කරන්නේ වැඩි­හි­ටියෝ. ඔවුන් බලන කාටුන් වැඩ­ස­ට­හන, ඉගෙන ගත යුතු  විෂය, ඇසුරු කළ යුතු අය,  කළ යුතු ක්‍රීඩාව මේ හැම­දේම,  ඒ නිසාම වර්ත­මා­නයේ දරු­වන් සිතක් නැති, තීරණ ගත නොහැකි, තීරණ ගැනී‍මට පුහු­ණු­වක් නොමැති පිරිස් බවට පත්වෙලා,

මෙසේ මා මිලේච්ඡ ආක්‍රමණයකට මුහුණ දීමට බියෙන් සිටින විට මවුපියන්ගේ කෑගැසීම ඇසිණ. එය ද ආක්‍රමණයක්ම වැනිය."මොකද මේ ලයිට් දාලා නෑ . ජනෙල් වහලා නෑ. මුළු ගේම කළු‍වරේ . කෝ මල්ලිලා.මොකද මේ හීනෙන් බය වෙලා වගේ. දවල්ට නිදාගන්න එපා කියන්නේ ඕක තමයි. දවල්ට හීනවලට බය වෙනවා වැඩීනේ? නා ගත්තද? නෑ මොනවද දවස පුරා කළේ? අනේ මන්දා අපි නැති දවසක මේ ‍ළමයි කොහොම ජීවත් වෙයිද කියලා. අපි නැති දවසක පණුවෝ ගහයි. " තව තවත් බොහෝ බැණුම් ඇසූ මුත් පසුව ඒවා මට නොඇසී ගියේ, නැවත මා රණරාලලා අතරමංවූ දූපතට ගිය හෙයිනි. මාසයක් පමණ යනතුරු මා ජීවත් වූයේ රණරාලලා සමඟ එම දූපතේය. හොඳ ‍පොතක හැටි එලෙසය.

පොතෙහි අන්තර්ගත චරිත තුළ කියවන්නාද චරිතයක් කරනු ලැබේ. රණරාල කථාව පිළිබඳ කිසි දිනක මා චිත්‍රපටයක් නරඹා නොමැත. එසේ වුවද ඒ දූපතේ අස්සක් මුල්ලක් නෑර ගස්වැල්, අවට මුහුදු, සියල්ල පිහිටා ඇති සැටි මට අද ද හොඳින් මතකය. හොඳ පොතක හැටි එලෙසය.

පාඨකයාගේ සිතිවිලි ජයග්‍රහනය කරනුයේ එවැනි ලේඛකයන්ය." කුඩා කල රසවිඳි රණරාල කතාව පිළිබඳ මෙලෙස විස්තර කරන්නේ මෙරට ප්‍රමුඛතම කාන්තා ව්‍යවසයිකාවක වන සමුද්‍රිකා සිල්වා මහත්මියයි. වරක් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යවසායිකාව ලෙස ජාතික සම්මානය දිනා ගැනීමට සමත්වූ ඇය. ලේඛිකාවකි. දැනුමින්, අධ්‍යපනයෙන්, පුහුණුවෙන් සන්නද්ධ ගුරුවරියකි, ව්‍යවසායිකාවකවීමේ අපේක්ෂා ඇතිව ගුරු වෘත්තියෙන් සමුගත් ඇගේ ගුරු දැනුමින් ප්‍රයෝජන ලබන්නේ එක් පාසලක දෙකක දරුවෝ නොවේ. රටේම දරුවන්ට අධ්‍යාපනය ලැබීමට සුදුසු ‍පොත් පත් ඇගේ සමුද්‍ර පොත් ප්‍රකාශන වෙතින් ලබා දෙයි.

සමුද්‍රිකා සිය දෛවයෙන් උරුමවී තිබූ ගුරු වෘත්තියේ නතර වූයේ නැත. ඇයගේ ‍ව්‍යාපාරයේ ආරම්භය කුඩා පොත් අලෙවි සැලකි. එහෙත් ‍වර්තමානයේ මෙරට විෂය සමගාමී පොත් මෙන්ම, ඉංග්‍රීසි මාධ්‍ය, ජාත්‍යන්තර පාසල් සඳහා නිර්දේශිත පොත්, ප්‍රකාශනයේ ප්‍රමුඛයා බවට පත්වී, ශ්‍රී ලංකාව පුරා පොත් අලෙවි ජාලයක් ගොඩනැඟීමට සමත් ව්‍යාපාරික වෘක්ෂයක් බවට සමුද්‍ර පොත් ප්‍රකාශකයෝ පැමිණි ගමනෙන් මූර්තිමත් වන්නේ සමුද්‍රිකා ද සිල්වාගේ කැපවීම, දිරිය‍, උත්සාහය මෙන්ම ජීවන දැක්මයි.

එක් ගැහැනු ළමයෙක් නැමැති සිය ළමා කාලය පිළිබඳ සමුද්‍රිකා විසින් රචිත කෘතිය වඩාත් වැදගත් වන්නේ මෙරට ප්‍රමුඛතම ව්‍යවසායිකාවක විසින් තම ළමා කාලය පිළිබඳ අව්‍යාජ ලෙස ඉදිරිපත් කරන ලද රචනාවක් ලෙසින් එහි හමුවන සොඳුරුතම ළමා කාලය පිළිබඳ සමීපව නිරීෂණය කිරීමෙනි.

මෙවැනි කෘතියක් රචනා කිරීමට පෙරදැරි වූයේ කුමන හේතුවක්දැයි විමසූ විට සමුද්‍රිකාගේ පිළිතුර වූයේ..."අපේ කාලයට වඩා අද කාලයේ දරුවක් ගෙවන ජීවතය හරිම වෙනස්, දරුවන් හරිම කාර්ය බහුල වෙලා, ඔවුන්ගේ ජීවත රාමුවකට කොටුවෙලා, ළමා කාල‍යට විශේෂිත කිසිම දෙයක් රස විඳින බවක් පෙනෙන්නට නෑ, ළමයි සෙල්ලම්වලින් ක්‍රීඩාවලින් ඈත් වෙලා, සාමූහික ක්‍රීඩාවලින් ඈත්වෙලා, දැන් දරුවන් ක්‍රීඩාවල යෙදෙන්නේත් සහතික අපේක්ෂාවෙන්, මෝස්තරයකට වගේ ළමයින්ව නැටුම් පන්ති, චිත්‍ර පන්ති අරගෙන යනවා, චෙස් පන්ති ගෙනියනවා, ඒ ගෙන යෑමේ අරමුණ ක්‍රීඩාවෙන් ඇති වන මානසික සමබරතාව, මානසික තෘප්තිය, ජය- පරාජය භුක්ති විඳීමේ හැකියාව වැනි කුසලතාවන් වර්ධනය කිරීම නොවෙයි.

එකම අරමුණ සහතික දිනා ගැනීමයි. ක්‍රීඩාවෙන් ලැබෙන විනෝදය, සැහැල්ලුව, සතුට භුක්ති විඳීමේ අවස්ථාව අද කාලයේ දරුවන්ට අහිම් වෙලා, මේ තත්ත්වය දරුවන්ට උදාවී ඇත්තේ මවුපියන්ගේ තරගය නිසායි. මම මේ පොතෙන් සිහිපත් කිරීමට උත්සාහ කරන්නේ වර්තමාන මවුපියන්ට ඔවුන් විසින් භුක්ති විඳ දැන් අමතක කොට ඇති, ඔවුන්ගේ ළමයින්ට අහිමි ළමා කාලය පිළීබඳයි. "සමුද්‍රිකාගේ කෘතිය ඇය විසින් හඳුන්වා ඇත්තේ "වැඩිහිටියන්ගේ ළමා කතාව යන නමිනි". ඒ ළමයින්ට මෙන්ම වැඩිහිටියන්ට ද කියවා රස විඳිය හැකි කෘතියක් ලෙසිනි, එසේම දරුවන්ට මඟ පෙන්වීමේ දී නැවත සිතා බැලීමට තරම් සංවේදී බවක් මවුපියන් තුළ ඇති කරමිනි.

"ළමයින් පාසල් ගොස් හොඳින් ඉගෙන ගත යුතුය. තමන් ලද අධ්‍යාපනයෙන් පසු උසස් රැකියාවක් ලබාගෙන රටට ද සේවයක් කළ යුතුමය. "ඔයා කැමති පාසල් යන්නද? ගෙදර ඉන්නද?"යැයි සෑම ළමයකුගෙන්ම අසා එක එක අයගේ කැමැත්ත අවසානයේ ගණනය කළහොත් අවසාන ප්‍රතිඵලය කුමක්ද?

මා නම් වැඩියෙන්ම කැමති කාලය නිවාඩු කාලයයි. නිවාඩු කාලයේ කළ යුතු දේවල් සැලසුම් කරමින් සිහින මවමින් පාසල් කාලය ගත කරයි. නිවාඩු කාලයට පිවිසීම සඳහා පාසල් යන කාලය වේගයෙන් පසු කිරීමට උත්සාහ කළා යැයි කීවානම් ඒ නිවැරැදිය. නිවාඩු කාලයට මාගේ නිවස අවට ප්‍රදේශය සෙල්ලම් සාගරයක් වූවා යැයි කීම නිවැරැදිය... "සමුද්‍රිකා තම ළමා කාලය ඇසුරින් ළමයින්ට ‍පොදු සිතිවිලි හා හැඟීම් පිළිබඳ ද විවරණය කරයි.

මුළු මාවතේම සිටි ළමයි සියල්ලෝම කිසිදු දැන්වීමකින් තොරව නිවාඩු දුන් දිනට පසුදින උදෑසන මාවතේ මැද කොටසට එක්වෙති. මා ජීවත් වූ මාවතේ වැඩි ප්‍රමාණයක් වැඩිහිටියන් රැකියාවල නිරත වූ අයය. මවුපියන්ගෙන් වැඩි කොටසක් නිවෙස්හි නැතිවීම ද මේ සෙල්ලම්වලට සහායක්ම විය. නමුදු , එසේ කීම ද කළ ගුණ නොසැලකීමක් වැනිය. බොහෝ මවුපියෝ අපට ඔන්චිල්ලා, සෙල්ලම් ගෙවල් සාදා දුන්නේය. අපේ ප්‍රියතම සෙල්ලම වූයේ සෙල්ලම් ගෙවල් දැමීමය. අද මෙන් ‍එදා පිරිමි ළමුන් ක්‍රිකට් ගැසීමට එතරම් උනන්දුවක් දැක් වූයේ නැත. ඔවූහු ජිල්බෝල ගැසීම නම් කළෝය. ගැහැනු ළමුන් වූ අප ජිල්බෝල ගැසීමට රුසියන් වූයෙමු . තවත් ප්‍රියතම ක්‍රීඩාවක් වූයේ බට්ටන් පැනීමය......"

ශිෂ්‍යත්වය පමණක්ම ‍නොවේ වර්තමානයේ ළමයින්ට නිවාඩු කාලය කියා වෙනසක් තිබේද?

ගමේ යෑම අවුරුදු සැමරීම අතීතයේ දරුවන්‍‍ගේ ලෝකයේ සොඳුරුතම අවස්ථාවන්ය. නමුත් උපකාරක පන්ති හේතුවෙන් වත්මන් දරුවනට එවැනි දෑ අහිමිවී ති‍බේ. සමුද්‍රිකා ඉස්මතු කිරීම‍ට උත්සාහ කරන්නේ ළමා කාලය යාන්ත්‍රිකව ‍‍ගත කිරීම හේතුවෙන් ශාරීරිකව මෙන්ම මානසිකව නිරෝගී, නිර්මාණශීලී වැඩිහිටියකු කෙලෙස නිර්ණය වේද? යන පැනයයි.

මේ දරුවන් පිළිබඳ සියල්ල තීරණය කරන්නේ වැඩිහිටියෝ. ඔවුන් බලන කාටුන් වැඩසටහන, ඉගෙන ගත යුතු විෂය, ඇසුරු කළ යුතු අය, කළ යුතු ක්‍රීඩාව මේ හැමදේම, ඒ නිසාම වර්තමානයේ දරුවන් සිතක් නැති, තීරණ ගත නොහැකි, තීරණ ගැනී‍මට පුහුණුවක් නොමැති පිරිස් බවට පත්වෙලා, මෙපමණක් නොවෙයි. වර්තමානයේ විශේෂයෙන් නගර බද මවුපියෝ තමන්ට හැකි උපරිම සම්පත් දරුවන්ට දෙනවා, කිලෝමීටරයක තරම් දුරක්වත් පයින් ගමන් කිරීම අපහසුයි.

ළමයින්ගේ ආහාර රටාවත් ඉතාමත් වෙනස් වෙලා, මෙවැනි දේ දැකීමෙන් තහවුරු වෙන්නේ හදිසියේ මේ සියල්ල වෙනස් වී ගියහොත් උදාහරණයක් විදිහට අප මුහුණ දුන් ආකාරයේ 72,88 වැනි භීෂණ වැනි කාලයකට මේ දරුවන්ට ඔරොත්තු දිය හැකිවේවිද? ඉස්සර අපේ නිවෙසකට අමුත්තකු පැමිණීමෙන් රැගෙන එන බිස්කට් චොකලට් ආදිය අපි ඒ මොහොතේම කා අවසන් කළේ නෑ, වැඩිහිටියන් ඒවා අරන්තබා කෑමෙන් පසු චොක්ලට් කෑල්ලක්, කෙසෙල් ගෙඩියක්, තලගුලියක් ලෙසින් ලබා දුන්නා, එවැනි පුරුදු වත්මන් පරපුරටත් ‍ඇති කළ හැකිනම් කෙතරම්‍ අගනේද? එවැනි දෑ තුළින් දරුවන් පුහුණු වන කරුණු බොහොමයි. සමුද්‍රිකා පවසන්නේ කාලයත් සමඟ වෙනස්වී තිබුණ ද දරුවන් තුළ ඇති කළ හැකි ඇති කළ යුතු පුරුදු, ආකල්ප බොහොමයක් අප විසින් අමතක කොට ඇති බවයි. විශේෂයෙන් රූපවාහිනිය, පරිගණකය , විඩියෝ ක්‍රීඩා ආදිය නිසා දරුවන් සොබා දහමින් ඈත්වී ආගන්තුකයන් බවට පත්වී ඇති බව සමුද්‍රිකා තහවුරු කරන්නේ ළමා කාලයේ පරිසරය සමඟ ඒකාත්මිකවී සිටි අන්දම විස්තර කරමිනි.

"කූඹි ගුල වෙත බොහෝවිට මා පිය නඟනුයේ නිවාඩු දිනයන්හීදීය. දිනක් කූඹි ගුලක් අසලට ගොස් මම ඇන තියා ගත්තෙම්. කූඹි ගුලට කූඹින් යන එන පාරවල් කීපයක් ඇත. ඔවුන් එහාට මෙහාට යෑමෙන් වැලිකැට ඉවත්වී පාරවල් කීපයක් ලකුණු වී ඇත. බොහෝ විට ඔවුන්ගේ රාජකාරී කටයුතුවලට ගමන් කරනුයේ එම පාරවල් දිගේය. ඉඳ හිට හිතුවක්කාර කූඹියෙක් පාරෙන් පැන මඳක් දුර ගොස් ඉව කොට යළි පාරට පැමිණේ. කලබලයෙන් ගමන් යෑම කූඹින්ගේ සිරිතය. මුහුණට මුහුණ මුණ ගැසෙන කූඹියෝ ඔවුන්ගේ ඉදිරිපස අඩු උස්සා මොනවදෝ කතා‍ කොට නැවතත් ඉක්මනින් තමන්ගේ ගමනේ යෙදෙති....." කූඹි පිළිබඳ පමණක් නොවේ වර්ෂාව පිළිබඳත් සමුද්‍රිකා ද සින්වා මහත්මයගේ ආත්ම භාෂනය සැබවින්ම අපූරුය.

"කෙසේ හෝ අවසානයේ අහස පරාදවී වැසි බිඳු පොළොවට වැටෙන්නට පටන්ගනී. නියඟයෙන් පසු ප්‍රථ‍මයෙන් වැහිබිඳු පොළොවට පතිත වන අවස්ථාව කෙතරම් ආශ්චර්යමත්ද? දූවිලි මතට ජල බිඳුවක් පතිතවත්ම ජල බිඳුව වටා දූවිලි එතී සෑදෙන ගෝලය ක්ෂණිකවම පොළොවට උරා ගන්නා අයුරු විශාල චිත්‍රයක් ලෙස අද ද මට මතකය. එය ලොව තුළ සිදුවන කෙතරම් කුඩා සිදුවීමක්ද? දරුවන්ට එය ලොකු චිත්‍රයකි. එක් එක් අවස්ථාවල වැස්ස පටන් ගන්නා අයුරු විවිධාකාරය. "පරිසරයට සමීපවී බොහෝ දේ උගත හැකි බව විඳිය හැකි බව ඇය මැනවින් විස්තර කරයි.

කුරුණෑගල ප්‍රමුඛකොට ගෙන ගොඩනැඟී ඇති සමුද්‍ර ප්‍රකාශන ව්‍යාපාරය, ජාත්‍යන්තර පාසලක් ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළෙඳ සැලක් මෙන්ම කොළඹ, ගාල්ල, මාතර, නුවර අදී ප්‍රදේශවල පවා දීප ව්‍යාප්ත වූ අලෙවිසැල් ‍ජාලයකින් හා බෙදා හැරීම් ජාලයකට හිමිකම් කියන සමුද්‍ර ප්‍රකාශන ව්‍යාපාරයේ නිර්මාතෘවරිය වන්නේ සමුද්‍රිකා ද සිල්වායි. ඇය ගුරු වෘත්තියෙන් ලද දැනුම හා අධ්‍යාපනය ඇසුරින් අධ්‍යාපන ප්‍රකාශනවල ගුණාත්මක බව බඩාත් දියුණු තත්ත්වයකට ඔසවා තැබීමට සමත් විය.

එවැනි ව්‍යවසායිකාවක් වීමට පන්නරය ලැබුණේ ඈ ගත කළ සොඳුරු ළමා දිවියත්, ළමා කාලයේ දී ඇති වූ වර්ධනය වූ අදහස් හා ආකල්ප මෙන්ම පෞරුෂයත් බව ඇයගේ අදහසයි. මේ සාහිත්‍ය මාසයේ දී සමුද්‍රිකා ද සිල්වාගේ එක ගැහැනු ළමයෙක් කියැවීම වැඩිහිටියන්ට මෙන්ම දරුවන්ට ද දෙආකාර‍යකින් වටී.

ඒ ළමා කාලයේ අප විසින් රස විඳි සොඳුරු අතීතය සිහිපත් කර ගැනීම සඳහායි. ළමයින්ට එය වටිනුයේ සතුටු විය හැකි සතුට දැනෙන කොතෙකුත් දෑ ඔවුනගේ ලෝකයෙන් දුරස්වී ඇති අයුරු හඳුනා ගැනීම සඳහායි.

එක් ගැහුනු ළමයෙක් සොයා යන ඔබට සමුද්‍රිකා ද සිල්වා විසින් රචිත තවත් සුරංගනා කතා බොහොමයක් හමු වනු නොඅනුමානය. විසි වසරකට වැඩි සමුද්‍රිකා ද සිල්වාගේ ව්‍යාපාරික දිවියේ වෙහෙසකර සමය ගෙවා අවසන්වී තිබේ. ඒ නිසාම නැවතත් ඇයට කතා ගොතන්නට- ලියන්නට කල්වේලා ලැබී ඇත.

 


අදහස් 1ක් ඇත

පිටු

නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...