සුන්දරත්වයෙන් පිරිපුන් හියාරේ වනපෙත | දිනමිණ

සුන්දරත්වයෙන් පිරිපුන් හියාරේ වනපෙත

තෙත් බවින් යුතු වනාන්තරයේ තැනින් තැන මතු වූ බොහෝමයක් ජල පහර නිසා,සිසිල් බවින් පිරුණු හියාරේ වනපෙත, දනන් සිත් තුළ මතු කරන්නේ අපූර්වත්වයකි. සියත් ආරු නම් දිය ඇලි හේතුවෙන් ‘ සියත් ආරු’ කාලයක් සමඟ පරිණාමය වී හියාරේ යන නම ගමට යෙදී ඇත. එම හියාරේ ගමට දායාද වූ හියාරේ වන පෙත, නැත්නම් හියාරේ රක්ෂිත වන පෙත, නරඹන්නන්ගේ ගත සිත පිනවන සුන්දර වන උද්‍යානයකි. මෙය ඉතා ම දුර්ලභ ගණයේ වන්නාන්තරයකි. ඒ නිසා ම එහි වටිනාකම වැඩි ය. බොහෝ දේ උරුම කර ගත් මේ වන උද්‍යානය, ලක්වැසි අප ලද මහඟු දායාදයකි.

පහත රට තෙත් කලාපීය සදාහරිත වනාන්තර ගණයට අයත්, හොඳින් පෝෂණය වූ හියාරේ වන පෙත, ජාතියට දායාද වූ සුන්දර වනපෙතකි. මුහුදු මට්ටමින් අඩි 340ක් උසින් පිහිටි මේ වන්නාතරය තුළ දකින්නට ප්‍රිය දසුන් බොහෝමයක් දායාද වී ඇත. තැනින් තැන මතු වූ දිය සිරාවලින් සෑදුණු දිය දහරා, වනාන්තරය තුළ දැකිය හැකි ය. එය කුඩා දිය ඇලි බවට පත් වී ගලා හැලෙන්නේ, දකින්නන්ගේ ගත සිත පිනවමිනි. මිනිසාගේ කුරිරු ක්‍රියාකාරකම් හේතුවෙන් අද වන විට තත්ත්වය මදක් වෙනස්ව ගියත්, හොඳින් වර්ෂාපනය වැටෙන කාලවලදී හඬ නංවමින් ඇද හැලෙන මෙහි ඇති දිය ඇලි නිසාම, ගම මැදින් ගලා යන සුන්දර දිය දහරාව වන මාදොළ නමැති දිය පහර ගලා යන්නේ, ගම් නියම්ගම්වල මිටියාවත් බොහෝමයක් සශ්‍රීක කරමිනි.

ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මීමණ ප්‍රාදේශීය ලේක්ම් කොට්ඨාසයට අයත් හියාරේ රක්ෂිත වනාත්තරය, හියාරේ ඉහළ හා හියාරේ නැඟෙනහිර ග්‍රාම නිලධාරී කොට්ඨාසයට අයත්ව පිහිටා ඇත. මෙය කොට්ටව හා කොඩල වනාන්තරවලට ඒකාබද්ධ වෙමින් සිංහරාජ වනාන්තරය දක්වා පැතිර යන සුන්දර වනාත්තරයකි.

මේ වනාන්තරය තව තවත් ලස්සන කරන රමණීයව බිහි වී ඇති ජලාශය ඩී. ජී. විමසුරේන්ද්‍රයන්ගේ විස්මිත නිර්මාණවලින් තවත් එකකි. වනාන්තරය ජලාශයේ ජල පෝෂක ප්‍රදේශයක් ලෙසින් ද ආරක්ෂා වී තිබේ. අතීතයේ ගාල්ල නගරයට ජලය ලබා දුන් ජලාශය ලෙසින් හියාරේ ජලාශය අද්විතීය ස්ථානයක් හිමි කර ගත්තත්, අද වන විට එම ජලාශයට දක්වන සැලකිල්ල ඉතාම කනගාටුදායක ය. මේ නිසා ජලාශය මෙන් ම ඊට අයත් සම්පත් සියල්ල පරිහානියට පත්වීම වේගවත්ව ඇත.

හියාරේ රක්ෂිත වනාන්තරය,නැත්නම් උද්හිද උද්‍යානය හියාරේ ගම සමඟ කැකිල්ලහේන, අන්දායම, කදුරුගස්හේන යන ගම්වලින් වටවී ඇත. එය කොට්ටව කෝඩල වනාන්තරය දක්වා විහිදි යයි. හියාරේ රක්ෂිත වනාන්තරය අක්කර 600 ක් ඇත. ජලාශය අක්කර 55ක් ලෙසින් ජලයෙන් යට වී ඉදි වී තිබේ. ජලාශය මැද සුන්දර දුපතක් තිබීම අතිශයින් ම සුන්දර දසුනකි. මැද දූව ලෙසින් හඳුන්වන මේ සුන්දර දුපත අක්කර 7 ක් දක්වා ව්‍යාප්ත වේ. මෙය කුරුල්ලන්ගේ මෙන් ම නොයෙක් සිවුපාවුන්ගේ රජ දහනකි. මේ දූපත රූස්ස ගස්වලින් පෝෂණය වී නොතිබුණත්, ඝනව වැවී ඇති වනාන්තරයක් ලෙසින් දැකිය හැකිය. මෙහි ඇති තවත් සුවිශේෂි බවක් වන්නේ, කුරුලු කොබෙයියන්ට හිතුමතේ භුක්ති විඳින්නට හැකි දං, මාදන්, හිඹුටු සහ පේර වැනි පලතුරු වර්ග රාශියක් මෙහි තිබිම ය. විශේෂයෙන් කුරුල්ලන්ගේ රජ දහන වීමට මෙය හේතු වී ඇත.

වනාන්තර තුළින් ගලා යන දිය පහරවල් රාශියක් එක් පසෙකින් සුන්දර වු ජලාශය පෝෂණය කරයි. අනෙක් පසින් තවත් දිය පාරක් පොල් අතු දොර නම් වූ දිය ඇල්ලක් ලෙස වනාන්තර තුළින් ගලා බසී. එය ප්‍රදේශයේ සිටින පැරැන්නන්, කදිරන්දොළ ලෙසින් හඳුන්වන්නේ මෙය ආදි කාලයේ සිට පැවත එන තවත් දිය පහරක් ලෙසින් ප්‍රකට නිසා ය. නිසාවෙනි. මේ වනාන්තරය රූස්ස ගස් මෙන් ම , කුඩා ගස්වලින් පෝෂණය වී ඇත. එමෙන් ම, වටිනා වැල් රූස්ස ගස්වලට ගොස් තිබීම සුන්දර වන පෙත් තවත් ලස්සන කරන දසුනකි. පසුවැල්, වඳුරු වැල් සහ වෙනි වැල් වැනි විශාල ප්‍රමාණයේ වැල් වර්ග සමඟ කුඩා ප්‍රමාණයේ වැල් වර්ග වන හාතවාරිය සහ කුඩමිරිස්ස වැනි වැල් වර්ග ද මෙහි දක්නට ඇත. මෙය ඉතා ම වටිනා මිල්ල, හල්මිල්ල වැනි රූස්ස ගස් කලාතුරකින් හෝ මේ වනය තුළින් දක්නට ලැබීම තවත් විශේෂත්වයකි. වෙනත් බොහෝ ගස් වර්ග ද හොඳින් වැඩී තිබීම මේ සුන්දර වන පෙත ලස්සන කරන තවත් එක් අංගයකි. වැසි වනාන්තරවලට ආවේණික ප්‍රමුඛ පෙළේ ගස් වර්ග වන හොර, කැකුණ, ඇටඹ සහ බැදි දෙල් වැනි ගස් වර්ග සමඟ තවත් බොහෝ ගස්වලින් හියාරේ රක්ෂිත වනාන්තරය පෝෂණය වී ඇත.

පඳුරු ශාක ලෙස මේ වනාන්තරය තුළ දියපර, ගොඩපර වැනි පඳුරු ශාක බහුලව දක්නට ලැබේ. අන්තර් මධ්‍ය කලාපීය වනාන්තරවලට ආවේණික ගස් විශේෂ මේවනාන්තරවල තිබිය හැකි බව පර්යේෂණවලින් හෙළි වී ඇත. මේ වනාන්තරය වන සතුන්ට තෝතැන්නකි. මෙහි දකින්නට ඇති විශාලම සත්වයා ලෙස ගවයා හැඳින්විය හැකි අතර, දඩයම්කරුවන්ගේ ග්‍රහණයට වැඩියෙන්ම හා ඉක්මනින් ගොදුරුවන්නේ මේ සතා ය.

මෙයට අමතරව වල් ඌරා, ඉත්තෑවා, මීමින්නා, හඳුන්දිවියා සහ කැබැල්ලෑවා වැනි සතුන් ද මේ වන්නාතරය තුළ දක්නට ලැබේ. මේ සතුන් අතරෙන් ලෝකයේ රතු දත්ත ලේඛනයට ඇතුළත් වී ඇති කබැල්ලෑවා, ඉතා ශීඝ්‍රයෙන් වඳවී යාමේ තර්ජනයකට ලක් වී ඇත. මේ වනාන්තරය තුළ තවත් බහුලව දක්නට ලැබෙන සත්ව කොටසක් ලෙස උරඟයන් හැදින්විය හැකි ය. විස සහිත උරග විශේෂ අතරින් ශ්‍රී ලංකාවේ දී අපට දකින්නට ඇති උරග වර්ග 05කින් 03 දෙනෙක්ම මේ වනාන්තරයේ දී දක්නට ලැබේ. එම සතුන් වන්නේ, නයා, තිත් පොළඟා, කරවලා යනවුන් ය. මඳ විෂ සහිත සතුන්ගෙන් කුණකටුවා, මාපිළා, කටකලූවා මේ වනන්තරය තුළ දැකිය හැකි ය. විෂ සහිත සතුන් අතර, කරවලා, ඇහැටුල්ලා, මල්සරා (පොල් මල් කරවලා) යන සතුන් සමඟ තවත් උරග විශේෂ මේ වනාන්තරය තුළ නිදහසේ ජීවත් වන බව අපට දැකිය හැකි ය.

දැනට සොයා ගෙන ඇති පරිදි මිරිදිය මත්ස්‍ය විශේෂ 90ක් පමණ සිටියද, ඉන් 50 ක් පමණ ශ්‍රී ලංකාවට ආවේණික මත්ස්‍ය විශේෂ ලෙස දැක්විය හැකි ය. මේ මත්ස්‍ය විශේෂ බහුලව ව්‍යාප්ත වී නැති වීම කනගාටුවට කරුණකි. මෙය තෙත් කලාපීය වශයෙන් ව්‍යාප්තියේ අඩුවක් ලෙස හැඳින්විය හැකි ය. එහෙත් හියාරේ රක්ෂිත වන උද්‍යාන තුළදී අපට මේ මත්ස්‍ය විශේෂයෙන් දැකගත හැකි ය. ලේ තිත්තයා, බුලත් හපයා, හල්මල් දංඩියා, මල් පුච්චාටා, උඩහඳයා වැනි මත්ස්‍යයින් සමඟ තවත් බොහෝ මත්ස්‍ය විශේෂ මේවන්නාතරයේ දිය ඇළි සහ දිය තටාකවලදී දැකගත හැකි ය.

2012 රතු දත්ත වාර්තා අනුව උභය ජීවීන් 111 ක් පමණ ලෝකයේ වාර්තා වී ඇත.ඉන් 90% ක් ශ්‍රී ලංකාවට ආවේණික උභය ජීවීන් ය. ඉන් හියාරේ රක්ෂිත වන උද්‍යානය තුළින් උභය ජීවීන් විශේෂ 21 ක් ඇති බව වාර්තා වී තිබේ. ඒ සතුන්ගෙන් උභය ජීවින් 13 ක් ශ්‍රී ලංකාවට ආවේණික උභය ජීවීන් ය. මොටහොඹු මැඩියා නම් වන මැඩියා වකරැළීගේ මැඩියාලෙස හැඳින්විය හැකි ය. අතුකෝරළගේ මැඩියා, හොල ගෙම්බා වැනි උභය ජීවීන් සමඟ තවත් බොහෝ උභය ජීවින් පිරිසක් හියාරේ රක්ෂිත වනාත්තර අධ්‍යයනය කරන්නකුට බලා ගත හැකි ය.

වර්තමානයේ දී ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් 35ක් දැකිය හැකි ය. ඒක දේශික පක්ෂීන් 9ක් හියාරේ රක්ෂිත වන්නාත්රය තුළ දී දැක ගැනීමට පුළුවන. මෙහි, කළු කොණ්ඩයා, පිට රතු බටගොයා, හීන් කොට්ටෝරුවා, වැහිලිහිණියා, අළු කෑඳැත්තා, ගිරා මලිත්තා , ලබු ගිරවා වැනි සතුන් බහුලව දැකිය හැකි ය. මීට අමතරව තවත් බෝහෝ සතුන් හියාරේ රක්ෂිත වන්නාතරය තුළ දක්නට ලැබේ. ඒ ඒ කාලවල දී දේශගුණික වෙනස්කම් හා වෙනත් හේතු මත ජීවත් වීමට සුදුසු පරිසරයක් සොයා එන ආගන්තුක පක්ෂීන්ගේ තාවකාලික නිජ භූමිය කරගෙන ජීවත් වන පක්ෂින් රාශියක් මේ වන පියස තුළ සැරිසරයි. හියාරේ උද්‍යානය තුළ අධ්‍යාපනය හදාරන දරුවන්ට ඉගෙන ගත හැකි බොහෝ දේ ඇති නිසා, නිරන්තරයෙන් පාසල් දරුවන්ගේ අවධානයට ලක් වී ඇති වනාන්තරයක් ලෙසහැඳින්විය හැකි ය.

මේ වන විට හියාරේ රක්ෂිත වන උද්‍යානයට ඇති තර්ජනය නම්, වල්ලාපට්ටා කැපීම, නිතී විරෝධී මත්පැන් පෙරීම සහ සත්ව දඩයම ඉතා ම දරුණු ලෙස පැවතීම ය. අනවසර තේ වගාව සඳහා වන භූමිය අල්ලා ගැනීම, වේවැල් සහ වෙනිවැල් වැනි දේ ප්‍රමාණය ඉක්මවා කැපීම වන්නාතරයේ පැවැත්මට ප්‍රබල තර්ජනයකි. වනාන්තර විනාශ කිරීම නිසා අවට ගම්වල මිනිසුන්ට පානීය ජල ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුව ඇත.

 

විශේෂ ස්තූතිය - ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ පර්යේෂණ නිලධාරී පී. මනම්පේරි, කළමනාකරු සිසිර සහ බීට්ටු වන නිලධාරී ආර්.එස්. ලියනගේ යන මහත්වරුන්ට

අක්මීමණ විශේෂ සුනිල් ගමගේ 

නව අදහස දක්වන්න