'සිරකරුවා' පිළිබඳ සමාජය දරන සෘණාත්මක ආකල්ප වෙනස් කළ යුතුයි | දිනමිණ

'සිරකරුවා' පිළිබඳ සමාජය දරන සෘණාත්මක ආකල්ප වෙනස් කළ යුතුයි

බුද්ධිකා ඉඹුලාන
සිරකරු දිනය නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන් ගේ දූ දරුවන් සඳහා මහජන බැංකුවේ අනුග්‍රහයෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය ඇමැති ඩී .එම් .ස්වාමිනාදන් මහතා අතින් සිදු කළ අවස්ථාවේදී ෂෙහාන් කවීෂ සිසුවා තම ශිෂ්‍යත්වය ලබා ගත් අවස්ථාව. ඡායාරූපය- සුදත් නිශාන්ත

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවටගත් 73 දෙනකු සම්බන්ධ නඩු කටයුතු නොකඩවා විභාග කිරීමට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බැවින් ඉතා කඩිනමින් එම රැඳවියන් සම්බන්ධ අධිකරණමය තීන්දු ලැබෙනු ඇතැයි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නැවත පදිංචි කිරීමේ හා පුනරුත්ථාපන හින්දු කටයුතු පිළිබඳ ඇමැති ඩී. එම් ස්වාමිනාදන් මහතා කියයි.

කිසිඳු රැඳිවියකුට හිංසා පීඩාවකින් තොරව සැලකීමටත්, වරද කර බන්ධනාගාර ගත වන්නන් නිවැරැදි මාවතට යොමු කරන මධ්‍යස්ථානයක් බවට බන්ධනාගාරය පත් කිරීමත් මේ වන විට සිදු කර ඇතැයි ද ඇමැතිවරයා අවධාරණය කරයි.

පෙරේදා (18) ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවානාගාරයේ දී පැවැත්වූ සිරකරු දින උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමින් ඇමැතිවරයා මේ බැව් අනාවරණය කළේය.

සිරගත වූවන් වෙනුවෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මෙන්ම එම කටයුතු භාර අමාත්‍යාංශයට ද විශාල වැඩ‍ කොටසක් කළ හැකි බව කී ඇමතිවරයා මුලින්ම කළ යුත්තේ 'සිරකරුවා' පිළිබඳව සමාජය දරන සෘණාත්මක ආකල්ප වෙනස් කිරීම බව ද පෙන්වා දුන්නේය.

එහිදී ඇමතිවරයා මෙසේ ද කීය.

සියක් වසරක ඉතිහාසයක් ඇති සිරකරු සුබ සාධක සංගමය සිරකරුවන්ගේ මෙන්ම ඒ පවුල්වල සුබ සාධනයට ඉතා විශාල වැඩ කොටසක් සිදු කරනවා. එය අගය කළ යුත්තක්. සිරකරුවා පිළිබඳව සමාජය දරන වැරදි ආකල්ප නිවැරදි කිරීමට අප ගෙන යන වැඩ පිළිබඳව ඔවුන් හොඳ සහයෝගයක් ලබා දෙනවා.

බන්ධනාගාර ගත වන්නකු සමාජයට යහපත් පුරවැසියකු ලෙස දායක කරන්නයි අප වෑයම් කරන්නේ. එම දැක්ම කරා යාමේ දී සමාජයේ නීතිමය රාමු හා ආකල්ප එයට යම් බලාපෑමක් කරනවා. බන්ධනාගාර තුළ සිරකරුවන් රඳා තැබීමේ දුෂ්කරතා තිබෙනවා වැලිකඩ ඇතුළු බන්ධනාගාර කිහිපයක මේ තදබදය පවතින බව සත්‍යයක්. මෙයට පිළියමක් ලෙස මේ බන්ධනාගාර ප්‍රධාන නගර වෙතින් ඈතට ගෙන ගොස් ඉඩ කඩ ඇති ප්‍රදේශයක ස්ථාපිත කිරීමට රජය සූදානම්. වැලිකඩ බන්ධනාගාරය මෙසේ හොරණ-බණ්ඩාරගම ප්‍රදේශයට ගෙන යනවා. වැලිකඩ බන්ධනාගාර පිහිටි අක්කර 28ක ඉඩම නාගරික සංවර්ධන අධිකාරියට පවරනවා.

සිරකරුවන්ට ප්‍රථම වරට මෙට්ට ලබා දීමට අපි සූදානම්. ඒ සඳහා ටෙන්ඩර් කැඳවීම නුදුරු දිනයක දීම සිදු කරනවා. ඔවුන්ගේ කලා කුසලතා, කාර්මික හැකියාවන්, වෙනත් වෘත්තිමය කුසලතා බන්ධනාගාර පාලනාධිකාරින් හඳුනා ගෙන ඔවුනට විශේෂ පුහුණු, අගැයීම් ලබා දෙනවා. මෙයින් ඔවුන්ගේ මානව අයිතිවාසිකම් ද සුරැකෙනවා මෙන්ම ඔවුන් සමාජ ගත වනවිට ආදායම් මාර්ගයක් ද විවෘත වී තිබෙනවා. බන්ධනාගාර නිලධාරීන් හිඟයද මේ දෙපාර්තමේන්තුවට තදින් බලපා තිබෙනවා. සිර ගත වූවන්ට මා පවසන්නේ ඔබ පෙර වැරදි ගැන සිතන්නට වත් සිපිරි ගෙයින් පිට වූ පසු ඒවා නැවත කිරීමටත් උත්සාහ කරන්නට එපා. ඔබ සමාජයට අවශ්‍ය පුද්ගයකු බව සිතන්න. එවිට ඔබට සමාජය හොඳ තැනක් වේවි.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා -

සිරකරුවන් ගේ ආකල්ප වර්ධනය කළ යුතු යැයි සැම දෙනාම මත පළ කරනවා. සමීක්ෂණ වලින් පෙන්වා දෙනවා. අප ඒ සඳහා සකස් කළ සැලසුම්වල මූලික කර ඇත්තේ ආගමයි. ආගම මුල් කර ගෙන මේ සිරකරුවන් ගේ මනස් සෑදීමට ඔවුන් නිවැරැදි මඟට ගෙන යන්නට අප කටයුතු කරනවා.

මිනිසකුට යම් පිළිගැනීමක් අත්‍යවශ්‍යයි. එය නැති වූ තැන පුද්ගලයකු පිළිබඳ යම් කළු පැල්ලමක් සමාජයේ සිත් තුළ කා වදිනවා. මේ තත්ත්වය සමාජයෙන් බැහැර කිරීමට සුදුසු ලෙස අප සිරකරුවන් සමාජගත කළ යුතුයි. යම් පුද්ගලයකු එක් අවස්ථාවක දී හදිසියේ ගන්නා තීරණය නිවැරැදි බව සිතීම නිසා ඔහුට හෝ ඇයට බන්ධනාගාර ගත වන්නට සිදු වනවා. නමුත් ඔවුන් සදාකාලිකව සමාජයෙන් කොන් විය යුතු නැහැ. ඔවුන් සතු කුසලතා තිබෙනවා. අධ්‍යාපන දැනුමෙන් පෝෂණය වූ අය සිටිනවා. මේ අයගෙන් අපට ගත හැකි ප්‍රයෝජන තිබෙනවා. ඔවුන්ට ඒ සඳහා මඟ පෙන්විය යුතුයි. මේ වෙනුවෙන් අප දෙපාර්තමේන්තුව විශාල වැඩ කොටසක් සිදු කරනවා.

සිරකරු සුබසාධක සංගමයේ සභාපති මිලින්ද මොරගොඩ ව්‍යාපෘති සම්බන්ධීකරණ ලේකම් ආර්. ඒ. ඩී සිරිසේන මහත්වරුන් ගේ ප්‍රමුඛ නිලධාරීහු ද, බන්ධනාගාර කොමසාරිස්වරුන්, සහකාර කොමසාරිස්වරුන්, බන්ධනාගාර අධිකාරිවරුන් ඇතුළු නිලධාරිහු ද මේ අවස්ථාවට එක් වූහ.

බන්ධනාගාර රැඳවියන් ගේ දූ දරුවන් සඳහා මහජන බැංකුවේ අනුග්‍රහයෙන් ශිෂ්‍යත්ව ප්‍රදානයක් ද ඇමැතිවරයා අතින් මෙහිදී සිදු කෙරිණි. වැලිකඩ, මහර, පල්ලන්සේන, බූස්ස, වීරවිල, වටරැක, පල්ලෙකැලේ බන්ධනාගාරවල රැඳවියන් ගේ නර්තන හා රංගන ඇතුළත් විශේෂාංග ද මේ උත්සවයේ දී ඉදිරිපත් කෙරිණී.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...