ලෝක වේදිකාවේ අපේ ජනාධිපති! | දිනමිණ

ලෝක වේදිකාවේ අපේ ජනාධිපති!

 එක්සත් ජාතීන්ගේ මහ සමුළුව හැඳින්විය හැක්කේ ලෝක වේදිකාවක් හැටියට ය. මේ සමුළුවේ දී මතුවන අදහස් , යෝජනා, විවරණ හා සංකල්ප එකිනෙක රාජ්‍යවල විශේෂාවධානයට ලක්වෙයි. එකිනෙක විෂය ක්ෂේත්‍රවල ලෝක විශේෂඥයෝ ඒවා පිළිබඳ විග්‍රහ හා අර්ථකථන ඉදිරිපත් කරති. මේ අනුව ඕනෑම රාජ්‍ය නායකයෙක් උක්ත සමුළුව ඇමතීමේදී අතිශය අවංක හා විශ්වසනීය කතාවක් කිරීමට වගබලා ගනී. දියුණුවෙමින් පවතින රටවලට මෙය හොඳ අවස්ථාවක් ලෙසද සැලැකිය හැකිය. මීට පෙර කියුබාවේ පිදෙල් කැස්ත්‍රෝ වැනි නායකයන් තරමක් ආවේගශීලී දේශන පවත්වා ඇති නමුදු අද නායකයෝ හැඟුම්බර නොවී සිටින්නට උත්සාහ දරති.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙවර මහ සමුළුව අමතන්නේ ඔහු කෙරෙහි උපරිම ලෝක අවධානයක් පවතින අවස්ථාවක යැයි කියන්නට පුළුවන. එක අතෙකින් ලෝකයේ බලවත් රටවල් ශ්‍රී ලංකාවේ යහපාලනය අනුමත කරන තැනක සිටිති. තව අතෙකින් ජගත් මූල්‍යා’යතන හා සංවර්ධන බැංකු ශ්‍රී ලංකාව කෙරෙහි විශ්වාසය පළ කර සිටිති. තවත් අතෙකින් මානව හිමිකම් සංවිධාන ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ලිහිල් තීන්දු - තීරණ ගනිති. හේතුව සාමය හා සංහිඳියාව ගොඩනැඟීම සඳහා ද, නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා ද රජය ගෙන යන සක්‍රීය වැඩසටහනයි. මේ තත්ත්වය තුළ රටක් හැටියට අපට හොඳ පිළිගැනීමක් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ඇතැ’ යි විශ්වාසයෙන් කිව හැකි ය.

එක්සත් ජාතීන්ගේ 72 වන මහ සමුළුවේ තේමා පාඨය බවට පත්ව ඇත්තේ තිරසර ලොවක් මත මිනිසාට වැදගත් ජීවිතයක් හා සාමයක් ලබාදෙමු යන්න ය. ලෝකය දෙස බලන විට මෙය බලවත් අභියෝගයක් බව පෙනී යයි. දේශපාලන ආධිපත්‍යය, ආර්ථික බල අධිකාරිය මත රටවල් හා කලාප වෙන් වී ඇත. ඒවා අතර මානුෂීය නො වන ආකාරයේ තියුණු තරඟයක් පවතී. මේ හැරෙන්නට දේශ සීමා අරගල, ත්‍රස්තවාදී ප්‍රහාර දකින්නට ලැබේ. ලෝක බලවතුන් ගෙන යන හිතුවක්කාරී පාලන රටා මෙන් ම අන්තර් ජාතික වශයෙන් කරන බලපෑම් ද නිසා තවත් අර්බුද හා ගැටුම් පැන නැඟී ඇත. මේ පසුබිම තුළ ලෝකයේ සියලු මනුෂ්‍යයන්ට වැදගත් ජීවිතයක් ලබා දෙන්නේ කෙසේද යන්න බලවත්ම ගැටලුවකි. ශ්‍රී ලංකාව මේ සම්බන්ධයෙන් ලබා‍දෙන ආදර්ශය කුමක්ද?

ජනාධිපතිවරයා සිය දේශනය ශ්‍රී ලංකාවේ අත්දැකීම්වලට හා ආදර්ශවලට සීමා කර තිබුණ ද එයින් ලෝකයට ලබා දෙන පණිවිඩය වැදගත් යැයි කියන්නට පුළුවන. එයින් නැ‍ඟෙන සමස්ත අර්ථය ලෝකයේ සෙසු රටවලට ආදර්ශයක් යැයි කිව හැකි ය. එම දේශනයට ප්‍රධාන සාධක හතරක් පාදක කරගෙන තිබිණි. එක; ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම ය. දෙක; මූලික මිනිස් අයිතිවාසිකම් තහවුරු කිරීම ය. තුන; ජාතික සංහිඳියාව ගොඩනැඟීම ය. හතර; ආගමික සංහිඳියාව ව්‍යාප්ත කිරීම ය.

රටේත් ලෝකයේත් අනාගතය රැඳී ඇත්තේ මේ සාධක හතර මත යැයි කියන්නට පුළුවන. ජාතික හා ආගමික සංහිඳියාවේ වැදගත්කම රොහන්ගයා සිද්ධියෙන් මොනවට පැහැදිලි වෙයි. මියන්මාරයේ සුකී වැනි නායිකාවකට ද අද එහි ගැටුම් නවතා ගත නො හැකි ය.

ඉහත කී සාධක හතර සම්බන්ධයෙන් පසුගිය වසර දෙක හමාරක කාලය තුළ ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් තෘප්තිමත් විය හැකි ය. අද වන විට රට තුළ කෙතරම් ප්‍රජාතන්ත්‍රවාදී නිදහසක් පවතී ද යත්; ඕනෑම පුරවැසියකුට ජනාධිපතිවරයා විවේචනය කිරීමේ හැකියාව පවතී. අනෙක් අතට යුක්තිය ඉටුකිරීම සඳහා නීතිය හා නීතියට අදාළ ආයතන සක්‍රීය වෙමින් පවතී. එය යහපත් ලක්ෂණයකි. මහා පරිමාණ වංචා, දූෂණ, ඝාතන හා තවත් අක්‍රමිකතා සම්බන්ධයෙන් කිසිදු සැඟවීමක් කිරීමට හෝ යට ගැසීමට හෝ රජය උනන්දු වන්නේ නැත. නායකයන් උනන්දු වන්නේ නැත. එය ශ්‍රී ලංකාව වැනි රටක දැකිය නොහැකි ලක්ෂණයකි. මේ සියල්ලට වඩා වැදගත් වන්නේ රටේ නායකයා සිය අසීමාන්තික බලය අතහැරීම සඳහා ක්‍රියා කිරීම ය. එය ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට ඇති හොඳම උපායමාර්ගය ලෙස සැලැකිය හැකි ය.

මිනිසාට යහපත් හා තෘප්තිමත් ජීවිතයක් ලබාදීමට නම්; මූලික වශයෙන් කරුණු දෙකක් සම්පූර්ණ විය යුතු ය. පළමුවන්න දේශපාලන නිදහස ලැබීමය. නැතහොත් ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය ස්ථාපිත කිරීම ය. දෙවැන්න සමස්ත සමාජය වෙත ම ආර්ථික සමෘද්ධිය ළඟා කර දීමය. රටේ සම්පත් බෙදීයෑමේ විසමතාව හා තවත් ආර්ථික සාධක අනුව එය ඉටු කිරීම අතිශය දුෂ්කර ය. එහෙත් ඒ සඳහා ගත යුතු උපායමාර්ග ඇත. ඒවා සෙමෙන් වුව ක්‍රියාත්මක වෙමින් පවතී. 2017 වර්ෂය නම් කර ඇත්තේ දුගීභාවයෙන් නිදහස්වීමේ වසර ලෙස ය. ඒ අනුව දිළිඳුබව පිටුදැකීම සඳහා වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක වේ. ‘ග්‍රාම ශක්ති’ වැඩසටහන් ඒ අතරින් ප්‍රමුඛ වෙයි. ආර්ථික වශයෙන් ගත් කල රටේ නිෂ්පාදනය හා අපනයනය වැඩි කිරීමටත් සේවා අංශය පුළුල් කිරීමටත් රජය මූලික සැලැසුම් සකස් කර තිබේ.

ජනාධිපතිවරයාගේ දේශනයෙන් ශ්‍රී ලංකාව පිළිබඳ නූතන චිත්‍රයක් ලෝකයට ලබාගත හැකිය. යථාර්ථය අනුව ගතහොත් රට වෙනස් වී ඇත. සදාචාරය, සාරධර්ම, නීතියට ගරු කිරීම හා සමානාත්මතාවය ගැන අලුත් හැඟීමක් සමාජය තුළ පැතිර ගොස් තිබේ. නිදසුනක් ලෙස ගතහොත් 2012 දී වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් විසිහත් දෙනකු ඝාතනය වීම පිළිබඳ ප්‍රශ්නය නැවත කරළියට පැමිණ තිබේ. රගර් ක්‍රීඩක තාජුඩීන්ගේ අහඹු මරණය ගැන නැවත කතාකරන තැනකට සමාජය අවදිවී තිබේ. මේවා හොඳ දේවල් ලෙස ද යුක්තිගරුක දේවල් ලෙස ද හඳුනාගත හැකි ය.

අපි අපේ රට හදමින් සිටින්නෙමු’යි යන පණිවිඩය ජනාධිපතිවරයා විසින් ලෝකයට ප්‍රකාශ කර තිබේ. එය වැදගත් දෙයකි.

එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමැතීමට අපේ ජනාධිපතිවරයාට මෙතෙක් අවස්ථා තුනක් ලැබී තිබේ. පළමු හා දෙවන දේශනවලට ද වඩා තුන්වන දේශනය වැදගත් යැයි සිතන්නට පුළුවන. මේ දේශනයෙන් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාව ගමන් කරන යථාර්ථවාදී මාර්ගය යි. මේ මාර්ගය වේගවත් නැත. එහෙත් ශක්තිමත් ය. අපට ලෝකය දිනාගත හැක්කේ එබඳු ශක්තිමත් උපායමාර්ග ඔස්සේ පමණි.

නව අදහස දක්වන්න