ඇතැම් පිරිස් යළිත් ත්‍රස්තවාදය ඇති කිරීමට කටයුතු කරමින් සිටිනවා | දිනමිණ

ඇතැම් පිරිස් යළිත් ත්‍රස්තවාදය ඇති කිරීමට කටයුතු කරමින් සිටිනවා

සමන්මලී ප්‍රියශාන්ති

දරුණු ත්‍රස්තවාදය මේ රටින් තුරන් කළද රටේ මෙන්ම ජාත්‍යන්තරයේ ඇතැම් පිරිස් යළිත් රට තුළ ත්‍රස්තවාදය ඇති කිරීමට කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

මේ පිරිස් එල්.ටී.ටී.ඊ හිතවාදී රාජ්‍ය නොවන සංවිධාන ලෙස සංවිධාන ගත වී එල්.ටී.ටී.ඊ සෙවණැලි රටේ ඇති කිරීම මඟින් නැවත ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදයක් තිබෙන බවට ජාත්‍යන්තරයට, මානව හිමිකම් කොමිසමට පණිවිඩයක් ගෙන යන්නට උත්සහ දරන බවද හෙතෙම පැවසීය.

ත්‍රස්තවාදී ප්‍රශ්නය නැවත ඇති කිරීම තුළින් මේ අය මුදල් උපයන වැඩපිළිවෙළක් ගෙන යන බැවින් ජනතාව ඒ කිසිවකට හසු විය යුතු නැතැයි ද ඒ මහතා කීවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ (19) පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේද කීවේය.

මේ රටේ යුද අපරාධ ඇති වු බව කියමින් තමන්ගේ ව්‍යාපාරික තත්ත්වය වර්ධනය කර ගැනීමයි මේ සියලු දෙනාගේ අරමුණ. මෙය මාෆියාවක් ලෙස ක්‍රියාත්මක වෙනවා. මේ කූඨ උපක්‍රමවලට ජනතාව හසු විය යුතු නැහැ. මෙය වසර ගණනාවක සිට කරන දේවල්. රාජ්‍ය නායකයා තුල පැහැදිලි ස්ථාවරයක් තිබෙන නිසා මේ දේවල් පසුපස යාම පලක් නැහැ. මෙවැනි සංවේදී කාරණා මතු කරමින් මේ තුවාලය නැවත නැවත පාරන්න එපා කියලා අපි මේ කුමන්ත්‍රණවලට සම්බන්ධ අයගෙන් ඉල්ලා සිටිනවා.

මානව හිමිකම් පිළිබඳව ජාත්‍යන්තරය තුළ මෙන්ම අපේ රට තුළද මේ දිනවල කතා වෙනවා. එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය කරන්න යන විට අපට අපේ රටේ නායකයින්ගේ, සියලු ජන කොටස්වලට අයිති ජනතාවගේ ජීවිත, රණවිරු ජීවිත අපට අහිමි වුණා. රට ආර්ථික වශයෙන් පස්සට ගියා. නමුත් එම ගමනේදී රාජ්‍ය නිලධාරීන්ගේ, දේශපාලන නායකත්වයේ මෙන්ම රණවිරුවන්ගේ කැප කිරීම අපි නිරන්තරයෙන් අගය කරනවා. ඒ අයට අපි ගෞරවය ලබා දිය යුතුයි යන ස්ථාවරයේ අපි ඉන්නවා. හිටපු ජනාධිපතිවරයා හා පවුලේ අය වගේම වර්තමාන ජනාධිපතිවරයා ද මේ ගමනේ පුරෝගාමී කාර්යයක් ඉටු කළ නායකයෙක් ලෙස ජීවිත තර්ජනයකට ලක්ව සිටියා. අවස්ථා පහකදී ජනාධිපතිවරයාගේ ජීවිතය බිලි ගන්නට උත්සාහයක් තිබුණා. එදා ජෙයරාජ් ඇමැතිවරයා වගේ විශාල පිරිසක් අපට අහිමි වුණා. මේ නිසා වත්මන් ජනාධිපතිවරයා රට ඉදිරියේ මෙන්ම අන්තර්ජාතික ප්‍රජාව ඉදිරියේදීද රටේ ආරක්ෂාව හා රණවිරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රාජ්‍ය නායකයා හා සේනාධිනායක ලෙස කටයුතු කරන බව. රටකට වැදගත් වන්නේ රටේ නායකයාගේ ප්‍රකාශ හා ප්‍රතිපත්තියි. ඒ නිසා එතුමා කිසිදිනෙක රණවිරුවෙක් ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යාමට ඉඩ දෙන්නේ නැති බව පුන පුනා ප්‍රකාශ කරද්දිත් අද ඇතැම් අය කවුරු හරි කියන ප්‍රකාශයක් මුලික කරගෙන රණවිරුවන්ට හානි කරන්න යනවා කියලා මතයක් ගෙන යනවා. ජනාධිපතිතුමා පැහැදිලි තීන්දු තීරණ ගත්තා වගේම එතුමා ආරක්ෂක ඇමැතිවරයා ලෙස රණවිරුවන් වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉටු කළා. මේ අයගේ ප්‍රශ්න ගැන සාකච්ඡා කර ඒවා විසදන්න කටයුතු කළා. රණවිරුවන්ගේ සුබසාධන කටයුතු, විශ්‍රාම ගැටලු ගැන විසඳුම් මේ වන විට ලබා දීලා තිබෙනවා.

රජයක කාර්යභාරය එම රණවිරුවන් වෙනුවෙන් යුතුකම් ඉටු කිරීම බැවින් එම වගකීම ඉටු කිරීමට ජනාධිපතිවරයා ඇතුළු වත්මන් රජය කටයුතු කරමින් ඉන්නවා. ත්‍රස්තවාදය පරාජය කර තිබුණද එය වෙනත් අයුරින් ක්‍රියාත්මක වෙන ආකාරයක් තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවට එක් වීම වරදක් බව ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා. අපි එය පක්ෂයේ තීරණයක් ලෙසයි සලකන්නේ. පසුගිය කාලේ අපට කර ගන්න බැරි වුණු වැඩකොටසක් තිබුණා. ඒ තමයි මේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම. අපි පැහැදිලිව කිව්වා කේවල හා අනුපාත ක්‍රමයට යන්න අවශ්‍ය බව කිව්වා. ඒ අනුව අපේ පක්ෂයේ ස්ථාවර වුණේ එයයි. අපි අද ඒ ජයග්‍රහණය ලබා ගත්තා. අපේ බලාපොරොත්තුව අනෙකුත් මැතිවරණයත් කේවල හා අනුපාත ක්‍රමයට පවත්වා ගැනීම. මෙමගින් සුළු දේශපාලන පක්ෂවලටද සාධාරණය ඉටු වෙනවා. ජනතාවට ආදරය කරන නියෝජිතයෙක් මෙන්ම නියෝජිතයාට ආදරය කරන ජනතාවක් ඇති කරන්නට මේ නව මැතිවරණ ක්‍රමය හේතු වෙනවා. මේ නිසා පවතින මැතිවරණ ක්‍රමය වෙනස් වෙන්න අවශ්‍යයි යන මතයේ අපි සියලු දෙනා ඉන්නවා.

සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රකාශ ගැන මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා පැවසුවේ,

වගකීම් සහගත ප්‍රකාශ සිදු කිරීමට සියලු දෙනා වග බලා ගත යුතුයි. ජගත් ජයසුරිය මහතා පසුගිය දා ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා කළා ඒ මහතා සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ. පෞද්ගලික මතිමතාන්දර මෙවැනි අවස්ථාවක වැදගත් වන්නේ නැහැ. මෙවැනි ප්‍රශ්නවලදී වැදගත් වන්නෙ රජයේ ස්ථාවරය පමණයි. යැයි කීවේය.

මෙහිදී තරුණ පෙරමුණේ මාධ්‍ය ලේකම් අසංක එදිරිවීර, භාණ්ඩාගාරික තිසර ගුණසිංහ මහත්වරුද අදහස් දැක්වීය.

ඡායාරූපය - චින්තක කුමාරසිංහ 

නව අදහස දක්වන්න