ශ්‍රී ලංකා ආයෝ­ජන මණ්ඩ­ලයේ දශක හත­රක අභි­මා­නය | දිනමිණ

ශ්‍රී ලංකා ආයෝ­ජන මණ්ඩ­ලයේ දශක හත­රක අභි­මා­නය

සෘජු විදේශ ආයෝජනයන් සඳහා පහසුකම් සැලසීමේ මධ්‍යගත කේන්ද්‍රය ලෙස ස්ථාපිත ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සිය හතළිස් වසරක අභිමානනීය සැමරුම සැප්තැම්බර් 15 වැනි දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී. මේ අවස්ථාවට සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම මහතා ඇතුළු රජයේ මැති ඇමැතිවරුන් ද ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සභාපති දුමින්ද්‍ර රත්නායක මහතා ද, අධ්‍යක්ෂ ජනරාල් දුමින්ද ආරියසිංහ මහතා ද, සම්භාවනීය ආයෝජන ප්‍රජාව ද ආයෝජන මණ්ඩලීය හිටපු සහ වත්මන් සේවක සේවිකාවන් ද සහභාගී විය.

හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ අනුරුව විවෘත කිරීමත් සමඟ ප්‍රදර්ශන භූමිය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත විය.

උත්සව සභාව අමතා පිළිගැනීමේ කතාව සිදුකළ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලංකා ආර්ථිකයේ පදනම පුළුල්කොට සවිමත් කිරීම උදෙසා ආයෝජක සමූහයා දක්වා ඇති තිර, අඛණ්ඩ දායකත්වය ප්‍රශංසාවට ලක් කළේය.

උත්සව සභාවේ වැදගත්ම අංගය ලෙස තෝරාගත් ආයෝජකයන් 40 දෙනකුට ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතින් විශිෂ්ට සමරු ප්‍රදාන පිළිගැන්වීම කැපී පෙනිනි. රැකියා උත්පාදනය, ශ්‍රී ලංකා ආර්ථිකයට මේ ආයෝජකයන් දක්වා ඇති දායකත්වය සහ ආයෝජන වටිනාකම් මෙහි දී සැලකිල්ලට භාජනය කෙරිණි. ඊට සමගාමීව දිගුකාලීන සේවා දායකත්වයක් ආයතනයේ ප්‍රගතිය කෙරෙහි දක්වා ඇති ආයෝජන මණ්ඩලීය සේවක සේවිකාවන් ඇගයීම හා ආයෝජන මණ්ඩලය යටතේ ස්ථාපිතව ඇති ව්‍යාපාරවල දිගුකාලීනව සේවයේ නියුක්තව සිටි සේවක සේවිකාවන් ඇගයීම මලික් සමරවික්‍රම මහතා, ආයෝජන මණ්ඩලීය සභාපතිවරයා සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සිදු කරන ලදී.

විදේශ ආයෝජන දිරිගැන්වීම සහ ආකර්ෂණය කර ගැනීම මූලික අභිප්‍රාය කොටගත් ආයතනයක් ලෙස 1978 දී ස්ථාපිත ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය තුළින් නිෂ්පාදන කර්මාන්ත බිහි වීම ලංකා ආර්ථිකයේ නව ප්‍රවනතාවකි. එතුළින් රැකියා අවස්ථා ජනිත වීම, අපනයන ඉපැයුම් ඉහළ යාම. නව තාක්ෂණික නිපුනතාව ලැබීම, දේශීය නිපුනතා සංවර්ධනය වීම, යටිතල පහසුකම් සංවර්ධනය වීම, දුගී බව නැතිවීම සහ ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය තුළින් ග්‍රාමීය ආර්ථිකයේ ඇති වූ නව පිබිඳීම දැක්විය හැක.

එවකට පැවැති කෘෂිකාර්මික ආර්ථිකය නව මඟකට යොමු කරමින් සෘජු විදේශ ආයෝජන ශීඝ්‍ර ලෙස ආකර්ෂණය කර ගනිමින් නිෂ්පාදන කර්මාන්ත අංශයේ සහ සේවා අංශයේ පිබිදීමක් ඇති කරලීමට ආයෝජන මණ්ඩලය සමත් විය. මේ වන විට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ආයෝජන ව්‍යාපෘති 1700 ක් පමණ වානිජ මෙහෙයුම් සිදු කරමින් සිටී. ඒ ආශ්‍රිතව 500,000ක පමණ සෘජු රැකියා අවස්ථා බිහි කර ඇත. ශ්‍රී ලංකාවේ මුළු අපනයන ප්‍රමාණයෙන් 70%ක දායකත්වයක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක කර්මාන්ත මගීන් ලබාදෙන අතර, එය මුළු කාර්මික අපනයනවලින් 85% ක ප්‍රමාණයක් වේ.

ශ්‍රී ලංකා ආර්ථික අභිවෘද්ධියේ අඩිතාලම සකසමින් ආයෝජන මණ්ඩලය අපනයන නිෂ්පාදන විවිධාංගීකරණය මේ කර්මාන්තශාලා ආශ්‍රිතව ඇති කෙරිණි. ඒ අනුව ඇඟළුම් කර්මාන්තය, ටයර් කර්මාන්තය, එකතු කළ අගය සහිත නව කෘෂිකාර්මික නිපැයුම්, සනීපාරක්ෂක භාණ්ඩ, පිඟන් භාණ්ඩ සහ ඒ ආශ්‍රිත නිෂ්පාදනයන්හි ආධිපත්‍ය ඉසිළීම ලංකා ආර්ථික වර්ධනයේ වැදගත්කමක් උසුළයි.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නව ව්‍යාපාර මොඩියුල හඳුන්වාදීම ආරම්භ කර ඇති අතර, නව අපනයන සැකසුම් කලාප ඉදිකිරීම ඒ අතරින් විශේෂත්වයක් ගනී. මෙහි ඇති සුවිශේෂීත්වය නම් එම කලාප සංවර්ධනය කර ඒ සඳහා නව ආයෝජකයන් ගෙන්වා ගැනීම ද, අපනයන සැකසුම් කලාප ගොඩනැඟීම සහ කළමනාකරණය කිරීම ද ආයෝජකයාගේ වගකීම වීමයි.

ආයෝජන මණ්ඩලීය නව ප්‍රවනතා අතර කාර්ය මණ්ඩලය පුහුණු කිරීම ද විශේෂත්වයක් උසුළයි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීම මත හාවර්ඩ් විශ්වවිද්‍යාලයීය අන්තර් ජාතික සංවර්ධන අංශය සමඟ එක්ව විදේශ ආයෝජන ප්‍රවර්ධනය සඳහා කාර්ය මණ්ඩලය පුහුණු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙමින් පවතී. එමෙන්ම ලෝක බැංකුව අනුග්‍රහයෙන් ද ඒ හා සමාන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

හතළිස් වසරක අභිමානය සමරන මේ උදාරතර අවස්ථාවේ රජයේ ආර්ථික ඉලක්ක ළඟා කර ගැනීම සඳහා තම දායකත්වය උපරිම ලෙස ලබා දෙමින්, ආර්ථිකයේ ස්ථිරසාර සංවර්ධනය උදෙසා මහඟු මෙහෙවරක් ඉටු කිරීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අභිප්‍රායයි. 

නව අදහස දක්වන්න