ජේ. ආර්. ජයවර්ධනයන්ගේ නිර්භීත තීන්දු, තීරණ ආර්ථික පෙරළියක් කරන්න රුකුලක් වුණා | දිනමිණ

ජේ. ආර්. ජයවර්ධනයන්ගේ නිර්භීත තීන්දු, තීරණ ආර්ථික පෙරළියක් කරන්න රුකුලක් වුණා

උපාලි කරුණාරත්න

ආසියාව බලවත්වීමේ ආර්ථික විප්ලවය ඇතිවූයේ ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයා නිසා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජේ.ආර් ජයවර්ධන මැතිතුමා රට වෙනුවෙන් ගත් නිර්භීත තීන්දු , තීරණ නිසා ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් පෙරට ගමන් කළ බවත් ජයවර්ධන පාලන කාලය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතාමත්ම වැදගත් කාල පරිච්ඡේදයක් ලෙස සැළකිය හැකි බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ පෙරේදා (18) කොළඹ- 7 ධර්මපාල මාවතේ පිහිටි ජේ.ආර් ජයවර්ධන මධ්‍යෂ්ථානයේ පැවැති දිවංගත ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතාගේ 111වැනි ජන්ම දින සැමරුමට සහභාගී වෙමිනි.

රට වෙනුවෙන් කටයුතු කළ අභාවප්‍රාප්ත නායකයන් සහ රට වෙනුවෙන් දිවි පිදූ රණ විරුවන් සිහිකරමින් විනාඩියක නිශ්ශබ්ද තාවකින් අනතුරුව ජේ. ආර් ජයවර්ධන මහතාගේ මුනුපුරු අම්රිත් ජයවර්ධන මහතා ජයවර්ධන පිළිරුවට මල් දමක් පැළඳවීමෙන් අනතුරුව ජන්ම දින සැමරුමේ කටයුතු ආරම්භ විය. මෙහි සමරු දේශනය ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික අධ්‍යක්ෂිකා ආචාර්ය සරෝජා වෙත්තසිංහ මහත්මිය සිදු කළාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීවේය.

දශක තුනහමාරකට පෙර හැත්තෑව දශකයේ ලෝකයේ බලවත් ආර්ථික රාජ්‍යයන් තිබුණේ ඇමෙරිකාවේ සහ යුරෝපයේයි. අමෙරිකාව, කැනඩාව, එංගලන්තය ඇතුළු රටවල් ගණනාවක් සහ සෝවියට් දේශයත් එයට අයත් වුණා. ආසියාවේ ආර්ථික බලවතෙක් ලෙස සිටියේ ජපානයයි. හමුදා බලයෙන් ඉන්දියන් සාගරයේත් වෙනත් ප්‍රදේශවලත් ශක්තිය තිබුණේ අමෙරිකාවට සහ සෝවියට් දේශයටයි. බ්‍රිතාන්‍යයටත්, ප්‍රංශයටත් හමුදා බලය, ආර්ථික බලය, ජාත්‍යන්තර බලය තිබුණා.

වර්තමානයේ එම තත්ත්වය වෙනස්. අද ආසියාව ආර්ථික අතින් බලවත්. ජපානය, චීනය, ඉන්දියාව, දකුණු කොරියාව ආදී රටවල් ගණනාවකට ආර්ථික බලය තිබෙනවා. හමුදා බලය දිහා බැලුවහම චීනය , ඉන්දියාව, ජපානය ඉතා ශක්තිමත්. එක්තරා වාර්තාවක් අනුව මෙම ශත වර්ෂය මැද භාගය වන විට ලෝකයේ ශක්තිමත් ආර්ථිකයක් ඇතිවීමේ දී රටවල් හතරක් ආසියාවට ද අයත්. ඒ චීනය, ඉන්දියාව, ජපානය, ඉන්දුනිසියාවයි. පළමු රටවල් තිස්දෙකට පාකිස්තානය, බංගලාදේශය, මැලේසියාව ඇතුළු වෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ ආකාරයට තමයි අද ආසියාව වෙනස් වන්නේ. අද බ්‍රිතාන්‍යයට හමුදාව අඩුවෙන ගමන් චීනය, ජපානය, ඉන්දියාව වැනි රටවල හමුදා බලය නාවුක බලය වැඩි වෙනවා. එදා බ්‍රිතාන්‍යයේ නාවුක බලය නිසා ඉන්දියාව යටත්කර ගැනීමට හැකි වුණා. ඉදිරියේ දී ඉන්දියාවේ නාවුක බලය විශාල ලෙස වැඩි වෙනවා. ඉන්දියාවට යුද්ධ නැව් දෙසියකුත් චිනයට යුද්ධ නැව් තුන්සීයක් තිබෙන බවටයි අනාගතයට වාර්තා වෙන්නේ. අද සෝව්යට් දේශයක් නැහැ.

ආසියාව බලවත් වීමේ ආරම්භය වශයෙන් ඇති වූ ආර්ථික විප්ලවය හඳුන්වන්න පුළුවන්. එය ආරම්භ වුණේ ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිතුමා නිසායි. එතුමා එදා අගමැති ලෙස 1977 දී මේ රටේ විවෘත ආර්ථිකයක් ඇති කරන්න අවශ්‍යයි කියා ප්‍රකාශ කළා. එතුමා එම පියවර නොගත්තා නම් ආසියාවේ දියුණුව මේ ආකාරයෙන් තිබේද කියා ප්‍රශ්න කළ යුතුයි.

විවෘත ආර්ථික ක්‍රමය පිළිබඳව එතුමා කතා කළේ 1977ටත් පෙර. එතුමා එදා ප්‍රකාශ කළේ විවෘත ආර්ථිකයක් නැතිව රටක් දියුණු කළ නොහැකි බවයි. ජපානය , දකුණු කොරියාව, සිංගප්පූරුව, මැලේසියාව දිහා බලන්න. එම රටවල් යුරෝපීය රටවල් වගේම දියුණු වී තිබෙනවා. අපි කොහෙද ඉන්නේ. ඉන්දියාව කොතනද තියෙන්නේ. චීනය කොතනද තියෙන්නේ. එහෙමනම් අපට යන්න තිබෙන එකම මාර්ගය විවෘත ආර්ථිකය කියායි එතුමා කීවේ. එතුමා බලය ලබාගත් පසුව විවෘත ආර්ථිකය ඇති කළා. මේ වන විට එතුමා ඇති කළ පළමු විදේශ ආයෝජනයට අවුරුදු හතළිහයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සහ මම පසුගිය දා කටුනායන වෙළෙඳ කලාපයට ගියා. එහි ප්‍රතිඵල අපට පෙනෙනවා. ආසියාවට ඉදිරියට යන්න පුළුවන් වුණේ ජයවර්ධන මැතිතුමා ගත් නිර්භීත තීරණ නිසායි.

එදා ඩෙන් ෂියා ඕ පින් මැතිතුමාට චීනය ඉදිරියට යන්න නම් විවෘත ආර්ථික ක්‍රමවේද අවශ්‍ය බව පෙනුනා. එතුමාට තිබුණේ කොමියුනිස්ට් රටක්. පුළුවන් තැන්වළින් ආර්ථිකය විවෘත කළ යුතු බව පෙනී ගියා. එම කාර්යය කිරීමේදී ආසියාවේ රටවල් වෙතද එතුමා අවධානය යොමු කළා. ලංකාවටත් කණ්ඩායමක් එව්වා. අපේ ප්‍රතිඵල දෙසද බලා එතුමා ඉදිරියට ගියා. විදේශ ආයෝජන සඳහා වෙනම වෙළඳ කලාප ඇති කළා. අප අක්කර තුන්සියක, හාර සියයක කටුනායක ආරම්භ කරන විට එතුමා වර්ග සැතපුම් දහසක් අරගෙන ෂෙන් ෂෙන් ආර්ථික කලාපය ආරම්භ කළා. ඉන්දියාවේ සමහරු අපගේ ප්‍රතිපත්ති එදා විවේචනය කළා. නරසිංහ රාවෝ මැතිතුමා අගමැති වූ පසු බැලුවේ ලංකාව විවෘත ආර්ථිකයෙන් ලබා ගන්නා දේ පිළිබඳවයි. චීනය එය ක්‍රියාත්මක කරන ආකාරය බැලුවා. ඉන්දියාවටත් පෙරට යන්න නම් විවෘත ආර්ථිකයේ වටිනාකම එතුමා දුටුවා. ඒ අනුවයි එතුමා ලෝක ආර්ථිකය ඉදිරියට ගෙන ගියේ. වියට්නාමයේ කර්මාන්ත ඇමැතිවරයා ද ලංකාවට පැමිණ විවෘත ආර්ථික ක්‍රමය පිළිබඳව සොයා බැලුවා. මම එතුමා මුණ ගැසුනා. මෙම සෑම රටක්ම විවෘත ආර්ථික ක්‍රමය නිසා පෙරට ගියා. වියට්නාමය ද බලවත් රාජ්‍යයක් වෙයි කියා බොහෝ දෙනෙක් ප්‍රකාශ කරනවා. ඉන්දුනිසියාව, තායිලන්තය, සිංගප්පූරුව, දකුණු කොරියාව, මැලේසියාව විවෘත ආර්ථික ක්‍රමය නිසා ශීඝ්‍රයෙන් දියුණු වුණා. වර්තමාණයේ චීන සමාගම් යුරෝපයේ කර්මාන්ත මිල දී ගන්නවා. ඉන්දියාවේ, වියට්නාමයේ ආයෝජනය කරනවා. ජේ. ආර් ජයවර්ධන මැතිතුමගේ දුර දැක්මත් මේ තත්ත්වයට හේතු වුණා. එතුමා තීරණ ගත්තේ ඉතා නිර්භීතවයි . තීරණ ගැනීමට එතුමා භය වුණේ නැහැ. රටට හිතකර තීරණ එතුමා නිර්භීතව ගත්තා. එතුමාගේ පාලන කාලයේ වසර දෙක අවසන් වන විට රට වෙනුවෙන් බොහෝ තීරණ රැගෙන තිබුණා. රටට පෙරට ගෙන යාමට හැකි වුණේ එම තීරණ නිසායි.

ජයවර්ධන මහතාට අනාගතය පිළිබඳව හොඳ දැක්මක් තිබුණා. එතුමා අපට කීවේ එන ශත වර්ෂයේ විවෘත ආර්ථිකය රජ කරන බවයි. එම ප්‍රකාශයට එදා සමහර පුද්ගලයන් සිනා වුණා. ඔවුන් කීවෙ මේ හදන්නේ ආයෝජන කලාප නොවේ ටේලර් සාප්පු කියායි. එම ටෙලර් සාප්පු තිබෙන ලංකාව අද ඇගලුම් කර්මාන්තයෙන් විශේෂ ස්ථානයක් ලබාගෙන තිබෙනවා.

ජයවර්ධන මැතිතුමාට දීර්ඝ කාලීන දේශපාලන අත්දැකීම් තිබෙනවා. එතුමා දිගින් දිගටම උත්සාහ කළේ රටට නිවැරැදි ක්‍රම වේදයන් ක්‍රියාත්මක කිරීමටයි. එම ක්‍රමවේදය විවෘත ආර්ථිකයට, වෙළෙඳ කලාපවලට පමණක් සීමා වුණේ නැහැ. මහවැලි ව්‍යාපාරය ආරම්භ කළා. සිංහල රජකාලේ ඉදිකළ වැව්වලට වඩා එතුමාගේ කාලයේ නිර්මාණය කළ ජලාශ ඉතා විශාලයි. එතුමා එම ජලාශ වලින් ජල විදුලිය ලබාගමු කීවා. විදුලි බලය යොදාගෙන රට සංවර්ධනය කරමු කීවා. ජලයෙන් කෘෂිකර්මය දියුණු කර සහලින් රට පෝෂණය කරමු කීවා. ඒවායේ පළ අපට ලැබී තිබෙනවා. සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට කටයුතු කළා. අපේ රටේ ඇති වූ ත්‍රස්තවාදය නිසා ගැටලු ඇති වුණා. ඒ නිසා සමහර දේවල් අපට අනෙකුත් රටවල් වගේ සම්පූර්ණයෙන් ලබා ගන්න නොහැකි වුණා. ජයවර්ධන මැතිතුමා ඉන්දියාව සමඟ ද මිත්‍රත්වයෙන් කටයුතු කළා. ජයවර්ධන පාලන කාලය මෙරට ඉතිහාසයේ වැඳගත් කාලයක් ලෙස සඳහන් කරන්න පුලුවන්. ජයවර්ධන මැතිතුමා බිය නොවී රට වෙනුවෙන් නිවැරදි තීරණ ගත් නිසා අපි පෙරට ගියා. එතුමාගේ තීරණ වත්මන් ආසියාවක් නිර්මාණය වීමට බොහෝ හේතු වුණා. ආසියාවේ කෝටි ගණන් ජනතාවගේ ජීවන තත්ත්වය දියුණු වීමට හේතු වුණා. ජනතාවට දුප්පත් කමින් ඉවත්වීමට ජයවර්ධන මහතාගේ තීරණ හේතු වුණා.

මෙම අවස්ථාවේ දී ජයවර්ධන මහතාගේ පුත් පසුගිය දා අභාවප්‍රාප්ත වූ රවී ජයවර්ධන මහතා ද අප සිහිපත් කරනවා. එතුමා විවිධ ගැටලු කාරී අවස්ථාවල දී ජයවර්ධන ජනාධිපතිතුමා සමඟ කටයුතු කළා.

අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා- ජේ. ආර් ජයවර්ධන කියන්නෙ මේ රටේ සිටි යුග පුරුෂයෙක්. දේශපාලනයේ මුහුකුරා ගිය පුද්ගලයෙක් වශයෙන් ජයවර්ධන මැතිතුමාව හඳුන්වන පුළුවන්. එතුමා ගත් තීන්දු තීරණ රටට වැදගත්. ජයවර්ධන මහතාගෙන් වත්මන් දේහපාලනඥයන්ට බොහෝ දේ ඉගෙන ගත හැකියි. එතුමා කටයුතු කළේ නිවැරැදි දැක්මක්, ගැඹුරු දේශපාලන දර්ශනයක් ඇතිවයි . රටේ විශාල පෙරළියක් ජයවර්ධන මැතිතුමා ඇති කළා.

ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික අධ්‍යක්ෂිකා ආචාර්ය සරෝජා වෙත්තසිංහ මහත්මිය- දිවංගත ජේ. ආර් ජයවර්ධන මැතිතුමාගේ 111වන සමරු දේශනය පැවැත්වීමට ආරාධනා කිරීම පිළිබඳව ජයවර්ධන මධ්‍යෂ්ථානයට ස්තුතිය පුද කරනවා. අද දිනයේ දැනුම සුරැකීම සහ ඒ සඳහා ජේ.ආර් ජයවර්ධන මහතාගේ දායකත්වය පිළිබඳව කතා කිරීම වටිනවා.

දැනුම කියන්නෙ මොකක්ද. තොරතුරු, කරුණු සහ අප අත්දැකීමෙන් සහ අධ්‍යාපනයෙන් ලබා ගන්නා ප්‍රවීණත්වයයි. අප යම් විෂයන් පිළිබඳව ප්‍රවීණත්වයන් ලබා ගන්නවා. කාලයත් සමඟ තොරතුරු නැවත නැවත පරිශීලනය කරන්න අවස්ථාව ලබාදීම දැනුම සුරැකීම වශයෙන් අපට හඳුන්වා දීමට පුළුවන්. අප පොත පත පත්තර කියනවා. තරුණ පරපුර පරිගණකය ආශ්‍රයෙන් තමා බොහෝ දේ අද කියවන්නේ.

විපක්ෂ නායක ආර්. සම්බන්දන්, ඇමැතිවරුන් වන ජෝන් අමරතුංග, ගාමිණී ජයවික්‍රම පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක, ජේ.ආර් ජයවර්ධන මහතාගේ පවුලේ සාමාජිකයන් විද්වත්තුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්තාවට සහභාගී වූහ. ජේ.ආර් ජයවර්ධන මධ්‍යෂ්ථානයමෙම සමරු උළෙල සංවිධාන කර තිබිණි.



ඡායාරූප-ශාන් රඹුක්වැල්ල 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...