මෙවර පළාත් පාලන මැතිවරණයට 60%ක පමණ තරුණ නියෝජනයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කිරිමට තීරණය කර ඇති බව සමාජ සවිබලගැන්වීම් සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ ඇමැති එස්.බී. දිසානායක මහතා පැවසීය.
කොට්ඨාස ක්‍රමය අනුව පැවැත්වෙන මෙවර පළාත් පාලන ඡන්දයේ දී කුඩා පක්ෂවලටත් නියෝජනය කළ හැකි ලෙස කොට්ඨාස ඡන්ද අනුව මන්ත්‍රී ආසන වෙන්වන අතර වැඩි ඡන්ද අනුපාතය අනුව එය වන බව ඇමැතිවරයා සඳහන් කෙළේය.
පළාත් සභා හා මහ මැතිවරණයට ද මේ ක්‍රමය ගෙන ඒමට උත්සහ කරන අතර ජනමත විමසුමකට නොයා කළ හැකි සංශෝධන එයින් සිදු කිරීමට අපේක්ෂිත බවත් ඒ සමඟ ඉදිරිපත් කිරීමට අපේක්ෂා කළ“බලහත් කාරයෙන් අතුරුදන් කිරීම සම්බන්ධ පනත“ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බවත් හෙතෙම පෙන්වා දුන්නේ ය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ආරම්භක සැසිය ආමන්ත්‍රණය කිරීමට ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබීම විශේෂිත වූ සැලකීමක්.
මානව හිමිකම් සම්බන්ධයෙන් යුරෝපය අමෙරිකාව, ඉන්දියාව පවා එරෙහිවන තත්ත්වයක දී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටියදී පළමු වටයේ දී අමෙරිකාව ගෙනා යෝජනාව අපට පරාජය කළ හැකි වුණා. උතුරේ තීරණාත්මක යුද්ධයෙන් පසු එකල වූ බවට තිබු චෝදනා එනම් යුද අපරාධ , මානව හිමිකම් කඩකිරීමේ යෝජනා අප වෙත එල්ල වීමේ දී දෙවන වර අපේ කලාපයේ රටවල් අපට එරෙහිව සිටියදී ජනවාරි 23 එම වාර්තාව ඉදිරිපත් කිරීමට තිබියදී හදිසි මැතිවරණයකට ගියේ. එම මැතිවරණයේ අවදානම එවකට ශ්‍රීලනිප මහ ලේකම්ව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා පවා කිව්වා එම අවස්ථාව මැතිවරණයකට නොයා යුතු බව. මා සිතන අයුරින් එදා මැතිවරණයකට යාම හැර මහින්ද රාජපක්ෂ මහතාට වෙන විකල්පයක් තිබුණෙ නැහැ.
එදා ඒ වාර්තාව සම්මත වුණා නම් යුරෝපය ආර්ථික සම්භාධක අප රටට පනවනවා. අපේ තේවලින් 40%ක් යවන්නෙ යුරෝපයට. ඇඳුම් 100%ක් යවනවා. කුළු බඩු 80%කට වඩා යවන්නෙ යුරෝපයට. ඒ අනුව සම්බාධක පැනවූවා නම් අප ආර්ථික වශයෙන් අර්බුදයකට යනවා. මූලික අවශ්‍යතාවක් වන ඉන්ධන ගෙන්වීමත් ගැටලුවක් වෙනවා. ඒ අනුව අපේ ආර්ථිකය කඩා වැටීමකට ලක්වීම වළකන්න බැහැ. මහින්ද මහතාට අවශ්‍ය වුනේ 2015 ජනාධිපතිවරණයෙන් දිනලා ඉන්දියාව අපේ පැත්තට ගන්න. ඉන්දියාව අපට අවස්ථා කිහිපයක් දුන්නත් අප ඒවා අතහැර ගත්තා. එම යෝජනා වුනේ ආණ්ඩුකාර තනතුරුවලට හමුදා නිලධාරීන් නැතිව සිවිල් නිලධාරීන් යෙදවීම, උතුරු නැඟෙනහිර ඉඩම් බලතල සම්බන්ධයෙන් හා උතුරු පළාත් සභා මැතිරණය ඉක්මන් කිරීම සම්බන්ධයෙන් ද යෝජනා වුනත් ඒවා ප්රතික්ෂේපකර හිතවත් වීමේ ඉඩ ප්‍රස්ථාව අතහැර ගත්තා. උපායක් ලෙස ඡන්දය දිනා ඒමට මහින්ද මහතා කටයුතු කළත් පරාජය වුනා.මෛත්‍රී මහතා පොදු අපේක්ෂක ලෙස ජයගෙන පක්ෂ දෙක දෑතට ගෙන ප්රශ්නය විසඳා ගැනීමට ඉඩ දෙන්න කියා ඉල්ලූ විට එය ලෝකය පිළිගත්තා. ඒ අනුව අපේ පැරණි මිත්‍රත්වය ගොඩ නැඟා ගැනීමට හැකවුනා. එම විශ්වාසයේ මිත්‍රත්තවයේ එක් පියවරක් ලෙස එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය මෙවර ආමන්ත්‍රණය කිරීමේ අවස්ථාව ලැබුණෙ.
මේ අනුව එහිදී “ ජනතා කේන්ද්‍රීය තිරසර ලෝකයක් මත සෑම දෙනා හට වැදගත් ජීවිතයක් සහ සාමය සඳහා ප්රයත්න දැරීම“ යන තේමාව මුල්කර ගනිමින් සංහිඳියා වැඩපිළිවෙළ, අපේ සම්මුතිවාදී දේශපාලනය, තිරසර සංවර්ධන කටයුතු, පරිසර ආරක්ෂාවට හරිත සංවර්ධනය යන කරුණු පිළිබඳ ලෝකය හමුවේ තැබීමයි මෙමගින් වන්නේ. එම සමුළුවේදී ලෝක රාජ්‍ය නායකයන් හමුවී සාකච්ඡා කිරීමත් ඉදිරි සංවර්ධනය ඉලක්කකර ලබා ගත හැකි අයෝජන ගැනද මූලික වශයෙන් මෙහිදී කතා කිරීමටත් පියවර ගැනෙනවා.
මෙම සමුළුව සුබදායක ලෙස අවසන්කර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මෙරටට පැමිණීමට හැකිවන බවට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය මෙන්ම ආණ්ඩුව ද විශ්වාස කරනවා.
පසුගිය මහ මැතිවරණය වන විට ශ්රීලනිපය එකට එකතු කළත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් එක් කණ්ඩායමකුත් වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් තවත් කණ්ඩායමකුත් ලෙස පාක්ෂිකයන් බෙදුණා. පාක්ෂිකයන් වැඩි ප්‍රමාණයක් හිට ගත්තෙ මහින්ද මහතා සමඟ බව ප්‍රතිපලවලින් අප දැක්කා. දැන් ක්‍රමානුකූලව ඒ අය පක්ෂයට ගොනුවන බව දැකිය හැකියි.
මෛත්‍රී මහතා පොදු අපේක්ෂක ලෙස ජනාධිපති බවට පත් වූ පසු එතුමා සමඟ මහින්ද මහතා තනිව සාකච්ඡාකර පක්ෂ නායකත්වය ලබා දීමට තීරණය කළේ. ඒ වන විට අප තීරණය කර තිබුණෙ මෛත්‍රීපාල සිරිසේන, දුමින්ද දිසානායක, එම්.කේ.ඩී.එස්.ගුණවර්ධන, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්ම මහත්මීන් පක්ෂයෙන් ඉවත්කර ඒ වන විට අනුශාසක බවට පත්ව සිටි මහින්ද මහතා පක්ෂ නායක ලෙස පත්කර ගැනීමටයි තීරණය කර තිබුණෙ. නමුත් මහින්ද මහතා ඒ අය නැවත පක්ෂයට ගන්නා ලෙස පැවසීමෙන් පසු මධ්‍යම කාරක සභාව එය කළා. පසුව මෛත්‍රී මහතා සභාපති වීමෙන් පසු පවත්වන පළමු පක්ෂ සම්මේලනය පොලොන්නරුවේ පැවැත් වුණා. එයට හටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වුණා. එසේ සිටි පිරිසක් ආණ්ඩුව කඩාගෙන ගොස් නව පක්ෂයක් සෑදිම දක්වා තල්ලු කළේ හිටපු ජනාධිපති හා බැසිල් රාජපක්ෂ මහත්වරු. මේ අයට බියක් තිබෙනවා දැන් අප ශ්‍රිලනිපයෙන් ඉවත්ව නව පක්ෂයක් සෑදූ බව කියන්න. ඒ අනුව මහින්ද මහතා කියනවා මම ශ්‍රීලනිපයේ පාක්ෂිකයෙක්. පක්ෂ සභාපති තවම මම කියා. එසේ කරමින් පොහොට්ටු ලාංඡනයෙන් අලුත් පක්ෂයක් හදනවා. ඒවාට සහභාගි වෙමින් පාක්ෂික අනන්‍යාතව රැක ගැනීමේ යෙදී සිටිනවා.
මීට පෙරත් මෛත්‍රීපාල සේනානායක, අනුර බණ්ඩාරනායක, පක්ෂ උප ලේකම් ස්ටැන්ලි තිලකරත්න ඇතුලු පක්ෂයේ බහුතරයක් පක්ෂයෙන් එළියට ගියා. තවත් වරෙක චන්ද්‍රික මැතිනිය විජය ඇතුලු පිරිසක් පක්ෂයෙන් එළියට ගියා. විශාල පිරිසක් වරින් වර ශ්රීලනිපය හැර ගොස් නව පක්ෂ පිහිටුවා ගත්තා.
එමෙන්ම එජාපයෙත් මෙවැනි බිඳීම් වුණා. ගාමිණී දිසානායක, ඇතුලත්මුදලි , ප්‍රේමචන්ද්‍ර වැන්නන් එසේ ගියා. මෙසේ එළියට යන්නේ ශක්තිමත් කණ්ඩායමක් වුවත් පක්ෂ බිඳ වැටී නැහැ.
වර්තමානයේත මෛත්‍රීපාල සිරිසේන මහතා පාක්ෂියන් ගොනුවෙමින් පක්ෂය ශක්තිමත් කරමින් සිටිනවා.
මේ අනුව ශ්‍රීලනිප ඉතිහාසයේ හොඳම පක්ෂ සම්මේලනය වුණේ පසුගිය 03 කැම්බල් පිටියේ පැවැත් වූ සම්මේලනය. මේ සඳහා පැමිණි අය බොහෝ දෙනෙක් ගෙදරින් බත් මුලක් බැඳගෙන වතුර බෝතලයක් අරගෙන ආවා. සමහර මුදල් තිබුණු පාක්ෂිකයො ආ අයට ආහාර පැකට් දුන්නා. බස් කිහිපයක් හැර සියලු බස් ප්‍රදේශයේ පක්ෂ නායකත්වය හෝ පාක්ෂියන් සපයා ගත් ඒවා. මේ අනුව වෙනදා පක්ෂ සම්මේලනයට වියදම්කළ මුදල් වලින් 10%ක්වත් වියදම් වුනේ නැහැ. සම්මේලනය අවසන්වන තෙක්ම බොහෝ පිරිසක් රැඳී සිට අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කතාව උනන්දුවෙන් ඇහුම්කන් දුන් බව පෙනී ගියා. ඒ අනුව අපේ පක්ෂයේ ඉතිහාසයේ සාර්ථකම සම්මේලනය මෙයයි.
මේ අතර නියෝජ්‍ය ඇමැතිවරයෙක් ඉවත් කිරීම සම්බන්ධයෙන් විවිධ අර්ථකරථන දීමට උත්සහ කරන බව පේනවා. ඔහු අයින් කළත් අපේ ගොඩේ කෙනෙක් ලෙස තියා ගන්න උත්සහ කරන්නෙ. අයින් කළ පසු මෛත්‍රීපාල මහතා හමුව සුහද කතා බහක් තිබුණා. එජාපය සමඟ එක්වෙන්න බැහැ කියන අය සමඟත් පක්ෂයේ මැති ඇමතිවරු සමඟත් සමීප සංවාද ජනාධිපතිවරයා පැවැත්වීම අපේ පක්ෂයේ ධනාත්මක ලක්ෂණයක්. ඒ අනුව අපේ පක්ෂය ශක්තිමත්ව එකතුකර එකම ධජයක් යටතට ගෙන එකට තරග කරන්න උත්සහ කරන්නෙ.
පසුගිය මහ මැතිවරණයෙදි කිසිදු චෝදනාවක් නැති චමල් රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂක ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මෙහෙයවීමෙන් තරග කළා නම් අපට ආසන 120කට වැඩි ප්‍රමාණයක් ගන්න තිබුණා. නමුත් මහින්ද මහතා නිසා ඒ අවස්ථාව අපට ගිලිහුණා.
මෙවර ඡන්දයට අලුත් අපේක්ෂකයො ගේනවා. තරුණ පිරිසට වැඩි තැනක් දීමටයි මෙවර පළාත් සභා හා ප්‍රාදේශීය සභාවල දී පක්ෂය තීරණය කර තිබෙන්නෙ. මේ නව කණ්ඩායම සමඟ තම අසල්වාසියා දිනවන්න වේගයෙන් පාක්ෂිකයන් එක්වන බව පක්ෂය වටා පෙළ ගැසෙන බව අපි දකිනවා. මැතිවරණය තියන අවසාන මොහොත දක්වා අපෙන් වෙන් වූ අය එක්කරගෙන එක්සත් ජනතා නිදහස් සන්ධානය ශක්තිමත් කරන්න අප ක්‍රියාත්මක කරනවා.
ශ්රීලනිපය ප්රමුඛ කණ්ඩායම ශක්තිමත්ව ඉදිරි මැතිවරණයට මුහුණ දී අනිවාර්යයෙන්ම එය ජය ගැනීමට කටයුතු කරනවා.
මෙවර පළාත් පාලන ඡන්දය මනාප ක්‍රමයට තියන්නෙ නැහැ. කොට්ඨාස ක්‍රමයටයි තියන්නෙ. ප්‍රාදේශීය සභා නගර සභා අපේක්ෂකයන් 60%කට කොට්ඨාස හදලා තිබෙනවා. ඒ අය තරගකර දිනන්න ඕනෙ. එහිදී ඡන්ද ලබාගත් ප්‍රමාණය අනුව කොට්ඨාස 20ක් දිනා ඇති පක්ෂයට මන්ත්‍රී ආසන බෙදන විට ප්‍රතිශතය අනුව ලැබෙන ආසන නිසා මන්ත්‍රී ආසන 19ක් විය හැකියි. ඇතැම් ඒවායේ 20ක් ම විය හැකියි. ඒ අනුව පුංචි පක්ෂවලටත් නියෝජනය කළ හැකි ලෙස කොට්ඨාස ඡන්ද අනුව මන්ත්‍රී ආසන වෙන් වෙනවා. මෙය වන්නේ වැඩි ඡන්ද අනුපාතය අනුවයි. මේ ක්‍රමය පළාත් සභාවලටද ඇතුල් කිරීමට උත්සාහකරන කෙරෙනවා. මෙහිදී මුදල් මත ක්‍රියා කිරීමට හෝ දූෂණ ක්‍රියා සිදුවීමට ඉඩක් නැහැ. මහ මැතිවරණයත් මේ ආකාරයට යන්න අප සූදානම් වෙන්නේ. මේ වන විට විවේචන සංවාද හරහා රට විවෘතකර තිබෙනවා. මේ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තව දුරටත් ශක්තිමත් කිරීමයි අපේ අවශ්‍යතාව. ඒ අනුව ඉදිරි මැතිවරණ ජය ගැනීමටයි කටයුතු කරන්නෙ.
මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මෙසේ ද කීය.
සමෘද්ධි නිලධාරීන්ට ජනතාවට සේවය කිරිමට අවශ්‍ය නම් ඊට සුදුසුම අවස්ථාව නිවාස නැති අයට නිවාස හදා ගැනීමට උපකාර කිරීමටත් ජන ජීවිතය නගා සිටුවීමේ කටයුතු වලට උදව් කිරීමටත් හැකිව තිබෙනවා. මේ වන විට දුෂ්කර ගම්මානවල ගිනි පොලියට ණය දීමේ ක්‍රමයක් ඇති වෙලා. එමගින් පොළිය ලෙස විශාල ප්‍රමාණයක් ගෙවන්න සිදුවන බව ඒ අයට වැටහීමක් නැහැ. සමහරු කුඹුරු උගස් තියලා දැන් සමහරු ඒ අයගෙ කුඹුරෙ අඳ ගොවි තත්ත්වයට පත්වෙලා. මේ අනුව සමෘද්ධි හා ක්ෂේත්‍ර නිලධාරීන්ට හැකියි රජය හරහා උපකාර කරන්න. මේ ණය ලබා ගන්න අයට දියුණුවට යම් ප්‍රාග්ධන ආධාරයක් ලබා දෙන්නේ නම් ඒ අයට නැඟිටින්න හැකියි. මේ රටේ 93%ක් පමණ ගන්නෙ සුළු ණය. මේ අය සුළු හා ක්ෂුද්‍ර පරිමාණ ව්‍යවසායිකයන්. මේ අය ණයෙන් නිදහස් කර ගැනීමේ කාර්යයට සමෘද්ධි නිලධාරීන්ට දායක විය හැකි ක්‍රම ක්‍රියාවට නැංවිය හැකියි.
ඡායාරූප - සිරිපාල හල්වල
නව අදහස දක්වන්න