අවදියෙන් සිටින්න මෝසම් වැසි සමඟ ඩෙංගු යළි එන අවදානමක් | දිනමිණ

අවදියෙන් සිටින්න මෝසම් වැසි සමඟ ඩෙංගු යළි එන අවදානමක්

සන්ධ්‍යා කරුණාරත්න

* තද තෙහෙට්ටු ගතිය
* අධික හිසරදය
* උදරයේ තද වේදනාව
* නොනවතින පාචනය හෝ වමනය

ලක්ෂණ ඇති නම් වෛද්‍ය උපදෙස් ඉක්මනින් ගන්න

ඉදිරි දිනයන්හි ඇති විය හැකි මෝසම් වර්ෂාවත් සමඟ ඩෙංගු රෝගය ඉහළ යාමේ අවදානමක් පවතියි.

මේ අවදානම හඳුනාගත් ඩෙංගු මර්දනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකාය, ජාතික ඩෙංගු මර්දන ඒකකය, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය එක්ව ජාතික මදුරු මර්දන සතියක් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබේ. එම සතිය අද (20) සිට 26 දා දක්වා ක්‍රියාත්මක වේ.

ජනාධිපතිවරයා, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ අමාත්‍යාංශ (අධ්‍යාපන, පරිසර, ආරක්ෂක, රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා පළාත් සභා, ආපදා කළමනාකරණ, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ), අන්තර් අමාත්‍යාංශ සහයෝගිතා, පළාත් කමිටුව, දිස්ත්‍රික් කමිටුව, ප්‍රාදේශීය කමිටුව, ග්‍රාමීය කමිටුව යනාදිය ඩෙංගු මර්දනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායට අයත් වේ. මෙහිදී ඩෙංගු මර්දනය උදෙසා වඩාත්ම ක්‍රියාකාරී කමිටුව විය යුත්තේ ග්‍රාමීය කමිටුවය. එම කමිටුවේ කටයුතු ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ උපදෙස් මත ග්‍රාම නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක කළ හැකිය.

ඩෙංගු රෝග මර්දන කටයුතුවලට නිලධාරීන් මැදිහත්ව කටයුතු කරනවා මෙන්ම ප්‍රජාවගේ දායකත්වය ද අනිවාර්ය වේ. පසුගිය කාලයේ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව අවම කර ගැනීම සඳහා ප්‍රජාව ඇතුළු මාධ්‍යයේ දායකත්වය හේතු වී ඇත.

රට පුරා සෑම දිස්ත්‍රික්කයකම පාහේ ඩෙංගු අවදානම් කලාප පවතින අතර මේ මදුරු මර්දන වැඩසටහනේදි එම ප්‍රදේශයන්ට ප්‍රමුඛතාව ලබාදීම සිදුකරයි. නිවෙස් පරීක්ෂා කිරීම සඳහා කිසිවිටෙකත් තනි පුද්ගලයකු නොපැමිණෙන අතර තිදෙනකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණෙයි. ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කරන හැඳුනුම්පත හා නිල ඇඳුම පවතී. පසුගිය කාලයේ රට පුරා ස්ථාන ලක්ෂ 20 ක ඩෙංගු මදුරු මර්දන කටයුතු ක්‍රියාත්මක කර තිබේ. පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා රෝගීන් 150,000 ක් වාර්තා වී ඇති අතර මරණ 390ක් වාර්තා වී තිබේ.

ඩෙංගු මදුරුවා ලේ උරාබීමට වඩාත් ක්‍රියාකාරී වන්නේ උදෑසන හා සවස් කාලය තුළදීය. ගැහැණු මදුරුවාට එම කාලය තුළදී රුධිරය ලබා ගත නොහැකි වූ අවස්ථාවලදී මේ කාලසීමාවෙන් පරිබාහිර අවස්ථාවලදී ද දෂ්ට කළ හැකිය. බොහෝ විටදී ඊඩිස් ඊජිප්ටයි මදුරුවා මිනිසාට දෂ්ට කරනුයේ ගෙවල් තුළදී වන අතර ලේ උරාබීවාට පසුව නිවෙස් තුළ වසා සිටියි. අඳුරු රෙදි සහිත ස්ථාන, නිදන කාමරවල ඇති විවිධ උපකරණ හා ස්ථාන ආශ්‍රිතව, එල්ලා ඇති ඇඳුම්වල මේ මදුරුවන් විවේක ගනියි. ඊඩිස් ඇල්බොපික්ටස් මදුරුවා වැඩි වශයෙන් නිවෙස්වලින් පිටත එළිමහනේ දෂ්ට කරන අතර ලේ බීමෙන් පසුව ගස් අතරේ වසා සිටියි. නිවසින් පිටත ගස් කොළන් ආදිය බහුල හෝ ආවරණ සහිත අඳුරු ස්ථානවල ඊඩිස් ඇල්බොපික්ටස් මදුරුවා විවේක ගනියි.

ටයර්, ප්ලාස්ටික් කෝප්ප, ප්ලාස්ටික් දවටන, ටින්, බෝතල්, ඍජුෆෝම් පෙට්ටි, සෙල්ලම් බඩු කොටස්, ෂොපින් බෑග් යනාදි ඉවතලන පහසුවෙන් නොදිරන ද්‍රව්‍ය, ඉවතලන දිරාපත් ද්‍රව්‍ය, නිවාස ආශ්‍රිතව වැසි ජලය රැඳී තිබෙන ස්ථාන, ආවරණය නොකළ ජලය රැස් කරන ස්ථාන හා භාණ්ඩ, විසිතුරු භාණ්ඩ හා උද්‍යාන අලංකරණ ද්‍රව්‍ය, ශීතකරණ හා වායු සමීකරණවල ජලය එකතු වන තැටි, නිවස තුළ හෝ පිටත ඇති ජයල රැස්කර ඇති කුඩා භාණ්ඩ, නිවස තුළ හෝ පිටත ඇති ශාක හෝ ශාක කොටස් යනාදියේ ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන ලෙස හඳුනාගෙන තිබේ. ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන ඉවත් කිරීම සහ එවැනි ස්ථාන විනාශ කිරීම, වාහක, කීටයන් හා සුහුඹුල් මදුරුවන් මර්දනය, පෞද්ගලික ආරක්ෂණ ක්‍රම මගින් ඩෙංගු රෝගය පාලනය කර ගත හැකිය.

ජලය එකතු කරන ටැංකි, බැරල් අවම වශයෙන් සතියකට වරක්වත් අතුල්ලා පිරිසිදු කිරීම හා ආවරණය කර තැබීම, ටින්, බෝතල්, පොල් කටු, තැඹිලි හෝ කුරුම්බා කෝම්බ, ප්ලාස්ටික් භාජන වැනි ද්‍රව්‍ය එකතු කර ජලය නොරැඳෙන ලෙස බැහැර කිරීම හෝ ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි ද්‍රව්‍ය අපද්‍රව්‍ය කළමනාකරණ ඒකක වෙත බාර දීම, පරණ ටයර්, ඉවත දමන ලද නාන කාමර උපකරණ හා වාහන කොටස්වල ජලය එකතු වීම වැළැක්වෙන සේ වහලයක් සහිත ස්ථානයක තැබීම, නිවෙස් හා කාර්යාල තුළ අලංකාරයට තබා ඇති මල් බඳුන්වල ඇති ජලය සතියකට වරක්වත් ඉවත් කිරීම, ජල ටැංකිවලට ජලය ඇතුළු වන හා පිට වන නළ මදුරුවන්ට ඇතුළු විය නොහැකි ලෙස දැල්වලින් ආවරණය කිරීම, සුරතල් සතුන්ට ජලය ලබාදෙන භාජන ද සතියකට වරක්වත් හොඳින් අතුල්ලා පිරිසිදු කිරීම, බ්‍රොම්ලියා වැනි පත්‍ර අතර ජලය රැඳෙන විසිතුරු මල් පැළ වගා කිරීමෙන් වැළැකීම, කෙසෙල් පඳුරු ආශ්‍රිතව වියළි පත්‍ර ඉවත් කර පරිසරය පිරිසිදුව තබා ගැනීම යනාදිය කෙරෙහි අවදානය යොමු කර මදුරුවන්ට බෝ විය නොහැකි ලෙස පරිසරය පිරිසිදුව තබා ගැනීමෙන් ඩෙංගු මදුරුවාගේ ව්‍යාප්තිය අවම කර ගත හැකිය.

රාජ්‍ය, පෞද්ගලික හා ස්වේච්ඡා මට්ටමෙන් මදුරු උවදුර පාලනය හා සම්බන්ධ කටයුතුවලට යොමු වීම එනම් පොදු ආයතනවල පවතින අපහරණ දේපළ නිසි ලෙස බැහැර කිරීම හෝ ඊට අවශ්‍ය නියෝගයන් කඩිනමින් ලබාදීම, ප්‍රජා මට්ටමේ සංවිධාන පෞද්ගලික හා රාජ්‍ය අංශයන්ගේ සහාය ඇතිව සිය ප්‍රදේශවල මදුරුවන් බෝ වන ස්ථාන ඉවත් කිරීම සඳහා වන වැඩසටහන් ක්‍රියාත්මක කිරිම, ග්‍රාමීය මට්ටමින් පාසල් සිසුන්, තරුණ සමාජ, කාන්තා කණ්ඩායම් ආදිය ප්‍රජා නායකයින්ගේ සහභාගිත්වයෙන් සම්බන්ධ කර ගෙන මදුරුවන් බෝ වීම වැළැක්වීම සඳහා ශ්‍රමදාන පැවැත්වීම, ජනතාව දැනුවත් වීමේ වැඩසටහන් සංවිධාන කිරීම, තම ගෙවතු පිරිසිදු කිරීම හා ක්‍රමවත් ලෙස කසළ බැහැර කිරීම පිළිබඳව නිවැසියන් දැනුවත් කිරීම සහ එම චර්යාවන් දිගින් දිගටම පවත්වාගෙන යාමට නිවැසියන් උනන්දු කරවීම, ජනමාධ්‍ය ප්‍රචාරය මගින් මදුරුවන් බෝ වීම වැළැක්වීමට ජනතාව දැනුවත් කිරීම, නිවාස අසල පිහිටි හිස් ඉඩම් ආදියට කුණු කසල බැහැර කිරීමෙන් වැළැකීම යනාදිය මගින් ඩෙංගු මදුරු පාලනයට පියවර ගත හැකිය.

කිසියම් පුද්ගලයකුට දින දෙකකට වඩා උණ රෝගය පවතින්නේ නම් ප්‍රතිකාර සඳහා යොමු විය යුතුය. ඩෙංගු රුධිර පරීක්ෂාවෙන් පසුව රෝගය වැළඳී ඇති බවට තහවුරු වූ පමණින් රෝහල්ගත වීම අවශ්‍ය නොවේ. නිවසේ සිට මේ රෝගය කළමනාකරණය කර ගැනීමට හැකිය.

රුධිර පරීක්ෂණයෙන් පසුව ඩෙංගු රෝගය වැළඳී නොමැති බව පැවසුණද ඇතැම් විට රෝගය වැළඳී තිබිය හැක. නිවසේ සිට රෝගය කළමනාකරණය කිරීම සෑමවිටම සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගේ මඟ පෙන්වීම යටතේ සිදු කළ යුතුය. දිනපතා සිදු කරන සම්පූර්ණ රුධිර පරීක්ෂාවේ රුධිර පට්ටිකා ප්‍රමාණය අනුව රෝහල්ගත වීම තීරණය වේ. රෝගය වැළඳී ඇති බවට තහවුරු වී ඇත්නම් නිවසේ සිට විවේකය, උණ පාලනය, සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් සිදු කිරීම, ආහාර, පානය කළ යුතු දියර ප්‍රමාණය, මුත්‍රා පිටවීම යනාදිය කෙරෙහි අවධානය යොමු කළ යුතුය. ඩෙංගු රෝගය සම්පූර්ණයෙන් අඩු වන තෙක් රෝගියා විවේකයෙන් සිටීම වැදගත් වේ.

කිසියම් පුද්ගලයකුට උණ රෝගයත් සමඟ නොනවත්වා පවතින පාචනය හෝ වමනය, තද තෙහෙට්ටු ගතිය, ඕනෑම ස්ථානයකින් රුධිර වහන තත්ත්වයක්, තද හිසරදය, උදරයේ තද වේදනාව යනාදී ලක්ෂණ පවතින්නේ නම් වෛද්‍ය උපදෙස් ඉක්මණින් ලබා ගත යුතුය.

මීට අමතරව වෙනත් අපහසුතා පවතින්නේ නම් රෝහලක් වෙත ගොස් නොපමාව ප්‍රතිකාර ගැනීම සුදුසු වේ. වෙනත් රෝගයක් මෙන් නොව ඩෙංගු රෝගයේදි උණ බැස යාම යනු රෝගය සුවවීම විය නොහැක. සංකූලතාවන්ගේ ආරම්භය උණ බැස යාමත් සමඟ සිදු වේ. මේ පිළිබඳව සැලකිලිමත්ව අවශ්‍ය අවස්ථාවේදි වෛද්‍යවරයා හමුව ප්‍රතිකාර ලබා ගැනීමෙන් ජීවිතය සුරක්ෂිත කර ගත හැකිය. ඩෙංගු රෝගයේදි විවිධ අත්බෙහෙත් වෙත යොමු නොවිය යුතුය. අවශ්‍ය වන්නේ රෝගය හඳුනාගත් වහාම සුදුසු ප්‍රතිකාර ලබා ගැනීමය.

ස්තුතිය - ජාතික ඩෙංගු මදුරු මර්දන
වැඩසටහනට සහ සෞඛ්‍ය,
පෝෂණ හා දේශීය වෛද්‍ය
අමාත්‍යාංශයට 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...