ආර්ථි­කය 4%ක වර්ධ­න­යක් | දිනමිණ

ආර්ථි­කය 4%ක වර්ධ­න­යක්

ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් 2017 වර්ෂයේ දෙවැනි කාර්තුව සඳහා පවත්නා මිල ගණන් යටතේ සහ ස්ථාවර මිල ගණන් (2010) යටතේ නිෂ්පාදන ප්‍රවේශය යොදාගෙන ඇස්තමේන්තු කරන ලද දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක ප්‍රකාශයට පත් කොට ඇත.

ජාතික ගිණුම් ඇස්තමේන්තු පිළිබඳ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්, 2017 වර්ෂයේ දෙවැනි කාර්තුවේ ඇස්තමේන්තුගත ආර්ථික වර්ධන වේගය සියයට 4.0 ක් බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. මේ වර්ෂයේ දෙවැනි කාර්තුව සඳහා ස්ථාවර මිල ගණන් (2010) යටතේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 2, 211, 612 ක් ලෙස ඇස්තමේන්තු කොට ඇත. එය 2016 වර්ෂයේ දෙවැනි කාර්තුව සඳහා රුපියල් මිලියන 2, 125, 848ක් විය.

ආර්ථිකයේ ප්‍රධාන සංරචක වන කෘෂිකර්මය, කර්මාන්ත, සේවා සහ භාණ්ඩ මත අය කෙරෙන සහනාධාර අඩු කළ බදු පවත්නා මිල ගණන් යටතේ 2017 වර්ෂයේ දෙවැනි කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයට දක්වා ඇති දායකත්වයන් පිළිවෙළින් සියයට 8.2 ක්, සියයට 25.9 ක්, සියයට 56.6 ක් සහ සියයට 9.4 ක් ලෙස වාර්තා වේ. තව ද මේ කාර්තුවේ දී කර්මාන්ත අංශයේ ආර්ථික කටයුතු සහ සේවා අංශයේ ආර්ථික කටයුතු පිළිවෙළින් සියයට 5.2ක් සහ සියයට 4.5ක් වශයෙන් සැලකිය යුතු වර්ධන වේගයන් වාර්තා කර ඇත.

කෙසේ වෙතත් කෘෂිකාර්මික ආර්ථික කටයුතු තව දුරටත් වාර්තා කර ඇත්තේ සියයට 2.9 ක රින වර්ධනයකි. පසුගිය මාස 18ක කාලය මුළුල්ලේ දිවයිනේ බොහෝ දිස්ත්‍රික්කවලට බලපෑ වගා කටයුතු සඳහා හිත කර නොවන කාලගුණික තත්ත්ව (නියඟය හා දැඩි වර්ෂාපතනය) නිසා කෘෂිකාර්මික ආර්ථික කටයුතු පසුගිය කාර්තු 6 සඳහා අඛණ්ඩව රින වර්ධන වේගයන් වාර්තා කර ඇත.

ප්‍රධාන කෘෂිකාර්මික ආර්ථික කටයුතු අතුරින් වී වගා කිරීම, පොල් වගාව ඇතුළත් තෙල් සහිත බෝග වගාව, වී නොවන අනෙකුත් ධාන්‍ය වගා කිරීම, එළවළු වගා කිරීම සහ කුළුබඩු වගා කිරීම පිළිවෙළින් සියයට 32.9 ක්, සියයට 20.2 ක්, සියයට 15.3 ක්, සියයට 5.9 ක් සහ සියයට 3.8 ක් වශයෙන් රින වර්ධන වේගයන් පෙර වර්ෂයේ දෙවැනි කාර්තුවට සාපේක්ෂව 2017 දෙවැනි කාර්තුවේ දී වාර්තා කර ඇත. කෙසේ වෙතත් රබර් වගා කිරීම සහ තේ වගා කිරීම යන පසුගිය වර්ෂ තුනේ සෑම කාර්තුවක දී ම රින වර්ධන වේගයන් වාර්තා කළ ප්‍රධාන ආර්ථික කටයුතු ද්විත්වය 2017 දෙවැනි කාර්තුවේ දී පිළිවෙළින් සියයට 10.2 ක් සහ සියයට 6.9 ක් වශයෙන් ධන වර්ධන වේගයන් වාර්තා කර තිබීම කැපී පෙනේ.

තව ද සත්ත්ව නිෂ්පාදන සහ මිරිදිය ධීවර කටයුතු පිළිවෙළින් සියයට 10.9 ක් සහ සියයට 9.0 ක් වශයෙන් සැලකිය යුතු වර්ධන වේගයන් වාර්තා කර ඇත. එසේ ම වන වගා සහ දැව සහ කරදිය ධීවර කටයුතු යන කෘෂිකාර්මික ආර්ථික කටයුතු ද ධන වර්ධන වේගයන් (පිළිවෙළින් සියයට 5.5 ක් සහ සියයට 3.1 ක් වශයෙන්) 2017 දෙවැනි කාර්තුවේ දී වාර්තා කර ඇත.

කර්මාන්ත ආර්ථික කටයුතු 2017 දෙවැනි කාර්තුවේ පවත්නා මිල ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතයට සියයට 25.9 ක දායකත්වයක් ලබා දෙන අතර, සියයට 5.2 ක සතුටුදායක වර්ධනයක් වාර්තා කර ඇත. කර්මාන්ත ආර්ථික කටයුතු අතුරෙන් දළ දේශීය නිෂ්පාදිතයට වැඩිම දායකත්වයක් දක්වන ඉදිකිරීම් කර්මාන්තය පෙර වර්ෂයේ දෙවැනි කාර්තුවට සාපේක්ෂව 2017 දෙවැනි කාර්තුවේ දී සියයට 9.3ක සැලකිය යුතු වර්ධනයක් වාර්තා කර ඇත. එසේ ම පතල් හා කැණීම් කර්මාන්තය සියයට 18.4 ක ඉහළ වර්ධනයක් වාර්තා කර ඇත. නිමැවුම් කර්මාන්ත කටයුතු සමස්තයක් වශයෙන් සියයට 0.9 ක වර්ධනයක් 2017 දෙවැනි කාර්තුවේ දී වාර්තා කර ඇත. නිමැවුම් කර්මාන්ත කටයුතු සඳහා වැඩි දායකත්වයන් සහිත ආහාරපාන සහ දුම්කොළ නිෂ්පාදනය සහ රෙදිපිළි, නිමි ඇඳුම්, සම්භාණ්ඩ සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන පිළිවෙළින් සියයට 2.2 ක රින වර්ධනයක් සහ සියයට 2.5 ක ධන වර්ධනයක් මේ කාර්තුවේ දී වාර්තා කර ඇත.

තව ද ගෘහ භාණ්ඩ නිෂ්පාදනය සහ රබර් හා ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදනය පිළිවෙළින් සියයට 12.4ක් සහ සියයට 8.4 ක් වශයෙන් ධන වර්ධන වේගයන් වාර්තා කර ඇත.

2017 වර්ෂයේ දෙවැනි කාර්තුවට අදාළ ජාතික ගිණුම් ඇස්තමේන්තු පිළිබඳ විස්තරාත්මක තොරතුරු ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ www.statistics.gov.lk වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කොට ඇති බව දෙපාර්තමේන්තුව පවසයි. 

නව අදහස දක්වන්න