ධීවරයන් පිරිසක් සී ග්ලයිඩර් උපකරණයක් ගොඩබිමට අරන් ඇවිත් | දිනමිණ

ධීවරයන් පිරිසක් සී ග්ලයිඩර් උපකරණයක් ගොඩබිමට අරන් ඇවිත්

ගාල්ලට මුහුදු සැතපුම් නවයක් දුරින් මුහුදේ පාවෙමින් තිබියදී යානාවක කොටසක් බවට සැක සිතී ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර කාර්මිකයන් පිරිසක් විසින් ගොඩබිමට රැගෙන එන ලද හඳුනා නොගත් වස්තුව සී ග්ලයිඩර් (sea glider) නමින් හදුන්වන නාරා ආයතනය මඟින්න් දිගු කාලීන සාගර විද්‍යාත්මක දත්ත හා තොරතුරු එකතු කිරීම සදහා භාවිතාකරන උපකරණයක් බව එම ආයතනයේ නිලධාරීයෙක් දිනමිණ ට පැවසීය.

දිගින් අඩි හතරක් පමණ වූ එම වස්තුව ධීවරයන්ට හමුවන විට පාවෙමින් තිබී ඇති අතර එය බහුදින යාත්‍රාව මතට ගෙන එහි ඇනිය මත තබාගෙන ගොඩබිමට රැගෙන විත් තිබුණි.

සී ග්ලයිඩර් යනු ගැඹුරු මුහුදේ ස්වංක්‍රීයව දියයට කිමිදෙන යානයක් වන අතර ඒවා ඉතා දිගු කාලීන මෙන්ම සැතපුම් දහස් ගනණක් එක දිගට මුහුදු පර්යේෂණ හා අත්හදාබැලීම වල යෙදීම සඳහා භාවිතයට ගැනෙන ලොව පුරා මුහුදු පර්යේෂණ ආයතන විසින් ප්‍රයෝජනයට ගන්නා මෙවලමකි. මේවා නාරා ආයතනය මඟින් ශ්‍රී ලංකා මුහුදු ගවේෂණ කටයුතු සඳහා නිබඳව යොදා ගන්නා අතර මේ ඒ පිළිබඳ විටින් විට ධීවරයන් දැනුවත් කර ඇති බවත් එම ආයතනය වැඩි දුරටත් සඳහන් කරයි.

මෙවැනි උපකරණ මුහුදේ දී දුටුවිට ඒවා වෙරළ කරා රැගෙන ඒමට හෝ ඒවා අතපත ගෑමට නොයන ලෙසද නාරා ආයතනය ධිවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

මහින්ද පි ලියනගේ- ගාල්ල මධ්‍යම විශේෂ
ඡායාරූපය - ගාල්ල මධ්‍යම විශේෂ 

නව අදහස දක්වන්න