අවවාද නොතකන උදවියට ජනාධිපතිගේ ‘මඩු වලිග’ පහර | දිනමිණ

අවවාද නොතකන උදවියට ජනාධිපතිගේ ‘මඩු වලිග’ පහර

* කෝප වූ මහින්ද මාධ්‍යවේදීන්ට කළ තර්ජනය
* රාජිතගේ මාර පොයින්ට් එකක් ගැන හැරිසන් කියයි
* ආණ්ඩුවේ ආසාවයි බයයි ගැන හඳුන්නෙත්තිගේ හෙළිදරව්ව

පසුගිය සති අන්තයේ දී පොළොන්නරුවේ උත්සව හා විවෘත කිරීම් රැසකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගී වුණා. එහිදී කවුඩුල්ල මිරිස්හේනගම සංවර්ධනය සඳහා ඉදිකිරීමට නියමිත ප්‍රජා ශාලාවට මුල්ගල තැබීමේ උත්සවයට කාගේත් අවධානය යොමුවූයේ එහිදී කුඩා දැරියක් ජනාධිපතිතුමා වෙත පැමිණ එතුමාගේ ඔඩොක්කුවේ විනාඩි විස්සක් පමණ ගතකිරීම නිසායි. එලෙස ජනාධිපතිතුමා වෙත පැමිණියේ මැදිරිගිරියේ අමුණුගම පදිංචි අනුල්‍යා දැරියයි. මෙම දැරිය රූපවාහිනියෙන් ජනාධිපතිතුමා දකින විට ජනාධිපති සීයා ලෙස හඳුන්වන්නට පුරුදු වී සිටි බව මව්පියන් කියනවා. එදින මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා වැවත් සමග ගමක් වැඩසටහනට මිරිස්හේන ගමට එන බව කී විට මෙම දැරිය තම පියාට කීවේ තමන්ට ජනාධිපති සීයා බැලීමට යාමට අවශ්‍ය බවයි. රැස්වීමට ආ දැරිය බිම තැබූ විට පිරිස අතරින් ඉදිරියට ගියා. ආරක්ෂකයින් ඇය නවතන්න හදනවිට ජනාධිපතිතුමා කීවේ ඇයට එන්න ඉඩ හරින්න කියායි. අනුල්‍යා දැරිය ජනාධිපතිතුමා වෙත ගොස් සුරතල් වූ ආකාරය මාධ්‍යවේදින්ට හොඳ ඡායාරූපයක් වුණා.

මහවැලි ක්‍රීඩා උලෙළේ සමාප්ති උත්සවය මෙවර පැවැත්වුණේ පොළොන්නරුව ජාතික ක්‍රීඩාංගණයේදීයි. මහවැලි කලාප දහයක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම උලෙළ ජාතික ක්‍රීඩා උලෙළක් මට්ටමින් පැවැත්වෙනවා. ජනාධිපතිතුමා ක්‍රීඩා උළෙලේ දී කීවේ මහවැලි කලාපයේ මෙබඳු ක්‍රීඩා උළෙලක් පැවැත්වීමට මුල පිරූ ගාමිණී දිසානායක මැතිතුමාගේ නම තමන් ගෞරවයෙන් සිහිපත් කරන බවයි.

රටේ වගා නොකර තිබෙන ඉඩම් වගා කිරීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ජනාධිපතිතුමා එහිදී කීවා. වගා නොකර ඇති රජයේ ඉඩම් මෙන්ම පෞද්ගලික ඉඩම්ද මෙම වගා සැලැසුමට අයත් බව එතුමා ප්‍රකාශ කළා. අක්කර සිය ගණනින් තිබෙන මුඩු ඉඩම් සංවර්ධනයට යොමු කරන බව ජනාධිපතිතුමා පැවසුවා.

මෙහිදී කතාකළ මහින්ද අමරවීර ඇමැතිවරයා කීවේ තමන් මහවැලියේ වලව කලාපයේ පදිංචිකරුවකු වුවත් මෙබඳු ක්‍රීඩා උලෙළකට සහභාගී වූයේ ප්‍රථම වතාවට බවයි. මෛත්‍රීපාල සිරිසේන මහතා කෘෂිකර්ම ඇමැතිවරයාව සිටියදී ක්‍රියාත්මක කළ ‘අපි වවමු - රට නගමු’ වැඩ සටහනෙන් අත්කරගත් ජයග්‍රහණ පිළිබඳවද ඇමැතිවරයා සිහිපත් කළා. පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියා.

දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ පසුගිය නව වැනිදායි. එහිදී කතා කළ ජනාධිපතිතුමා කීවේ පසුගිය ජනාධිපතිවරණයේදී පොළොන්නරුව මැතිවරණ කොට්ඨාසයෙන් තමන්ට වැඩි ඡන්ද 31000ක් ලැබුණේ පක්ෂ භේදයෙන් තොරව සියලු දෙනා ඡන්දය දුන් නිසා බවයි. එසේ වුවත් පොළොන්නරුව ගැන පමණක් සැලකීම තම ප්‍රතිපත්තිය නොවන බව ජනාධිපතිතුමා කීවා. දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක කොට ඇති සංවර්ධන වැඩසටහන් ගැන ජනාධිපතිතුමා එහිදී සඳහන් කළා. පොළොන්නරුවේ සංවර්ධනයට අවශ්‍ය මුදල් ලබාගැනීමට තමන්ද සිටි පසුගිය ආණ්ඩුවලින් තමන්ට නොහැකි වූ බවත් එම ආණ්ඩුවලින් නොදුන්දේ දැන් තමන් මහජනයාට ලබාදෙමින් සිටින බවත් ජනාධිපතිතුමා එහිදී කීවා.

දිඹුලාගල මීවත්පුර සඳරැස්ගම ආදර්ශ ගම්මානය විවෘත කිරීමේ උලෙළටද ජනාධිපතිතුමා සහභාගී වුණා. නිවාස ඇමැති සජිත් ප්‍රේමදාස මහතාද ඒ අවස්ථාවට සහභාගි වී සිටියා. රජයේ නිවාස සංවර්ධන වැඩ සටහන සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා කාර්යක්ෂම ලෙස සිදුකරන ආකාරය ජනාධිපතිතුමාගේ පැසසුමට ලක් වුණා. රටපුරා නිවාස ඉදිකිරීම් සාර්ථකව ක්‍රියාත්මක වන ආකාරය පෙන්වා දුන් ජනාධිපතිතුමා මෙම ආණ්ඩු කාලය අවසන්වීමට පෙර නිවාස ව්‍යාපෘති 2500ක් අවසන් කිරීමට ඉලක්කකොට ඇති බව කීවා.

පසුගිය සති අන්තයේ අගමැතිවරයා ගාල්ල දිස්ත්‍රික්කයේ ගං වතුරින් හානි වූ තේ වතු හා කම්හල් වෙනුවෙන් රු.කෝටි 33 ½ක දැවැන්ත වන්දි ලබා‍ දීමේ උත්සවයට සහභාගි වුණා. ඒ ගාල්ල නගර සභා ශාලාවේදීයි.

බ්‍රහස්පතින්දා උදේ අරලිය ගහ මැදුරේ පැවති දිසාවේ ග්‍රාම නිලධාරීන් 5000ක් ඇමතීම සඳහා වජිර අබේවර්ධන මහතා සූදානම් කළ රැස්වීමටද අගමැතිවරයා එක් වුණා.

එහි යාමට පෙර තමා හමු වීමට පැමිණි මැති ඇමතිවරු සමඟද අගමැතිවරයා පිළිසඳරක යෙදුණා.

“ ලලිත් හා අනූෂගෙ තීන්දුව ගැන අගමැතිවරයාගේ මතය මොකද්ද” දයා ගමගේ මහතා ඇසුවා.

“ඒක උසාවි තීන්දුවක්.අපි බලපෑම් කළේ නෑ.ඒ අයට අභියාචනාධිකරණය හා ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියාචනා කරන්න අවස්ථා 02 ක් තියෙනවා. සාධාරණ කරුණු පෙන්නුවොත් ඇප ලබා ගන්නත් පුළුවන් වේවි. ” අගමැතිවරයා උත්තර දුන්නා.

“ඔය නඩුව 24 වතාවක් කැඳෙව්වත් මහින්ද හෝ නඩය නිකමට උසාවි ආවේ නෑ.දැන් රටේ නැති තර්ක දාලා උසාවි තීන්දුවත් දේශපාලනයට හරවල ආණ්ඩුවට මඩ ගහන්න හදනවා. මහින්ද මහත්තයා උසාවියට ඇවිත් සිල් රෙදි බෙදීම මගේ තීන්දුවක් බව නොකියා දැන් බන්ධනාගාරයට ගිහින් මයික් ඇල්ලුවාම ඒක කීම විහිළුවක්” රන්ජන් රාමනායක මහතා අදහස් දැක්වුවා.

“ අධිකරණයේදී සිල් රෙදි සිද්ධියේ වගකීම් බාර නොගෙන දැන් මයික් ඉදිරියේ වරද පිළිගෙන වැඩක් නෑ.” ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවා.

“ බන්ධනාගාරයේදී මාධ්‍යවේදීන් ඉදිරියේ මහින්ද අවුල් වුණා. තමා කළ වරද හිතේ තියෙන නිසා එහෙම වෙන්නැති.”වජිර අබේවර්ධන මහතාද එයට එක් වුණා.

“ මහින්ද සිල් රෙදි බෙදීමේ වරද ප්‍රසිද්ධියේ පිළිගත්ත නිසා දැන් එයාට විරුද්ධව කවුරු හරි උසාවි ගියොත් ජනාධිපති මුක්තියත් නැති නිසා එයා හිර වෙනවා කියල රාජිත මාර පොයින්ට් එකක් ගෙනාවා.” පී. හැරිසන් ඇමතිවරයා කිව්වා.

“ වැරදිකරුවන් වූ අයගේ දඩ ගෙවන්න හාමුදුරුවරු කට්ටියක් පිණ්ඩපාතේ යන්න හැදීම ගැන මිනිස්සු තදින් විරුද්ධ පාටයි. ෆේස් බුක්වල ඒ හාමුදුරුවරු නැති කරනවා.” නවීන් දිසානායක මහතා පැවසුවා.

“ හාමුදුරුවරුන්ට බුදු දහම අනුව පිණ්ඩපාතෙත් එකතු කරන්න අයිතිය තියෙන්නේ දානය සඳහා ආහාර හා රෝග සදහා ඖෂධ විතරයි.” අගමැතිවරයා කිව්වා.

“ මිනිස්සුන්ගේ සල්ලිවලින් සිල් රෙදි රු.දසලක්ෂ 600 ක් බෙදල දැන් ඒ දඩ ගෙවන්න මිනිස්සුන්ගේ සල්ලි එකතු කරන්නේ ළඟ එන ඡන්දයට කියලයි මිනිස්සු කියන්නේ. හොරකම් කරපුවා ඉතිරි කරගෙන ඊළග ඡන්දයත් ජනතාව ගසා කාල කරන්නයි හදන්නේ කියලත් ජනතාව කියනවා. ඔය සිල් රෙදිවලින් ලංකාව තුන් වරක් වටේම ඔතන්න පුළුවන් බව ජවිපෙ අනුර කුමාර කිව්වා. පේදුරුතුඩුවේ ඉදලා දෙවුන්දරතුඩුවට 14 වතාවක් අදින්න තරමට ඔය රෙදි දිග බවත් සමහරු ගණන් හදල පෙන්නනවා.” රන්ජන් රාමනායක මහතාගේ ප්‍රකාශයට සැවොම හිනා වුණා.

“ මේ නඩු තීන්දුවෙන් පස්සේ මහින්දයි නඩයයි ඔබතුමා හදිසියේ පාර්ලිමේන්තුවේදී හමුවීම ගැන නොයෙක් කතා යනවා.” රන්ජන් රාමනායක රාමනායක කෙලින්ම අගමැතිවරයාගෙන් විමසුවා.” රෝහල්ගත වෙන්න ඔබතුමා උදව් කළාද” රන්ජන් තවදුරටත් විමසුවා.

“ නෑ . නඩු තීන්දුව ගැන නෙවෙයි සමෘද්ධි අයට පළාත් පාලන ඡන්දය ඉල්ලන්න ඉඩ නොදීම වැරදි බවයි එයාල මට කිව්වේ. එන සතියේ පක්ෂ නායක රැස්වීමේදී ඒ ඉල්ලීම සලකා බලනවා.ඒ අයට ඉඩ දෙන්න ගියොත් ඡන්දය තවත් කල් යාවි.” අගමැතිවරයා කීවා.

“පයින් ඇවිදගෙන ගිය අය රෝහල්ගත වුණේ කොහොමද” රන්ජන් යළි විමසුවා.

“ ඒක බන්ධනාගාර දොස්තරගෙනුයි අහන්න ඔන. එතන ලොකු ප්‍රශ්න තිබෙන බව කාලයක ඉදල හැමෝම කියනවා.දොස්තරල හතර දෙනෙකුගේ නිර්දේශ නැතුව මීට පසුව ඒ රෝහලට යන්න බෑ කියල බන්ධනාගාර ඇමතිතුමා කියනවා” අගමැතිවරයා පැහැදිලි කළා.

“ සයිටම් ප්‍රශ්නය ඉක්මනින් විසඳන්න ඕනෑ. දොස්තර සංගමය මස් රාත්තලම ඉල්ලලා ආණ්ඩුවටත් උඩින් ගන්න හදනවා.” දයා ගමගේ කීවා.

“ සයිටම්වලට ඉඩම් දීල දශ ලක්ෂ 600ක් දීල ඒකෙන් ශිෂ්‍යත්වත් අරගෙන මහින්ද මේක පටන් ගත්ත කාලෙ දොස්තරල කට ඇරියෙ නෑ. මහින්ද මේ පාර දිනුව නම් මේ වෙනකොට සයිටම් 10 ක් හදල. ඒ අය බලයට ආවොත් සයිටම් අහෝසි කරනවදැයි නාමල් ගෙන් මාධ්‍ය ඇහුවම කාටත් සාධාරණ විසදුමක් ගේනවා කියල මිසක් අහෝසි කරනව කිව්වේ නෑ.සයිටම් ළමයි උසාවි ගියාම ඔවුන් ඒ නඩුව දිනුවා.ඊට පස්සේ වෛද්‍ය සභාව ඊට විරුද්ධව උසාවි ගියා. ඒ නඩුවට ඉදිරි දින කිපයේදී තීන්දුව දෙනවා.තීන්දුව කල් දාන්න කියල දොස්තරල දැන් ආණ්ඩුවට බල කරනව. අපි උසාවියට ඇඟිලි ගහන්නේ නෑ.වෛද්‍ය ශිෂ්‍යයන්ට දේශනවලට යන්න දෙන්නෙත් නෑ. ඒ ළමයින්ගේ ජ්‍යෙෂ්ඨත්වයයි ඉන් නැතිවෙන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණය මොන තීන්දුව දුන්නත් ආණ්ඩුව ඒක පිළිගන්නවා. අනිත් අයත් එහෙම කළ යුතුමයි. නීතියට උඩින් කාටවත් යන්න බෑ.කිසිම ප්‍රමිතියක් නැති පිටරට වෛද්‍ය විද්‍යාලවලට අපේ ළමයි ගිහින් උපාධි අරන් ඇවිත් මෙහේ වැඩ කරනවා.වසරකට රුපියල් දස ලක්ෂ 14,000 ක් අපේ සල්ලි රට යනවා.ලෝකයේ හැම රටකටම වගේ ලංකාවෙත් පෞද්ගලික අධ්‍යාපනයට ඉඩ දීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය. දේශපාලන බලපෑම්වලට යට වෙලා ඒක නවත්තන්න බෑ.සයිටම් ප්‍රමිතිය ඉහළට ගෙනියන එකත් වළක්වන්නේ ඔය දොස්තර සංගමයයි.” ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැහැදිලි කළා.

40 වැනි උදා ගම්මානය - දිඹුලාගල, මීවත්පුර “සඳරැස්ගම” ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට ඉකුත් සෙනසුරාදා උදෑසන කොළඹ සිට හෙලිකොප්ටරයකින් යාමට නියමිතව සිටි ජනාධිපතිවරයාට අයහපත් කාලගුණය නිසා සිදු වූයේ ගමනින් අඩක් මෝටර් රථයෙන් ගොස් ඉතිරි කොටස පමණක් ගුවනින් යාමටයි. ජනාධිපතිවරයාගේ සම්ප්‍රාප්තියට පෙර උදෑසනින්ම ගම්මානය වෙත ගිය සජිත් ප්‍රේමදාස ඇමතිවරයා එහි නිවාස 34ටම ගොස් පවතින තත්ත්වය සොයා බැලුවා. එහිදී හමු වූ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම්වරිය ඇමතිවරයාට පැමිණිල්ලක් කරමින් කියා සිටියේ ගම්මානය භාර තාක්ෂණ නිලධාරියා ඉතා හොඳින් සිය වැඩ කටයුතු කළත්, ගම්මානයේ ප්‍රගති සමාලෝචන රැස්වීම් ආදියට වාර කීපයක්ම නොපැමිණි බවයි. සජිත් එම නිලධාරියා කැඳවාගෙන කීවේ “ඔයා හොඳින් වැඩ කරන කෙනෙක් බව මං දන්නවා. ඒත් ඉහළ නිලධාරීන් කැඳවන රැස්වීම්වලට යන්න තරම් විනීත කමක් තියෙන්නට ඕනෑ. මම ඔයාගේ ඉදිරි වැඩ කටයුතුදිහා බලාගෙන ඉන්නේ” කියාය. අනතුරුව ඒ වනවිට ජනාධිපතිවරයා පැමිණ සිටි ස්ථානයට ගොස් එහි සිට ජනාධිපතිවරයාගේ මෝටර් රථයෙන්ම උත්සව භූමියට පැමිණෙමින් සිටි සජිත් දුටුවේ ජනාධිපතිවරයා මඟ දෙපස බලමින් යමක් කීමට සැරසෙන අයුරුයි. සජිත් මම පහුගිය ආණ්ඩුවේ හිටියේ බො‍හොම පීඩන යකින්. මට මෙහේ සංවර්ධනය කරන්න එක සත පහක් දුන්නේ නෑ. දැන් තමයි මම ‘පිබිදෙන පොළොන්නරුව’ වැඩසටහනින් මේ පැත්ත සංවර්ධනය කරන්න පටන් අරන් තියෙන්නේ යි කී ජනාධිපතිවරයා ඊළඟට ඇසුවේ “සජිත් මම දකිනවා, ඔයාගේ උදා ගම්මාන වැඩපිළිවෙළ මේ 40 වැනි ගම නේද? තව කීයක් හැදෙනවාද?” කියායි. දැනට රට පුරා ගම්මාන 454ක් ඉදිකරගෙන යනවා. මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් ඒ ගණන 500 ක් ‍වෙනවා . 2018, 19, 20 අවුරුදු තුනේ තවත් ගම්මාන 2000ක් හදනවා. ඒ අනුව සර් අපි ඊළඟ මැතිවරණයට යන්නේ අලුත් උදාගම්මාන 2,500 ක වැඩ අරඹලයි.” සජිත් කියද්දී ජනාධිපතිවරයා පිබිදුණු මුහුණින් යුතුව කීවේ “ඒකනම් නියම ඉලක්කයක්නේ” කියායි. ජනහමුව අමතමින් කළ සිය කතාවේදීත් ඒ ගැන විශේෂයෙන් සඳහන් කරමින් ජනාධිපතිවරයා කීවේ එය රජයේද ඉලක්කය වන බවත් ඒ සඳහා රජයේ පූර්ණ ආශීර්වාදය හා සහයෝගය ලැබෙන බවත්ය.

වජිර අබේවර්ධන ඇමතිවරයා පසුගිය සිකුරාදා දිනයේ ගාල්ලට ගියේ බොනවිස්ටා විද්‍යාලයේ සුහුරු පන්ති විවෘත කිරීම සඳහා අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පැමිණෙන උත්සවයට සහභාගී වීමටයි.නවීන තාක්ෂණය යොදා ගනිමින් දරුවන්ට අධ්‍යාපනය ලබා දී ඔවුන් අනාගත ලෝකයට සූදානම් කිරීමේ දැවැන්ත ව්‍යාපෘතියක දකුණු පළාත් ආදර්ශය සපයා දී තිබුණේ බොනවිස්ටා විද්‍යාලයෙන්. දකුණේ ප්‍රථම සුහුරු පන්ති කාමරය ආරම්භ කළ බොනවිස්ටා විද්‍යාලය මේ රජය බලයට පත්වනවිට වසා දමන තත්ත්වයට පත්ව තිබුණ ද දැන් එහි ශීඝ්‍ර දියුණුව හේතුවෙන් සිසු සිසුවියන් 400 ට වැඩි පිරිසක් ඉගෙනුම ලබන තත්ත්වයට පත්ව තිබෙනවා. මේ වසරේ එහි උසස් පෙළ විෂයයන් ද ආරම්භ කළා.

මේ විද්‍යාලය වසා දමන නිසා එය සංවර්ධනය නොකළ යුතු බව කලින් ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරු කියා තිබුණා. නමුත් දැන් ඔවුන් නිරුත්තරයි.

අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් සහ වජිර අබේවර්ධන අමාත්‍යවරයා එදිනම සවස ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ ත්‍යාග ප්‍රධානෝත්සවය සඳහා සහභාගී වුණා.ගාල්ල කොටුවෙන් සවුත්ලන්ඩ්ස් විද්‍යාලය ඉවත් කිරීමට රජය පිඹුරුපත් සකසන බවට කසු කුසුවක් පැතිර යද්දී සවුත්ලන්ඩ්ස් විද්‍යාලය කොටුවේ තිබිය දී ම පැරණි ලෝක උරුමයට හානියක් නොවන පරිදි පැරණි ගෘහනිර්මාණ ශිල්පයට අනුව ම විද්‍යාලය සංවර්ධනය කරන බව ස්වදේශ කටයුතු අමාත්‍යවරයා කීවේ කාගේත් අත්පොලසන් මධ්‍යයේයි.

සෙනසුරාදා උදෑසන ම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ලට ගියා.ඒ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන අමාත්‍යවරයා විසින් සංවිධානය කර තිබූ උත්සවයක් වෙනුවෙන්.ගං වතුරින් හානි සිදු වූ කුඩා තේවතු හිමියන් 5648 දෙනෙකුට හා තේ කර්මාන්තශාලා හිමියන් ට යළි නැගී සිටීම සඳහා රුපියල් කෝටි 33.6ක චෙක්පත් ප්‍රදානය කිරීම එහි දී සිදු කෙරුණා. කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ දායකත්වයෙන් මේ මුදල් පරිත්‍යාගය සිදු කළා. කුඩා තේවතු සංවර්ධන අධිකාරිය අයත් වැවිලි කර්මාන්ත ඇමති නවීන් දිසානායක මහතා මේ උත්සවයට සහභාගී වූයේ නැහැ. ඒ එදින ඔහුගේ උපන්දිනය යෙදී තිබූ බැවින් තම ගමේ පැවැත්වෙන උත්සව ගණනාවකට සහභාගී වීමේ අවශ්‍යතාව හේතුවෙන්.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය කතාව ආරම්භ කළේ නවීන් දිසානායක ඇමතිවරයාට සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරමින්. සිය උපන්දිනයේ දී මෙවැනි කාර්යයකට දායක වීම ගැන ද ඔහුට ප්‍රශංසා කරන්නට ද අගමැතිවරයා අමතක කළේ නැහැ.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයකු වන ලාල් සිරිසේන විසින් පැදවූ රථයේ ගැටී ජවිපෙ ක්‍රියාකාරී සාමාජිකයකු වූ ඒ.ජේ.එම්. ජයරත්න සහ ඔහුගේ වැඩිමල් සහෝදරයා වූ ඒ.ජේ.එම්. බුද්ධදාස ජීවිතක්ෂයට පත්වුණා. ඒ.ජේ.එම්. ජයරත්න ජවිපෙ දිරිය පුරවැසි සමිතියක සභාපති ධුරය දැරුවා. බුද්ධදාස වකුගඩු රෝගියෙකු වූ අතර ප්‍රතිකාර සඳහා රෝහලට ගොස් එන අතරදී අනතුරට ලක්වී තිබුණා. වාහනයත් එය පැදවූ ලාල් සිරිසේනත් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළා.මෙම සිදුවීමෙන් පසු දින,එනම් පසුගිය ඉරිදා දිනයේදී ජනාධිපතිවරයා මිය ගිය දෙදෙනාට අවසන් ගෞරව දැක්වීමට පොළොන්නරුවට ගොස් තිබුණා.ජනාධිපතිවරයාගේ පැමිණීම රහසක් වූ අතර කිසිදු මාධ්‍යවේදියකුට එය දැනගැනීමට හැකි වී තිබුණේ නැහැ. ජනාධිපතිවරයා සමඟ මහින්ද අමරවීර ඇමතිවරයා පැමිණ සිටි අතර ආරක්ෂකයන් කිහිපදෙනකුට සීමා වුණා. "ඔබතුමාගේ මල්ලි මගේ මනුස්සයා මරාගත්තා"යි පවසමින් මියගිය ජයරත්නගේ බිරිය හඬා වැටුණා.ජනාධිපතිවරයා ඇය අස්වසාලීමට කටයුතු කළා.

ජවිපෙ පොළොන්නරුව සංවිධායක ටී.බී. සරත් සමඟ කතාබහ කිරීමට ජනාධිපතිවරයා අමතක කළේ නැහැ අපි ඔබතුමාගෙන් මේ පවුලට දරුවන් දෙදෙනාට යුක්තිය බලාපොරොත්තු වෙනවා. මොකද මේ පවුල බලාගත්ත දෙන්නා දැන් ජීවතුන් අතර නැහැ. දරුවන්ට යන කලදසාව ගැන අනිවාර්යෙන්ම මැදිහත් වෙන්න ඕනෑ. " ටී.බී. සරත් කියා සිටියා. "අනිවාර්යෙන්ම පවුල වෙනුවෙන් සාධාරණයක් ඉටු කරනවා. මම ඒ ගැන ඩඩ්ලිට කියන්නම් මැදිහත්වෙන්න කියලා දරුවන් ගැන යුතුකමක් ඉටුකරනවා.” ජනාධිපතිවරයා කියා සිටියා.

චීන කොමියුනිස්ට් පක්ෂයේ විශේෂ ආරාධනයකට අනුව දකුණු ආසියානු වමේ පක්ෂ සඳහා පැවැත්වුණු විශේෂ වැඩසටහනක් සඳහා සහභාගි වීමට චීනයට ගොස් සිටි ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පසුගිය අඟහරුවාදා දිනයේ නැවත ලංකාවට පැමිණියා. ප්‍රධාන ලේකම්වරයා සමඟ මධ්‍යමකාරක සභික නීතිඥ ජානක අධිකාරී මෙම සංචාරයට එක් වී සිටියා . මෙම වැඩසටහන ඔක්තෝබර් විප්ලවයට වසර සියයක් සම්පූර්ණ වීම නිමිත්තෙන් චීන කොමියුනිස්ට් පක්ෂය විසින් සංවිධානය කළ වැඩමුළු සහ සම්මන්ත‍්‍රණ කිහිපයකින් සමන්විත වුණා.

ජවිපෙ පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ලෙස විගණන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජවිපෙ ගත් තීරණයත් සමඟ ක්ෂේත්‍රයේ බොහෝ පිරිසක් ජවිපෙ මන්ත‍්‍රීවරුන්ට ස්තූති කරමින් දුරකතන ඇමතුම් ලබා දුන්නා."මන්ත‍්‍රීතුමා මේ ආණ්ඩුවේ ලොක්කෝ බදු පනත දාලා අපිට බදු ගහනවා.ඒත් ඒ ගන්න බදු මුදල්වලින් දඩ මුදල්වලින් මොකද රටට වෙන්නේ කියලා ජනතාවට දැනගන්න විදියක් නැහැ. විගණන පනත සම්මත කළානම් මේ සියලුම රාජ්‍ය ආයතනවල මුදල් ගණුදෙනු වෙන්නේ කොහොමද කියලා ජනතාවට පැහැදිලිව දැනගන්න පුළුවන්.” හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙක් සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයාට දුරකතන ඇමතුමක් ලබාදී කියා සිටියා."ඔව්, මේ ආණ්ඩුව බදු පනතට ආසයි. විගණන පනතට බයයි. අපි මේ පනත කොහොම හරි පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නවා.” සුනිල් හඳුන්නෙත්ති කියා සිටියා.

ඒකාබද්ධ විපක්ෂයේ නායක කාරකාදින් මේ දිනවල බලවත් කැළඹීමකට පත්ව සිටින්නේ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහත්වරුන්ට අධිකරණයෙන් ලබාදුන් සිර දඬුවම නිසායි. විමල් වීරවංශ මහතා කීවේ සිල් රෙදි බෙදීම වරදක් නොවන බවයි. එයට රජයේ මුදල් යොදාගැනීම ගැන ඒ මහතා කීවේ නැහැ. බන්දුල ගුණවර්ධන මහතා කීවේ මහජනයාගෙන් රුපියල ගණනේ එකතුකොට දඩ මුදල් ගෙවන බවයි. සිර දඬුවමට කුමක් කරන්නේ දැයි ඒ මහතා කීවේ නැහැ.

ලලිත්, අනූෂ දෙදෙනා බලන්නට ගිය මහින්ද රාජපක්ෂ මහතා කීවේ විදුලි සංදේශ කොමිසමේ මුදලින් සිල් රෙදි බෙදීම තම අනුදැනුම ඇතිව සිදුවුණු ක්‍රියාවක් බවයි. එහි වරදක් නැති බව ඔහු කීවා. වරදක් තිබෙනවා නම් භාරගන්නා බව කී ඒ මහතාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කරන විට තරමක් කෝපාවිෂ්ඨ වූ බවක් පෙනෙන්නට තිබුණා. ඔය ගොල්ලෝ බලන්නේ මාධ්‍ය සංදර්ශනයක් කරන්න. මාව අවුස්සාගන්න එපා කියූ මහින්ද රාජපක්ෂ මහතා, මාධ්‍යවේදින්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට නොරැඳී එතැනින් ඉවත්ව ගියා.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ චරිතාපදානය ගැන ලියූ පොතක් එළි දැක්වීමේ උත්සවයදක් සංවිධානයකොට තිබුණේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදියි. එයට සහභාගී වූ මහින්ද රාජපක්ෂ මහතා කීවේ මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ පන්සල අතීතයේ සටන් මධ්‍යස්ථානයක්ව තිබූ බවයි. ජනාධිපතිවරණය පැරදී පැත්තකට වී සිටියදී තමන්ගේ ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වීමට මුරුත්තෙට්ටුවේ හිමියන් අභයාරාමයේ ඉඩ ලබාදුන් බවද රාජපක්ෂ මහතා මතක් කළා.

චමල් රාජපක්ෂ, මහාචාර්ය ජී.එල්.පීරිස්, උදය ගම්මන්පිළ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ මේ අවස්ථාවට සහභාගි වී සිටියා.

ආණ්ඩුවෙන් මැති ඇමැතිවරුන් දහ අට දෙනෙකු එළියට බහින තුරු බලා සිටි ඒකාබද්ධ විපක්ෂය දැන් කියන්නේ දොළොස් දෙනෙකු එන බවයි. එලෙස එන බව කියූ මැති ඇමැතිවරුන්ගෙන්- බහුතරයද මේ වනවිට තම අදහස වෙනස් කර ඇති බව දැනගන්නට තිබෙනවා. ආණ්ඩුවෙන් යන කතා කියන්නට එපා යැයි ජනාධිපතිතුමා මෙම පිරිසට අවවාදයක් කොට තිබුණා. එයට අවනත නොවී කටයුතු කිරීම නිසා අරුන්දික ප්‍රනාන්දු මහතා නියෝජ්‍ය ඇමැති ධුරයෙන් ඉවත් කරන්නට ජනාධිපතිතුමා කටයුතු කළා.

නව අදහස දක්වන්න